0 Views  
බිඳුණු උපනෙත



වැඩ ඇරී ගෙදර යන දුම්රිය නියමිත වේදිකාවේ නවතන විට ම එහි නැගීමට දත කමින් සිටි සෙනඟ සුපුරුදු පරිදි පොරකන්නට වූයෙන් ඒ ජන ප්‍රවාහයට අසුවුණු මා මැදිරිය තුළට විසිවී ගියේ පරඬලාවක් සේ ය.
මා නැවතුණ තැන දිග පැති අසුනේ හිස් ඉඩක් විය. මම මහත් සන්තෝසයෙන් එහි හිඳ දෙපස බැලුවෙමි.
මගේ වම් අත පැත්තේ හිඳ සිටියේ කාන්තාවකි. දකුණු අත පැත්තේ සිටියේ තරුණයන් පෙළකි. ආයතන මිතුරන් යැයි සිතිය හැකි ඔවුන් සිටියේ නළියමිනි. උස් හඬින් කියවමිනි. ඔවුන්ගේ නළියෑම ද, දෙඩවිල්ල ද එකෙකා පරයා ඇන ගැනිල්ල ද ඉවරයක් නොවී ය.
මගේ දකුණු ‍‍උරයට තද වී සිටි තරුණයා හිනා වූයේ සියොලඟම නටවමිනි. එහෙයින් ඔහුට හිර වී සිටි මා ද ඉබේම නැටවිණ.
මා හිඳ ගෙන ඇත්තේ වැරදි තැනක බව මට හැඟිණ. මා තරුණයන් දෙස හැරී බැලුවේ ඔවුන් ස්වයංපාලනයක් ඇති කර ගනු ඇතැයි සිතුණු බැවිනි. එහෙත් ඔවුහු මගේ වැඩිහිටි බැල්ම ගණනකට නොගත්හ.
මා ළඟ සිටි තරුණයා දැඟලුවේ දෑත ද විසිකරමිනි. හිටි අඩියේ ඔහු මගේ උරයට ද බර විය. මගේ උපැස් සඟළ කැඩී විසි‍ෙව්දෝයි මට බියක් දැනිණ. රාමුවක් නැති වර්ගයේ සැහැල්ලු එකක් වූ එය බරෙන් ද අඩු බැවින් සුළු පහරකින් හෝ ගැලවී විසි විය හැකි ය.
මා විසඳුමක් හිතා ගැනීමටත් පෙර ඒ දේ සිදු විය. තරුණයාගේ අත වැදී විසි වී ගිය එය බිම වැටිණ. මම නැමී අත ගෑවෙමි. අතට අසු වූයේ කැබැලි දෙකකි.
මා තුළ ඇති වූයේ කෝපයකි‍. තරුණයාට පහර දීමට තරම් රළු චිත්තාවේගයකි. එහෙත් මම එය දැඩි සේ පාලනය කර ගතිමි.
කවුරුත් එය දුටහ. තරුණයාත්, ඔහුගේ මිතුරෝත් මොහොතක් අයා ගත් මුවින් බිරාන්තව සිටියහ.
“මං හිතුව අස්සයො වාගෙ දඟලද්දි මේ වැඩේ වෙයි කියල. පේනව නේද හපන්කම?” මම කැබැලි දෙක පෙන්වා තැන්පත් හඬින් කීමි.
තරුණයෝ ගොළු වී ගත්වනම සිටියහ.
“මං මේ පැන්ෂන් ගිය මිනිහෙක්. දැං පොඩි රස්සාවක් කරන්නෙ. මේක හ‍දෝ ගන්ඩ රුපියල් හාර දාහක් ගියා. දැන් ඉතිං කොහොමද මං හාරදාහක් හොයන්නෙ?” මම වඩාත් සන්සුන්ව ප්‍රශ්න කර සිටියෙමි.
“මං ළඟ නම් සල්ලි නෑ අංකල්” කී තරුණයා සිය පසුම්බියෙන් නේම්කාඩ් පතක් ගෙන මට දී නිහඬව බිමට හැරුණේ ය. සෙස්සෝ ද කිසිත් නොකීහ.
