0 Views  
වඳුරු මිතුරා

රජරට කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් පෑවිල්ල අල්ලන කලාපයකි. එහෙයින් ඊට වැසි වසින විට හරි අමුතු ය.

ඉතින් එසේ වැසි වැටෙමින් තිබූ එක්තරා උදයක වික්‍රමසිංහ නම් පාසල් ගුරුවරයෙක් වැහි කබායක් ද ලාගෙන නුහුරු පාසලක් හොයමින් ඉදිරියට යමින් සිටියේ ය.

ඔහුට පාසල හමු විය.

එහි දොරකඩ කළු ලෑල්ලක පොල්ගෙඩි අකුරින් මෙසේ ලියා තිබිණ.

‘අපොස සා පෙළ විභාගය 2009 - විභාග ශාලාව’

දෙපා බිම ගසා දමා විභාග ශාලාවට ඇතුළු වූ වික්‍රමසිංහ මහතා වැහි කබාය ගලවා පසෙක තබන ගමන් ම ශාලාව සිසාරා නෙතු දිවෙව්වේය. ඒ වන විටත් පැමිණ සිටි ශාලාධිපති ඈත මේසයක යමක් ලියනු දුටු හෙතෙමේ ඔහු කරා ගියේය.

“හිරිපොද වැස්ස හින්ද ටිකක් පරක්කු වුණා සර්, බලන්නකො අද මේ පළාත නුවරඑළිය වගේනෙ”

“මාත් ආවෙ අපහසුවෙන් තමයි. ට්‍රැක් 9 විද්‍යාලෙට මාත් මේ ආවමයි” ශාලාධිපති ලියැවිල්ල දෙස බලාගෙනම මද සිනාවෙන් යුතුව පිළිවදන් දුන්නේය.

වික්‍රමසිංහ මහතා යළිදු ශාලාව සිසාරා නෙත් දිවෙව්වේ වැඩක් කිරීමට ඉතිරි වී ඇද්දැයි සෙවීමට මෙනි. තවත් ගුරුවර - ගුරුවරියන් සිවු දෙනෙකු ඔහුගේ නෙත ගැටුණේ මෙවිටය. දැන් තමාත් සමඟ විභාග නිරීක්ෂකයන් පස් දෙනකු සිටින බව ඔහුට වැටහිණ.

වික්‍රමසිංහ මහතා ශාලාවේ සිට අවට පරිසරය වින්දේය. එය සුන්දරය. වැසි පොදෙන් පණ ලබා ඇති සේය. විභාගාපේක්ෂක සිසු සිසුවියෝ එකා දෙන්නා කුඩ යටින් ඇදෙමින් සිටියහ.

ටිකකින් වැහි පොද වඩාත් තුනී වී හිරු එළිය ගලා ගියේය. ශාලාවට ද සිසු සිසුවියන්ගෙන් පිරී ගියේය. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර සියලුම අපේක්ෂකයන් නියමිත පරිදි අසුන් ගැන්විණි. අනතුරුව නිහඬතාවක් රජ විය.

ප්‍රශ්න පත්‍ර බෙදීමට තිබුණේ සුළු මොහොතකි. සියල්ලන්ම සිටියේ දැඩි අවධානයෙනි. අනපේක්ෂිත ආගන්තුකයා එහි කඩා වැදුණේ මෙවිටය. ඒ වඳුරෙකි. ශාලාධිපතිත්, නිරීක්ෂකයෝත් ගැස්සී ගියහ.

සිසුවකුගේ ඩෙස්කුවකට නැගඟත් වඳුරු අමුත්තා ඔහුගේ හිසට උඩින් පසුපස ඩෙස්කුවට පැන්නේය. අනතුරුව දෙවන සිසුවාගේ හිසට උඩින් තෙවන සිසුවාගේ ඩෙස්කුවට පැන්නේය. ඒ අයුරින් දිගටම පැන පැන ගියේය. ඌ ඩෙස්කුවෙන් ඩෙස්කුවට පනින විට ‘තැහ්’ හඬක් නැඟිණ. එබඳු ‘තැහ් තැහ්’ හඩ නංවමින් ඌ සිසුන් පේළියේම හිස් උඩින් පැන පැන ගොස් සිසුවකු නැති අවසන් ඩෙස්කුවට ද පැන එහි නැවතී සුපුරුදු විරිත්තුම් පාමින් ඉඟි-බිඟි කරන්නට වූයේය.

