Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
දිවි වෙරළ

සතියකට දෙවරක්වත් මුහුදු වෙරළට යෑම මගේ සිරිතකි. මාළු මිල දී ගන්නට ම නොවේ. ළමා කාලයෙ විඳි මිහිර හිතට දැනෙන හෙයිනි. ඒ මිහිර යළි යළිත් විඳින්නට මම කැමැත්තෙමි. ඊට හොඳම තැන මුහුදු වෙරළයි.

පැටි වියේ දී මාපියන්, සොයුරු සෝයුරියන් හා වෙරළේ ඇවිද ගියෙමි. අහා! ඒ කෙතරම් සොඳුරු යුගයක් ද? රැළි පිට රැළි පෙරැළි පෙරැළී විත් අප ද තෙමා ගෙන ආපසු ඇදී ගිය හැටි! රැල්ලට ගසා ගෙන ආ කිරිකවඩි, වැලි, බෙලිකටු, මූදු හතු, හක්ගෙඩි හිරු එළියට වැල්ලේ බැබළෙමින් තිබූ හැටි!

මේ සොඳුරු මුහුදු වෙරළ මා දිවියෙන් දුරස්ව ගියේ මා පිටරටක සිටිය දී ය. දැන් මම ආපසු වෙරළ සොයා පැමිණ සිටිමි.

වෙරළට පා තැබූ හැටියේම දුටු දසුනින් මගේ පපුව හෝස් ගා දා ගියේය.

මුහුදු වෙරළ දිගේ තඩි කළුගල් දමනු ලැබ තිබේ. දැමීමේ පිළිවෙළක් නැත. බැකෝ මහත්වරු මගේ ඇස් පනාපිටම කළුගල් කුට්ටි බාති. සොඳුරු වෙරළෙහි සොඳුරු බව බිඳිති.

ගල් කුට්ටි දමන්නේ ඇයි දැයි මම දනිමි. මීගමුවේ සිට කල්පිටිය දක්වා වෙරළ ඛාදනයට ලක්ව හමාරය. ගල් කුට්ටි දමන්නේ වෙරළ රැක ගනු පිණිසය. සයුරු ඛාදනය වළක්වනු පිණිස වෙරළට ගල් කුට්ටි යෙදිය යුතු යැයි මා කෘෂි විද්‍යාලයේ දී දරුවනට කියා දුන් හැටි මට සිහිපත් වෙයි. එසේ නම් මගේ හිතට දුකක් ඇති වූයේ ඇයි?

ධනය ඇති රටවල නම් වෙරළේ ගල් වැටි අතුරන්නේ එහි සුන්දරත්වයට හානි නොවන පරිදිය. එහෙත් අපට එච්චර දෙයක් කරන්නට හයියක් නැත.

මම මගේ යතුරු පැදියට හේත්තු වී මුහුද දෙස බලා සිටිමි. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් මා ගතකොට ඇත්තේ මේ මුහුද දෙස බලාගෙන නොවේ ද? ඒත් එපා වී නැත. හැන්දෑවේ අහසේ අග්ගිස්සෙන් හිරු බැස යන හැටි, මුහුදෙහි ගිලී යන හැටි මේ වෙරළේම සිට පාසල් දරුවනට කියා දුන් අයුරු මට සිහිපත් වෙයි.

‘...පතසන් අවර ගිරි නැටියෙන් - වැටෙන කල

විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල...’

ඒ සන්දේශ කවි දෙපදය සදාතනිකව මගේ හද බිතු සිතුවමේ ඇඳී තිබේ.

හදසියේම හඳුනන මුහුණක් වෙරළින් මතු විය. ඒ මාළු විකුණන කුසුම් ය.

සිය යතුරු පැදියෙන් බැස ගත් ඇය මාළු පෙට්ටියෙන් කෑම පාර්සලයක් ගෙන අවට විපරම් කළාය.

‘කළූ... කළූ... කළූ... කළූ... කළූ... කළූ...’

