Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
 දමනය වීම

සැමියාත්, මාත් වෙළෙඳ සලෙන් බඩු මිලදී ගෙන එළියට බසින විට අහස කළු කරගෙන එමින් තිබිණි.

බඩු තොගය නිවෙසට රැගෙන යෑමට ත්‍රිරෝද රියක් සොයා ගත යුතු විය.

එහෙයින් ත්‍රිරෝද රියක් මතු වන තුරු අපි බඩු මලු ද ළං කර ගෙන කුඩ ඉහලා ගතිමු.

ත්‍රිරෝද රියක් වෙනුවට අප ඉදිරියට ආවේ නන්නාඳුනන ගැහැනියකි. ඇය මා සැමියාට අත පෑවා ය.

මසිත අපහසුවෙන් නොසන්සුන් විය.

‘ඇයි මේ?’ මම සැමියා දෙස බැලුවෙමි.

‘කීයක් හරි දෙන්නලු’ ඔහු ගණනකට නොගෙන මාරු කාසි සොයන්නට වූයේය.

‘අයියෝ මේ වරුසාවෙ ඕව කර කර ඉන්න පුළුවන් ද? ත්‍රීවිලර් එකක් හොයාගන්න බලමු!’ මට කියැවිණ.

වැසි වැටෙන්නට විය.

කුඩයක් ඉහලාගෙන සිටි ඇය වැස්සෙන් බාගෙට තෙමුණාය.

අපේ බඩු මලු ද තෙමෙමින් තිබිණි. ත්‍රිරෝද රියක් නතර කර ගැනීම අපේ අරමුණ බව දැනගත් ගැහැනිය වැස්ස මැදින්ම පාරට දිව ගියා ය.

ත්‍රිරෝද රියක් නතර කර ගත් ඇය එය අප අසලට ගෙන ආවා ය.

අපි එහි නඟින්නට සූදානම් වීමු. ගැහැනිය තෙමි තෙමීම අපේ බඩු මලු පැටවීමට උදවු කළා ය.

දැන් අපත් බඩු මලුත් ආරක්ෂාකාරීය. ඇය මුදලක් ඉල්ලීමට අමතක වූවා සේ පසෙකට වූවාය.

‘ඔහොම පොඩ්ඩක් ඉන්න!’ මා සැමියා මුදල් පසුම්බිය හැර මුදලක් අතට ගත්තේ ය.

‘ආ මේක තියා ගන්න’ ඔහු නෝට්ටුවක් ඈ අත තැබුවේ ය.

ඇය කෘතඥ පූර්වකව සිනාසුණාය. මම ද ඇය හා සිනාසුණෙමි. ඒත් තරමක ලජ්ජාවකිනි.

‘අපි යනව’

ඇය අහිංසක ලෙස හිස නැමුවා ය.

මම වහා ඉවත බලා ගතිමි. ඒ ඇයට ඍජුව මුහුණ දිය නොහැකි බැවිනි.

ගැහැනියක වූ ඇය තවත් ගැහැනියක වූ මා අවිහිංසකවම දමනය කළ අයුරු මට කිසිදා අමතක නොවේ.

පියසීලි විජේනායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


Ads here
340 x 60
Rs. 4000/-