ශාලාධිපති ඇතුළු නිරීක්ෂකයෝ වඩාත් බය වූහ. වඳුරු හනුමා විභාගය ගිනි තියනු ඇත. ළමයින් පලා යනු ඇත. වෙලාවට විභාගය පැවැත්වීමට නොහැකි වීමෙන් මහා ප්‍රශ්න තොගයකට මුහුණ දීමට සිදු වනු ඇත. ඔවුහු වදනක් හෝ නොබිණිය හැකිව උනුන් මුහුණ බැලූහ.

එහෙත් සිසු සිසුවියෝ බය නොවූහ. බය වී පලා යනු වෙනුවට ඔවුන් කළේ හැරි හැරී වඳුරු අමුත්තාට ඉඟි බිඟි කිරීමය.

“මං හිතුවෙ මේ ළමයි බයවෙලා මෙතන කලබලයක් වෙයි කියල. ඒත් එහෙම වුණේ නෑනෙ. මොකද දරුවො ඔයගොල්ලො මේ වඳුරට බය නැත්තෙ?” ශාලාධිපති ළඟ සිටි සිසුවාගෙන් ඇසුවේ ය.

“එයා අපිත් එක්ක යාළුයි සර්. එයා හැමදාම අපේ පන්තිවලට එනව. ළමයි එයාට කන්ඩ කෑම ජාති, පලතුරු ජාති එහෙම ගෙනත් දෙනව.” සිසුවා කීවේය.

ශාලාධිපතිට හීං හිනාවක් ගියේය.

වඳුරු අමුත්තා සිටිය ද ශාලාවේ සන්සුන්කම රැඳී තිබිණ.

නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර ද බෙදිණ.

ළමයි ද පිළිතුරු ලියන්නට වූහ. නිරීක්ෂකයෝ සිය රාජකාරිවලට යොමු වූහ. වඳුරු අමුත්තා ද එළියට පැන්නේය.

කුතුහලයට පත් වික්‍රමසිංහ මහතා පිටතට කර පොවා බැලුවේය.

වඳුරු අමුත්තා විභාග ශාලාව අසල තිබූ විදුහල්පති කාර්යාලය දොරකඩ අරලිය ගසට නැඟ එහි පිපුණ රිකිල්ලක එල්ලී සිටිනු ඔහු දුටුවේ ය.

‘යාන්තං ඇති!’ ඔහුට සැනසුම් සුසුමක් පිට විය.

නිලධාරින් තාවකාලික අස්වැසිල්ලක් ලද බව පෙනිණ. එහෙත් කොයි මොහොතේ හෝ ඌ නැවත කඩා පනීදෝ යන චකිතය ද විය.

නිහඬතාව වැඩි වෙලාවක් පැවතුණේ නැත.

‘දඩාං!’

නිරීක්ෂකයෝ ගැස්සී ගියහ.

‘දඩාං...! දඩාං...!’

ඒ දොරකට තඩිබාන හඬකි.

වික්‍රමසිංහ මහතා යළි කරපොවා බැලුවේය.

දුටු දසුන මෙසේ ය.

විදුහල්පති කාර්යාලය දොරකඩ අරලිය ගසේ සිටි වඳුරා ගසින් පනින ගමන් ම කාර්යාලයේ වැසූ දොරට දෑතින් එකවර පහර දෙයි. යළි වහා ගසට නැග නැවතත් ගසින් පනින ගමන්ම යළි එපරිද්දෙන්ම පහර දෙයි. ‘දඩාං!’ හඬ නැ‍ඟෙන්නේ ඒ පහරිනි.

ශාලාධිපතිගේත් නිරීක්ෂකයන්ගේත් හිස් යළි අවුල් විය. එහෙත් සිසු සිසුවියෝ කලබල නොවී මදක් පමණ කරපොවා එදෙස බලා නැවත උත්තර ලියන්නට වූහ.

‘දඩාං!’ ක්‍රීඩාව මධ්‍යයේ ම මුල් ප්‍රශ්න පත්‍රය අවසන් වී විවේක කාලය එළඹියේය.