ඇගේ සිහින් හඬ වෙරළේ ඝෝෂාව පරයා හාත්පස ඇදී ගියේ ය.

කළු පැහැ බලු පැටියෙක් වෙරළේ ඈත සිට දුව ආවේ ය.

කුසුම් පාර්සලය ලිහා ඌ ඉදිරියේ තැබුවා ය. ඌ අඟර දඟර පාමින් අහර ගිල දමා කුසුම් හා හුරතල් වෙන්නට පටන් ගත්තේය. මම ඔවුන් අසලට ගියෙමි.

‘මහත්තයො මේ කළූ හරි සීදේවි බලු පැටියා.’ ගිය සුමානෙ කවුදෝ කෙනෙක් මෙතෙන්ට බැල්ලි පැටියෙක් ගෙනත් දාල තිබුණ. මං ඌව ගෙදර අරං ගියා. දැන් ඉතින් මේ කළූවත් ගෙනියන්ඩ බෑනේ. ඒ හින්ද මං ඌට බත් ගෙනත් දෙනව.’ කුසුම් එසේ කියමින් කළූගේ හිස පිරිමැද්දාය.

‘එහෙනං මට දෙන්ඩ! මං බයිසිකලේ තියාගෙන යන්නං’ මම කීමි.

‘හපෝ මහත්තයෝ, මහත්තයවත් පෙරළගෙන මූ දුවයි. ඒ තරම් දඟයා!’ කුසුම් සිනාසුණා ය.

පසු දා උදෑසන මම ත්‍රිරෝද රියකින් වෙරළට ගියෙමි. කළු ද එහි සිටියේ ය. ළඟ සිටි අයගේ උදවුවෙන් කළූ අල්ලා රියට ගෙන ගෙදර ගෙනැවිත් මගේ බලු කොටුවේ රඳවා තැබීමි.

දැන් කුසුම් කළූ බලන්නට හැමදාම අපේ ගෙදර එන්නීය. ගේ ළඟ සිය යතුරු පැදිය නවත්වන ඇය පෙට්ටියෙන් මාළු කූරියකු රැගෙන විත් කළූට දෙන්නීය. කළූ ද මාළු කුරියා ගිල දමා කුසුම් සමඟ මොහොතක් සුරතල් පාන්නේය.

‘මං යනව මහත්තයො, කළූ බලන්ඩ හෙටත් එන්නංකො’

‘හොඳයි, හොඳයි’

කුසුම් පිටව ගොස් ටිකකින් තව දෙන්නෙක් සුපුරුදු පරිදි එති. ඒ බලු කොටුවේ සිටින ලයිකා බැලීමට එන දෙදෙනා ය. ලයිකා සමඟ හුරතල් වී යමක් කන්නට දෙන දෙදෙනා මගෙන් ද සමුගෙන යති. අවසානයේ බලු කොටුව ළඟ ඉතිරි වන්නේ මා පමණි.

කළූත්, ලයිකාත් මා දෙස කෘතඥ පූර්වකව බලා සිටිති.

මම නිහඬවම ගොස් ඉස්තෝප්පුවේ ඇති හාන්සි පුටුවට බර දෙමි.

කෙමෙන් මගේ දෑස පියවෙයි. දිගු ජීවන ගමනේ මතකයන් සේ ඉතිරි වූ යමක මොහොතක් සිත නතර වෙයි. එය ද අකා - මකා වී ගිය පසු එබඳු තවත් යමක් මතු ව එයි. එහි ඉවරයක් නැත.

‘මහත්තය කෑම කමුද?’

වසන්තිගේ හඬින් මම හිස ඔසවමි. අදටත් මා රැක බලා ගන්නේ ඇය පමණි.

මේ දිවිය මහා පුදුමයකි. එහෙත් එය චමත්කාරයෙන් පිරී ඇති සැටියෙකි.

මම හාන්සි පුටුවෙන් නැගිටිමි.

silumina.lk


o