18 Views  
සුදු යුවළ



ජයසිරි මා බෝ සමිඳුන් වැඳ පුදාගත් අපි කුට්ටම් පොකුණ දැක බලා ගැනීමට ගියෙමු.

අප එහි යන විටම සුදු ජාතික යුවළක් පා පැදිවල නැඟී එහි ආහ.‍

ඔවුන් කුට්ටම් පොකුණේ විසිතුරෙන් මත්ව ගිය බව පෙනිණ.

මා ඔවුන් හා කතාවට වැටුණේ ඔවුන් හුදු විනෝදය සොයා ආ යුවළක් ලෙස සිතමිනි. එහෙත් ඔවුන් අප රට ගැන හොඳ අවබෝධයකින් පසු වන අය බව මා ඔවුන් සමඟ කළ සංවාදයේ දී පළ වූ පහත කියමන්වලින් පැහැදිලි වනු ඇත‍.

මම - ඔයාල කොයි රටේද?

ඔවුහු - ඕලන්දයෙ. ඔයාල තමුන්ගෙ රට ගැන ආඩම්බර වෙනවද?

මම - ‍ඔව්. ඔයාලගෙ සංචාරය සැලසුම් කරල තියෙන්නෙ කොහොමද?

ඔවුහු - අපි පටන් ගත්තෙ මීගමුවෙන්. දැන් අනුරාධපු‍රට ආව. ඊළඟට සීගිරි දඹුලු යනව. ඉන් පස්සෙ නුවර දළදාව බලන්ඩ යනව.

මම - ඔයාලගෙ ආගම?

ඔවුහු - අපි කතෝලික. නමුත් අපි දැන් බුදු දහම ගැන ඉ‍ගෙන ගන්නව. අපේ රටෙත් දැන් බුදු දහම පැතිරෙනව. අපි 15 ක 20 ක කණ්ඩායමක් බෞද්ධ භික්ෂුවකගෙන් ඉගෙන ගන්නව. අපේ රටේ පන්සලුත් තියනව. ඒත් මීගමුව පැත්තෙ වැඩිදෙනා කතෝලිකයො නේද?

මම - ඔව්. ඒ වුණාට ලංකාවෙ වැඩි දෙනා බෞද්ධයො.

ඔවුහු - හොඳ සාමකාමී ලස්සන රටක්. හැමෝම හරි මිත්‍රශීලියි.

මම - බහුතරයක් බෞද්ධයො සාමකාමියි.

අනිත් අයට හිංසා කරන්නෙ නෑ. සතෙක්වත් මරන්නෙ නෑ.

ඔවුහු - එහෙම කියන්නෙ කොහොමද? ඔයා‍ලගෙ රටේ අවුරුදු 30 ක යුද්ධයක් තිබුණ නේද? ඒකට හේතු වුණේ 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නේද?

මම - ඒක ප්‍රධාන සාධකයක් නෙමෙයි. මේ ර‍ටේ සුළු ජනකොටසක් වෙච්ච ද්‍රවිඩ ජාතිකයන්ට ඕනෑ වුණා පාර්ලිමේන්තු බලයෙන් සියේට පනහක් ගන්ඩ, මේ ර‍ෙට්ත් 1/3 ක් එයාලට ඕනෑ කියලයි යුද්දෙ පටන්්‍ ගත්තෙ. එතන ප්‍රධාන වශයෙන් තිබුණෙ ත්‍රස්තවාදයක්. සාමාන්‍ය සිංහල දෙමළ ජනතාව සාමකාමියි‍.

ඔවුහු - දැන් යුද්දෙ ඉවර හින්ද අපිට පුළුවන් මේ පුංචි ලස්සන රට දැක බලා ගන්ඩ. ඒත් මේකෙ වටිනාකම මිනිස්සු දන්නෙ නෑ. බලන්ඩ හැම තැනම කුණු දානවා. බලන්ඩ මේ කුට්ටම් පොකුණ ඇතුළෙත් කුණු දාල! අර ප්ලාස්ටික් වතුර බෝතල් පාවෙනවා. අපි ගිය හැම තැනකම තත්වෙ ඕකයි. අපේ රටේ කුණු කසළ ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය කරන නිසා ගැටලුවක් ඇත්තෙම නෑ. නමුත් මෙහෙ හුඟක් තැන්වල කුණු දාන්ඩ භාජනත් නෑ‍. තියන ඒවත් පිරිලා! කුණු හුළඟට ගහගෙනත් යනවා‍.

මම - ඒ ගැන අපිටත් හරිම කනගාටුයි. ඒක වගකිවයුත්තන්ගෙ අවධානයට යොමු විය යුතුයි. අපි නැවත හමුවෙමු.

හඳපාන්ගොඩ, ප්‍රදීප් සමරසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


o