මම තවදුරටත් කතා කළෙමි.
“දැං බලන්ඩ ඔයගොල්ලන්ගෙ අස්ස කුලප්පුව හින්ද මගෙ කණ්ණාඩි කුට්ටම කැඩිච්ච එකේ පාඩුව මටමනේ විඳ දරා ගන්ඩ වෙන්නෙ. මේ වාගේ අපරාධ කරන්ඩ එපා! ඔය ගොල්ලො පුංචි උන් නෙවේනෙ. කොහෙ හරි වගකිවයුතු රාජකාරි කරන අයනෙ. ඔයගොල්ලන්ගෙ අම්මල තාත්තලත් කණ්ණාඩි දානව ඇතිනෙ. හොඳයි ඒගොල්ලන්ට මේ වගේ දෙයක් වුණොත් ඔයගොල්ලො මොකක්ද කරන්නෙ? පොදු ප්‍රවාහනේදි ඇයි මේ වගේ කුලප්පුවෙලා දඟලල අහිංසක මගියන්ට හිරිහැර කරදර කරන්නෙ?”
මගේ හඬ බෙහෙවින් ම වේදනා බර විය. ගල්ගිල්ලාක් මෙන් සිටි ඔවුහු අතරමගදී බැස ගියහ.
මා ගෙදර ගොස් සිදුවූ ඇබැද්දිය ගැන කියද්දී බිරියත්, දරුවෝත් කම්පා වූහ. ම’පුතු අර තරුණයා දුන් නේම්කාඩ් පත ගෙන එහි තිබූ නමත්, ඔහුගේ තනතුරත් කීවේ ය. ඔහු එක්තරා සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක සහායක නිලධාරියෙකි.
පසුදා මම රාජකාරියට ගිය හැටියේ වෙච්ච ඇබැද්දිය ප්‍රධානියාට කීමි. ඔහු දුක් වී ‘පදිකවේදිකාව පැත්තට ගොස් එහි වෙළෙන්දකුගෙන් සුදුසු රීඩින් ග්ලාස් එකක්වත් හොයා ගන්නැ’යි කීවේ ය. මම එසේ කළෙමි. ඇහැට හරි යන රීඩින් ග්ලාස් එකක් හොයාගෙන මා කාර්යාලයට එන විට පැය දෙකක් පමණ ගතවී තිබිණ.
ගෙදර තිබූ පරණ කණ්ණාඩි රාමුවක් ගෙන ගොස් දී අඩු මුදලකට කණ්ණාඩි කුට්ටමක් තනවා ගන්නට සතියක් පමණ ගියේ ය. ඒ වෙනුවෙන් මට දෙදහසකට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවිය.
මේ සිද්ධිය වී කලක් ගත වන තුරු ද අර තරුණ පිරිස ඒ මැදිරියේ ම ගමන් කරනු වැරදීමෙන් ඒ මැදිරියට ගොඩවුණු අවස්ථාවල මම දකිමි. මා ඔවුන් දෙස බලන්නේ නෝක්කාඩුවට මෙනි. ‍ඔවුහු ද හැකි පමණ, මගෙන් වසන් වී සිටීමට පරිස්සම් වෙති. ඒත් ඔවුන්ගේ නළියෑමේ නම් අඩුවක් වී නැත.
“අංකල් ඔයාගෙ යාළුවො ටික ඔයාව නොදැක්ක ගාණට ඉන්න අපූරුව බලන්‍ඩකො.”
මේ සිද්ධිය ගැන දන්නා හිතවත් තරුණියක් විටෙක ඔවුන් පෙන්නා මට කියන්නේ ඔවුන්ට රිද්දවීමට මෙනි.
“කමක් න‍ෑ දුවේ. මං නං ප්‍රාර්ථනා කරන්නෙ කිසි කෙනෙක් නාකි වෙන්ඩත් එපා‍. කණ්ණාඩි දාන මට්ටමට පත් වෙන්ඩත් එපා! කියල” යි එවිට මම උස් හඬින් කියමි.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks
o