18 Views  
 දරු පැටියා

බෙහෙවින් තරුණ මවක් සිය දරු පැටියා සමඟ නගරයේ වීදියක් දිගේ යමින් සිටියා ය.

දරුවා දකින්නට ලැබෙන හැම දේ ගැන ම දිගින් දිගට ම ප්‍රශ්න නැඟුවේ ය.

ඒ හැමට ම කල්පනාවෙන් පිළිතුරු දුන් මව දරුවා ගේ ප්‍රශ්න කිරීම්වලින් මිදෙන්නට උපක්‍රමයක් පාවිච්චි කළා ය.

‘පුතාට මොනවද ඕනැ?’

‘මොකුත් එපා!’

මව ගොළු වූවා ය.

බැලුම් බෝල වෙළෙන්දෙක් සියතක වූ බැලුම් පොකුර ‍ලෙළ දෙවමින් දරුවා දෙස බලා සිටියේ ය. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් දරුවාට ඇසෙන්නට නළාව හැඬවූයේ ය. ළඟ පාත කිරිහලේ දරුවෝ කිහිප දෙනෙක් කිරි බොමින් සිටිය හ.

මේවා අතුරින් කුමකට දරුවා ගේ හිත ගියේ දැයි බලන්නට මව‍ මොහොතකට නැවතුණා ය. ඒ සියල්ල අබිබවා දරුවා ගේ දෑස එක එල්ලේ යොමු වී තිබුණේ යාබද බාලිකා පාසලේ තාප්පයේ ඇඳ තිබූ සිතුවම් පෙළට ය.

ජේසුස් වහන්සේ ගේ ජීවිත කතාවට ඇතුළත් වැදගත් අවස්ථා කිහිපයක් තාප්පයේ සිතුවම් කර තිබුණි. දරුවා හෙමිහිට තාප්පය ළඟට පිය මැන්නේ ය. ඔහු නැවතුණේ ජේසු බිලිඳාගේ රූපය ළඟ ය.

‘අම්මෙ මේ...’

‘ජේසු බබානෙ පුතේ’

‘හරි ලස්සනයි නේද අම්මෙ?’ දරුවා රුව දෙස බලා සිටියේ ඉන් විස්මයට පත් වූ සේ ය.

දරුවා මෙන් රැඳී සිටීමට වේලාවක් නොවූ මව ‘යං’ කියමින් ඔහු ගේ අතින් ඇද්දේ ය.

‘පොඩ්ඩක් ඉන්ඩකො අම්මෙ, මේ කවුද?’ දරුවා ඊළඟ චිත්‍රයට ඇඟිල්ල දිගු කළේ ය. එහි සිතුවම් වී තිබුණේ ජේසු තුමන් කල්වාරි කන්දේ දී දෙසුම පවත්වන අයුරු ය.

‘ඒ ජේසු බබා ලොකු වෙලා කතාවක් කරනවා’

‘ලොකු කන්දක් නේද අම්මෙ. ආකාසෙත් ලස්සනට පේනවා.’

‘අපි යමු පුතේ, දැන් තාත්තත් ඇවිත් ඇති’

‘අම්මේ මේ බලන්ඩකො ලොකු කෑම මේසයක්. මේක පාටියක් ද?’ දරුවා ගේ ඇඟිල්ල දිගු වූයේ ඊළඟ සිතුවමට ය. එහි වූයේ ජේසු තුමන් අවසන් භෝජන සංග්‍රහය පවත්වන ආකාරය ය.

‘ඒ ජේසු තුමා යාළුවන්ට අවසාන භෝජන සංග්‍රහය පවත්වනවා.’

‘ඒ කියන්නෙ අම්මෙ?’

‘යාළුවන්ට අන්තිම වතාවට කන්න බොන්න දෙනව.’

‘එයාට යාළුවොත් ගොඩක් ඉඳල ද? ඒගොල්ලොත් හොඳ අය ද?’

මව පිළිතුරක් දී ගත නොහැකිව බලා සිටියා ය.

අවසානයේ වූයේ ජේසු තුමන්ට ඇන ගැසූ සිතුවම ය.

‘මේ මොකද අම්මෙ?’

මව ඒ චිත්‍රය මගහැරවීමට උත්සාහ කළ ද දරුවා එතැනින් නොසෙල්වී දිගින් දිගට ම ප්‍රශ්න කළේ ය.

‘ජේසුතුමාට ඇන ගහල මැරුව පුතේ!’ මව කීවා ය.

එබසින් බියට පත් බවක් පළ කළ දරුවා මව දෙසත් සිතුවම දෙසත් කිහිප විටක් හැරි හැරී බැලුවේ ය.

‘ඇයි අම්මෙ ජේසු බබාට ඇන ගැහැව්වෙ? පව් නැද්ද?’

මවට පිළිතුරක් නොවූ සේ ය.

‘කවුද අම්මෙ ඒ නරක මිනිස්සු?’

‘යාළුවො තමයි පුතේ’

‘යාළුවො?’

තමා දරුවාට දුන් පිළිතුර සැර වැඩියැයි මවට සිතුණා විය යුතු ය.

‘ඒ වුණාට හැම යාළුව ම එහෙම නෑ පුතේ’

කැලණියේ, වරාගොඩ, පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


o