සිසුහු එළියට ගියහ. වඳුරු අමුත්තා ද ඔවුන් හා එකතු විය. සිසුවෝ අමුත්තාට ද දෙමින් අහර බුක්ති වින්දහ. වඳුරා ද සිසුන් එකෙකා වෙත පැමිණ අහර ගිල දැමුවේ ය. විවේකය අවසන් විය. විභාගය නැවත ඇරැඹිණ. විභාගය අවසන් වන තුරුම වඳුරු සෙල්ලම් ද දැකගත හැකි විය. පසු දින ද වඳුරු තෙමේ විභාග ශාලාවට කඩා පාත් වුණේ ය. ළමයි ද පළමුව ඌට උසුළු විසුළු කර ඒ නවතා උත්තර ලියන්නට පටන් ගත්හ. දහයට පමණ වඳුරු අමුත්තා පෙර දා මෙන් ම ‘දඩාං!’ ක්‍රීඩාව පටන්ගත්තේය. ක්‍රීඩාව නැවතුණේ කාර්යාල සේවිකාව පැමිණ දොර හැර වඳුරාට කෙසෙල් ගෙඩියක් දුන් විටය. කෙසෙල් ගෙඩිය ගත් හැටියේම අරලිය රිකිල්ලට නැඟුණ වඳුරු තෙමේ නිවීහැනේ එය රස විඳින්නට වූයේය.

‘කාර්යාලෙ වහල තියනවට ඌ කැමති නෑ. දොර වහල තියන හැම වෙලේම ඌ දොරට ගහන එකම තමයි කරන්නෙ කාර්යාල සේවිකාව හෙමිහිට කීවාය.

ටිකකින් මෝටර් සයිකලයක් ආවේ ය. පාසල් බිමෙහි නතර කරන ලද ඉන් බැස ගත්තේ වෙනත් ගුරුවරයෙකි. කාර්යාලයට ගිය ඔහු තම රාජකාරිය කරවාගෙන ආපසු සිය මෝටර් සයිකලය වෙත ගියේය. ගුරුවරයා මෝටර් සයිකලය පණ ගැන්නුවා පමණි. වහා ගසින් පැන දිව ගිය වඳුරු තෙමේ එහි පිටුපස අසුනට නැග වාඩි වී ගුරු බඳ සිය දෑතින් බදා ගත්තේය. ගුරුවරයා ද ගාණක් නැතුව මෝටර් සයිකලය පදවාගෙන යන්නට ගියේය.

ශාලාධිපතිත්, නිරීක්ෂකයෝත් ඒ දසුන අදහාගත නොහැකිව මෙන් බයිසිකලය නොපෙනී යනතුරුම බලා සිටියහ.

‘ඌ එහෙම තමයි සර්. ඌ මෝටර් සයිකල්වල බයිසිකල්වල යන්ඩ හරි ආසයි. හිතිච්ච හැටියෙ කාගෙහරි බයිසිකලේකට නැගල යනව. හිතිච්ච තැනකදි බැහැ ගන්නව.’ සිසුවෙක් පැහැදිලි කළේය.

ඊළඟ උදෑසනේ ද වඳුරු අමුත්තා ආයේය. හතරවැනි පස්වැනි දවස් වන විට සිසුනට මෙන් ම අපට ද ඌ හොඳින්ම හුරුපුරුදු කෙනෙක් විය. හයවැනි හත්වැනි දවස්වල කවුරුත් උගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියහ. මෙපරිද්දෙන් දින දහයක් පුරා විභාගය පැවැත්විණි. ඒ දින දහයේම ශාලාධිපතිවරයා සිය රාජකාරි සටහන්වල විභාගය පැවැත්වූ ආකාරය ගැන මෙන් ම එහි පැමිණි වඳුරු අමුත්තා ගැන ද සටහනක් ලියා තැබීමට අමතක නොකළේය. එපමණක් නොව අදාළ ජර්නලයේ ඉඩකඩ මදිවීම හේතුවෙන් දිනපතා අලුත් කොළය බැගින් එහි අලවන්නට ද ඔහුට සිදු විය. ශාලාධිපති වූයේ නල්ලමුද්‍රාව විද්‍යාලයයේ විදුහල්පතිව සිටි එම්. බී. ජයසිංහ මහතා ය. කෙසේ වුවද, විභාගයේ වැඩ අවසන් කොට තමන් ට්‍රැක් 9 විදුහල් පරිසරයෙන් සමුගෙන ආවේ වඳුරු මිතුරාගේ ඇසුරින් වෙන්වීමට සිදුවීම පිළිබඳ හිතේ පැලපදියම් වූ කිසියම් දුකකින් බව වික්‍රමසිංහ මහතා කීවේය.

අනුරාධපුර ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයයේ සිංහල විෂය භාර ගරු එස්. කේ. එස්. මාලනී මැණිකේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. වික්‍රමසිංහ මහතා යනු කැකිරාව අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයකු බව ද ඇය සඳහන් කර තිබේ


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks
o