0 Views  
මළ ගම

වියපත් ව සිටි මා මිතුරා ඒ අවස්ථාව වන විට රෝගීව පසු විය. ඒ දෙකට ම වඩා ප්‍රබල වූයේ ඔහු ගේ මානසික ඇද වැටීම් ය. ඔහු ගේ බිරිය ද ඒ තත්ත්වයේ ම පසු වූවා ය.

මේ යුවළ දුක් මහන්සි වී ඇති දැඩි කළ පුතෙක් සිටියේය. විවාහකයෙකු වූ ඔහු සිය දරු පවුල සමඟ විසුවේ පිටරටක ය.

පුතු වසර දෙක තුනකට වතාවක් මෙහි ආවේ ය. එහෙත් අම්ම තාත්තා බලන්නට ගෙදර නොගියේ ය. බිරිය ද දරුවන් ද සමඟ බිරියගේ මහ ගෙදර නැවතුණේ ය.

පුතු මෙරට ගෙවූ කෙටි නිවාඩුව නිමා විය. දරු පවුල ද කැටුව යළි රට යෑමට පිටත් විය.

ඔවුන් ගුවන් තොටුපොළට යා යුතු වූයේ පුතුගේ මහ ගෙදර ඉදිරිපිටිනි. රිය එහි ළං වන විට ම පියා පාර අයිනේ සිටිනු දක්නට ලැබිණ.

රිය නැවතිණ.

ජනෙල් පියනක් ඇරිණ.

පියාගේත්, පුතුගේත් දෙනෙත් කලකට පසු එකට හමුවිණ.

‘තාත්තෙ, මං ආයෙත් රට යනව. මේ යන ගමං’ පුතු කීවේ ය.

පියා කුමක් කියම්දෝ කරම්දෝයි සිතා ගත නොහැකිව ගල් රුවක් මෙන් සිටියේ ය.

‘අපිට සීය බලන්න ඕනැ. අපිට සීයලගෙ ගෙදර යන්න ඕනැ’ රිය තුළ සිටි පුංචි දරු දෙදෙනා නාහෙන් ඇඬූහ.

ජනෙල් වීදුරුව ඉහළට එසැවිණ. මුනුපුරන්ගේ හඬ මැකිණ.

රිය සුස් ගා ඇදිණ.

ම’මිතුරා මේ කතාව මට කියා මහා දිගු සුසුමක් හෙළුවේ ය.

මට කතා කර නොගත හැකි විය.

ම’මිතුරා ම කතා කළේ ය.

‘අපි ඔය පුතාට කොච්චර ආදරේ කළා ද ඔය පුතා වෙනුවෙන් කොච්චර දුක් වින්දද කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටිය ද කියල ඔයා දන්නවනෙ. ඒව මතක් වෙනකොට පොළොව පළාගෙන යන්ඩ හිතෙනව. මට දුක මං ගැන නෙමේ. අර අහිංසක ගෑනු මනුස්සය ගැන. මට කලින් එයා නැති වුණොත් හොඳයි. එහෙම නැතුව මං ඉස්සර වුණොත් ඔය මනුස්සය පපුව පැළිල මැරෙයි! ඕව ගැන හිතල එයා දැන් ලෙඩ ගා‍ෙන.’

ම’මිතුරා මිමිණුවේ ය.

‘ජීවිතේ හැටි ඔහොම තමයි. එන විදිහට බාර ගන්ඩ ඕනැ. “එයාට ඉස්සෙල්ල මං, මට ඉස්සෙල්ල එයා” කියන්ඩ බෑ’ මම කීමි.

වැඩි කලක් නොගියේ ය.

ම’මිතුරා මිය ගියේය.

මිනිය අසල එකම එක පොල්තෙල් පහනක් පමණක් දැල්විණ.

