18 Views  
රන් තරුව

සෙල්ලම් කරනු පිණිස අප ගෙමිදුලට රොක් වූ අසල්වැසි දරුවෝ තම තමන් ගේ පාසල්වල සිදුවූ දේවල් කියන්නට වූයේ තරගයකට මෙනි.

සාලයේ හිඳ සල්ලාපයේ යෙදෙමින් සිටි යොවුන් අපි ඒ කතා හොඳින් අසනු පිණිස දොරකඩට ආවෙමු.

ඔවුන් කතා කරමින් සිටියේ ගුරු දිනය හා සම්බන්ධ දේවල් ය.

‘අන්තිමට සංග්‍රහයකුත් තිබ්බ. අපි හැමෝට ම අයිස්ක්‍රීමුත් හම්බ වුණා.’

‘අපේ මිස් අපිට යෝගටුත් කන්ඩ දුන්න. උත්සවේ නැටුමකට අපිත් හිටිය. ගුරු දිනේ හින්ද වැඩියෙන් ම තෑගි හම්බවුණේ මිස්ලටයි, සර්ලටයි. මාත් අපේ මිස්ට තෑග්ගක් දුන්න.’

‘අක්කෙ අපේ ටීචරුත් හරි හොඳයි. අපිට ටොපීත් බෙදල දුන්න.’

අපේ ගේ ‍ඉදිරිපිට පාර අයිනට වී මේ කතා රස විඳිමින් සිටි අමුත්තෙක් ද වූයේ ය. ඒ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. සිය දියණිය ගේ ගෙදර නැවතී සිටින ඔහු පාරේ යන එන ගමන් අප සමඟ කතා බහ කිරීමට ද පුරුදුව සිටියි.

‘ඇයි මාමෙ පාර අයිනෙ ඉන්නෙ? එන්ඩ ඇතුළට’ මම ඔහුට ඇරියුම් කළෙමි. එහෙත් ඔහු එන්නට හොර කළේ පිරිමියකු ගෙදර නැති නිසා විය යුතු ය. අන්තිමේ දී ඔහු ගෙතුළට පැමිණ ඉඳ ගත්තේ පොඩි අයියා පැමිණ එන්නැ යි ඇරියුම් කළ පසු ය.

‘මේ පුංචි දරුවො ගුරු දිනය ගැන එක එක කතා කියද්දි මට මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් වුණා ළමයිනේ. මාත් මගෙ ජීවිත කාලෙ ම ගෞරවයෙන් සිහිපත් කරන ගුරු දෙවියෙක් ඉන්නව.’ වැඩිහිටියා අපේ කුහුල ඇවිස්සුවේ ය. අපි ඔහු ගේ කතාවට හූමිටි තැබුවෙමු.

ඔහු කී කතාව ඔහු ගේ ආඛ්‍යානයෙන් මෙසේය.

... එකල මා ඉගෙනමු ලබමින් සිටියේ හය වැනි පන්තියේ ය. පන්තිය භාරව සිටියේ අපට ගණන් ඉගැන් වූ ගුණසේකර ගුරු මහතා ය.

ඔය කාලේ දවසක ම’පියා පපුවේ අමාරුව උත්සන්න වී රෝහල් ගත විය. මව දිනපතා ම ඔහු බැලීමට ගියා ය.

පියා නැති ගෙදර අග හිඟකම්වලින් පිරී ගියේ ය.

මට ද නොදැනී මගේ ගණන් හදන පොත ද ඉවර වී තිබිණ. අලුත් පොතක් ගැනීමට ගෙදර මුදල් ද නොවී ය. මා කළේ යාළුවකුගෙන් කොළයක් දෙකක් ඉල්ලා පොතේ අග අලවාගෙන වැඩේ පිරිමසා ගැනීම ය.