ජීවත්ව සිටි කල නෑ හිතමිතුරන් බොහොමයකගේ මරණ දැන්වීම්, පෝස්ටර් ආදිය නිමවා දී තිබූ ඔහු ගේ අවසන් කටයුතු ඒ කිසිවකින් තොරව විසිහතර පැයක් ඇතුළත නිමා විය.

සියල්ල එසේ සිදු වූයේ ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ය.

පුතු ආවේ මළගෙදර වැඩ කටයුතු නිමා වූ පසු ය.

කෙළින්ම ගෙතුළට ගිය ඔහු ටිකකින් මා ළඟට ආවේ ය.

‘ඇයි අංකල් මං ගෙදර එන්ඩත් කලින් තාත්තගෙ මිනිය අහක් කළේ?’ ඔහු කෙඳිරිලි හඬක් නැඟුවේය.

‘ඒක අහන්ඩ ඕනැ මගෙන් නෙමේ. අර ගේ ඇතුළෙ ඉන්න ඔයාගෙ අම්මගෙන්’ මම කියා දැමුවෙමි.

‘අම්ම කතා කරන්නෙ නෑ. බලාගත්තු අතේ බලාගෙන ඉන්නව.’

මම මොකුත් නොකීමි.

ඔහු ද කිසිත් නොකීවේය.

කාලය ගතවිණ.

‘අංකල්, දැන් තාත්තගෙ හත් දවසෙ දානෙ කවදද?’

‘අම්ම නං කිව්වෙ ලබන සඳුදා කියල’

‘හරි වැඩේනෙ අංකල්, මගෙ රිටර්න් ෆ්ලයිට් එක තියෙන්නෙ ඉරිදට. ටිකට්ස් බුක් කරලයි ආවෙ’

‘ඒකට ඉතින් කරන්ඩ දෙයක් නෑ. ඔයා හිටියයි, නොහිටියයි කියල ප්‍රශ්නෙකුත් නෑ.’ මට කියැවිණ.

මුල්ලේරියාව නව නගරයේ, ආරියරත්න වෙල්ලාල මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
කවියක අරුත

‘සීයෙ ඔයා හම්බ වුණොත් දෙන්න කියල මං පුංචි කවියක් ලිව්ව පොත් සාප්පුවෙදි. මේ බලන්නකො’

පුංචි සඳුනි එසේ කියමින් කුඩා කොළ කැබැල්ලක් මා අත තැබුවා ය.

මම එය කියැවීමි.

‘ආ ගමන් පාදුක්ක ටවුමට

ගොඩවීමි තැපැල් කන්තෝරුවට

පෙර නොවූ අසිරියකි එහි අද

දකින විට සිත සතුට දනවන’

මට සතුටක් දැනිණි.

‘ඔයා කවිකාරියක්නෙ දුවේ! හරි හොඳයි’ මම ඇය පැසසීමි.

සඳුනි ලියූ කවියේ යථාව සොයා බැලීමට මට සිතිණ.

මම තැපැල් කන්තෝරුව පැත්තට ගියෙමි. සැබෑවකි. කන්තෝරුව අලුත් වී තිබේ. එය ආකර්ෂණීයය.

මම පිවිසුම් මඟ ඔස්සේ එහි පියමං කළෙමි.

නිලධර මහත්ම මහත්මීහු ද මානවීය ගුණයෙන් යුතුව පාරිභෝගිකයන් හා කතාබහ කරනු පෙනිණ.

එහි ප්‍රදර්ශන නාම පුවරු සිත්ගන්නාසුලුය.

ලියුම් බෙදීම පවා කාර්යක්ෂමය.

අපේ තැපැල් කන්තෝරුවට මේ අලුත් වටිනාකම දුන් සියල්ලන්ටම තුති පුදමි.

මම පුංචි සඳුනි දියණියගේ කවියේ සැබෑ අරුත සොයා ගතිමි.

පාදුක්කේ, ගලගෙදර, ජයසේකර මලවිආරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


silumina.lk


o