දිනක් ගුණසේකර මහත්තයා ඒ මාසේ ඉගැන්වූ ගණන් වර්ග කිහිපය අළලා ගණන් පහළොවක් හැදීමේ අභ්‍යාසයක් අපට දුන්නේ ය.

පොතේ කොළ ඉවර වී තිබුණ බැවින් මම මගේ හොඳ ම යාළුවාගෙන් රහසේ ම කොළයක් දෙකක් ඉල්ලීමි.

‘මහත්තයා, හේමයා අදත් ගණන් හදන පොත ගෙනල්ල නෑ. මගෙන් කොළ ඉල්ලනවා!’ මිතුරා කෑගැහුවේ ය. මම සලිත වී ගියෙමි. ටිකකින් මම ගුරුතුමා දෙස බැලීමි. ඔහු ළඟට එන්නැ යි මට හිසින් සන් කළේ ය. මම ඔහු ඉදිරියට ගොස් බිම බලා ගතිමි.

පන්තියේ සියල්ලන් ම ගණන් හැදීමට පටන් ගෙන තිබුණු බැවින් පන්තිය මීයට පිම්බාක් මෙන් විය.

‘මොකද හේමසිරි? තාත්ත තාම ඉස්පිරිතාලෙ ද?’ ගුරුතුමා ඇසුවේ ඉතා කාරුණිකව ය. මගේ දෑස පෙඟුවේ ය.

‘ඔව් මහත්තය.’ මම මිමිණුවෙමි.

ගුරුතුමා සාක්කුවට අත දා කාසි කිහිපයක් ගෙන මේසය මත තැබුවේ ය. එතැන සත පහළොවක් විය.

‘හේමසිරි මේ සල්ලි අරගෙන ගිහිං පාරෙ එහා පැත්තෙ කඩෙං කොටුරූල් පොතක් අරං ඇවිත් ගණන් ටික හදන්ඩ ඕනැ. කලබලේට පාර පනින්ඩ එපා. පරිස්සමට යන්ඩ ඕනැ’ ගුරුතුමා හෙමිහිට කීවේ ය.

‘හොඳයි මහත්තය’

ගුරුතුමාට දණ නමා වැඳි මම ඒ මුදල ගෙන පිට වී ගොස් පොතක් රැගෙන වහා පැමිණ ගණන් පහළොව ලියාගෙන හනි හනික හදන්නට වීමි. මම ඒ හුස්මට ම ගණන් පහළොව හදා පොත ගුරුතුමා ඉදිරියේ තබන විට මට පෙර ගණන් හදා පොත් එතැන තබා තිබුණේ දෙදෙනකු පමණි. සෙසු සියල්ලෝ ම ඒ වන විටත් ගණන් හදමින් සිටිය හ.

ඊට දෙදිනකට පසු අපට පාසලේ අවට පරිසරය පිරිසුදු කිරීම පැවරිණි. මට පැවරුණු කොටසෙහි නිදිකුම්බා ගාලක් විය. ඒ අස්සේ මුගුණුවැන්න ද වැවී තිබිණි.

‘හේමසිරි ඔය මුගුණුවැන්නවලින් හොඳ හරිය කඩාගෙන ගෙදර ගෙනියන්ඩ! ඔය මුල්වලින් හොඳ මුගුණුවැන්න පාත්තියක් හදා ගන්ඩ! පාත්තිය පොළොවෙන් උස්සල හදා ගත්තොත් අතු පහළට, දිගට හැදෙනව.’ ගුරුතුමා උපදෙස් දුන්නේ ය.

මා ගෙදර ගියේ ලොකු මුගුණුවැන්න මිටියක් බැඳගෙන ය. විස්තරය අම්මාට කී විට හවස් යාමයේ අම්මා වත්තේ තැනක් පෙන්නා පාත්තියක් හැදීමට ද උදව් කළා ය. ලොකු පාත්ති දෙකකුත් පොඩි පාත්තියකුත් හදා මුගුණුවැන්න හිටවූ මම නිතිපතා ඒවාට වතුර දමා සාත්තු කළෙමි.

දෙමසක් පමණ ගත වන විට මුගුණුවැන්න වගාව සාරවත් ව දිස් විය.

‘පුතේ, හොඳ මුගුණුවැන්න පලා අතු ටිකක් කඩල හොඳට හෝදල මහත්තයට ගිහින් දුන්නොත් මහත්තය හුඟක් සන්තෝස වෙයි.’ අම්මා කීවා ය.

ගුරුතුමාට මුල් කොටස වෙන් කළ පසු තවත් මුගුණුවැන්න මිටි අටක් පමණ බැඳි මම ඒවා ‘පුළුවන් දෙයක් කරගන්නැ’යි කියා අම්මාට දුනිමි.

පසු දා පාසල් ගිය ගමන් ම බෑගයක ලූ අර මුගුණුවැන්න මිටිය ගුරුතුමාට දුනිමි.

‘ආ හේමසිරි හොඳට ම මහන්සි වෙලා! පලා ටික සරුවට හැදිල! ඉතින් මේ ළමය මහන්සිවෙලා හදපුව මං කොහොමද නිකං ගන්නෙ? මෙන්න මේ මුදල ගන්ඩ!’ කියමින් ගුරුතුමා මට සල්ලි වගයක් දෙන්නට හැදුවේ ය. මම ‘එපා මහත්තයා’ යි කියමින් පන්තියේ වාඩි වීමි.

පසු දා පාඩම පටන් ගැනීමට පෙර ගුරුතුමා අප කලින් කළ අභ්‍යාසයක උත්තර පත්‍ර බෙදා දුන්නේ ය.

‘වැඩි ම ලකුණු ගත්තු හේමසිරිට මෙන්න මගෙන් තෑග්ගක්!’ එසේ කී ගුරුතුමා මට ඇක්සයිස් පොත් හයක් තිළිණ කළේ ය.

මගේ දෑස තෙත් වූයේ සතුටට ද දුකට දැයි නොදනිමි.

‘හේමසිරිට හොඳට ගණන් මතකයි! මොන අඩු පාඩු තිබුණත් ඉස්කෝලෙ ඇවිත් ඉගෙන ගන්ඩ ඕනැ හොඳ ද?’ ගුරුතුමා මගේ හිස අතගෑවේ ය.

ගණන් ඉගෙනීමට මා තුළ ආශාව ඇති කළේ ගුණසේකර ගුරුතුමා ය. මා අට වැනි පන්තියේ දී විද්‍යා ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේ ද එනිසා ය. ඒ හේතුවෙන් මට මධ්‍යම පළාතේ හොඳ ම විද්‍යාලයකට ඇතුළු වී විද්‍යා ගණිත විෂයයන් හැදෑරීමට අවස්ථාව ලැබිණ. එසේ යෑමට මා ගුණසේකර ගුරුතුමාට සමුදුන්නේ හඬමිනි. ගුරුතුමා එදින ද මට පොත් පාර්සලයක් තෑගි දී ගුරුහරුකම් රැසක් ලබා දුන්නේ ය.

අලුත් පාසලේ දී මට ශිෂ්‍යාධාර ද ලැබිණ. මා ගෙදර සිට අලුත් පාසලට යන කාලේත් මගේ මුගුණුවැන්න වගාවෙන් අම්මාට කිසියම් ආදායමක් ලැබෙමින් තිබිණ.

ඒ පාසලේ දී මා ගණිත අංශයෙන් සරසවියට තේරුණ ද අම්මාට කරදරයක් නොදෙනු පිණිස විද්‍යා ගණිත ගුරු පත්වීමක් ලබා ගතිමි. ඒ නිසා ගෙදර ප්‍රශ්න හම‍ුවේ හෙම්බත් ව සිටි අම්මාට හයියක් දීමට මගේ බාල සහෝදර සහෝදරියන් ගේ අධ්‍යාපනයට අදාළ අඩුපාඩු සපුරාලීමට ද මට හැකි විය. ඒ වන විට ම පියා ඇඳට ම වැටී සිටියේ ය.

එතැන් සිට වසර දෙකක් ඉක්ම ගිය තැන මම පුහුණු ගුරුවරයකු වීමි. ලොකු මල්ලීට ද රජයේ ලිපිකාර තනතුරක් ලැබිණ. මල්ලීත් මාත් එකතු වී පියාට රෝද පුටුවක් මිල දී ගෙන දුනිමු. එතෙක් ඇඳට ම වැටී සිටි පියාට ඒ නිසා එළිමහනට ඒමට හැකි විය.

මා බාහිර උපාධියට පෙනී සිටීමට සූදානම් වූයේ බාල සොහොයුරා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ පසු ය. ඒ වන විට නංගිලා ද ඉහළට ඉගෙන ගනිමින් සිටිය හ. මා විවාහ දිවියට ඇතුළු වන විට ගෙදර ප්‍රශ්න බොහොමක් විසඳී තිබිණ.

දැන් මම බිරිය ද සමඟ දියණිය ඇසුරේ නිස්කාන්සුවේ ජීවත්‍ වෙමි. පුත්තු ද හොඳ රැකියාවල නිරත ව සිටිති.

සිසු වියේ දී මගේ දස්කම් එළියට ආවේ ගුණසේකර ගුරුතුමා මට අනුකම්පාවෙන් පොතක් ගැනීමට දුන් සත පහළොවෙන් යැයි මම සිතමි. එසේ නොමැති ව ගුණසේකර ගුරුතුමා වෙනුවට වෙනත් රළු ගුරුවරයකු සිටියා නම්, පොතක් නොගෙනාවේ ඇයි දැයි අසා මට දඬුවම් දුන්නා නම්, මා පන්තියෙන් එළෙව්වා නම් පසුකාලයේ මා බඳු ගණිත ගුරුවරයකු සමාජයට දායාද නොවන බව මම දනිමි.

එහෙයින් මගේ ගණිත ගුරුතුමන් ආදර්ශයට ගත් මම කිසි දිනෙක අගහිඟකම්වලින් පිරුණ සිසු දරුවනට රළු ලෙස නොසැලකුවෙමි. ගෙවල් දොරවල්වල නැති බැරිකම් දරුවන් පිට යැවීම පාපයකි. ඒ හේතුවෙන් දරුපැටියකු ගේ අනාගතය අවුරා දැමීම අපරාධයකි. අද මා විශ්‍රාම ගෙන සිටිය ද මගෙන් ඉගෙන ගත් ගෝලයන් කොතැනක දී මා දැක්කත් මට සලකන්නේ මගේ ගුරුතුමා ළඟ තිබූ කරුණාව මා ද දායාද කොට ගෙන සිටි නිසා විය යුතු ය.

පුංචි කාලයේ නැතිබැරිකම නමැති අන්ධකාරයේ කොතරම් පීඩාකාරී ජීවිතයක් ගත කළත් ඒ අන්ධකාරය විනිවිද ගිය රන් තාරකාවක ආලෝකය නිසා ම මා දිවිය ආ‍ලෝකවත් විය. ගුණසේකර ගණිත ගුරුතුමාණනි ඔභ මතු මතුත් වාසනාවන්!

ඉස්කෝලෙ මාමා කතාව නිම කර අසුනින් නැගිට්ටේ කතාව අතර මැද අප පිරි නැමූ තේ කෝප්පය ද බී ඊට ද ස්තුති කරමිනි.

‘දැන් මං යන්ඩ ඕනැ දරුවනේ’ කියමින් මිදුලට බැස ගත් ඔහුගේ රුව නොපෙනී යන තුරු අපි නිසොල්මනේ බලා සිටියෙමු.

කොළොන්නාවේ මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


o