Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
පුංචි දැරිය

සීතල කඳුකරයේ පිහිටි පුංචි පාසලකි.

ගමට ම කොටු වී සිටින මේ දරු පැටවුනට රට තොට පෙන්විය යුතු යැයි සිතූ විදුහල්වතිවරයා සිය ගුරු මණ්ඩලය හා කතිකා කොට අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කළේ ය.

මේ ආරංචියෙන් පාසල ම පිබිදී ගියේ ය.

දිනක් උදෑසන, දෙවැනි ශ්‍රේණියේ පන්ති භාරව අලුත පත්ව ආ ගුරුතුමිය නාම ලේඛනය ලකුණු කිරීමෙන් පසු දරුවන් වෙත හැරී මෙසේ ඇසුවා ය.

‘අධ්‍යාපන චාරිකාවට සහභාගි වන අය අත් උස්සන්න!’

එක දැරියක් හැර සෙසු සියල්ලෝ ම අත් එසවූහ.

‘ඇයි දූ ඔයා යන්නෙ නැත්තෙ?’

‘යන්නෙ නෑ ටීචර්. අම්ම කිව්ව සල්ලි නෑ කියල’

එකෙණෙහි ම යාබද දරුවෝ කිහිප දෙනෙක් තරගයට මෙන් යම් යම් දේ කී හ.

‘ටීචර්, එයාගෙ තාත්තට හොඳට ම අමාරුයි!’

‘දැන් මැරෙන්න වගේ ඉන්නෙ’

‘තාත්ත මැරුණ ම එයාට තාත්ත කෙනෙක් නෑ’

අර දැරිය ඒ සියලු කතා යටපත් වන පරිදි උස් හඬින් යමක් පැහැදිලි කළා ය.

‘නෑ ටීචර්, අපේ තාත්ත මැරෙන්නෙ නෑ. අම්මත් එක්ක අපි දේවාලෙට ගිහින් පොල්ගෙඩි හතක් ගැහුව! දේවාලෙ කපුරාල දෙහි කපල කිව්ව තාත්ත මැරෙන්නෙ නෑ කියල!’

පන්තිය පුරා දැඩි නිහඬතාවක් පැතිරිණ. සැලී ගිය ගුරුතුමිය කතාව එතැනින් හමාර කර පන්තියේ වැඩ පටන් ගත්තා ය.

දිවා විවේකයේ සීනුව නාද විය.

ගුරුතුමිය අර පවුල ගැන තොරතුරු දන්නා වෙනත් ගුරුතුමියක සොයා ගියා ය.

ඇය දරු පවුල ගැන තමා දන්නා සියල්ල කීවා ය.

ඒ අනුව දැරිය ගේ පියාට මුඛ පිළිකාවක් සෑදී ඇත.

දැන් තත්වය දරුණු ය. මුඛයේ පැත්තක් සිදුරු වී අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ද පෙනෙයි. කවන අහර ද සිදුරෙන් පිටතට එන බැවින් දැන් රෝගියා දිවි රැක ගන්නේ දියර අහරිනි.

දැරිය ගේ පියා ලෙඩ ඇඳට වැටීමෙන් පසු දැරිය ගේ මව කුලී වැඩට බැස ඇත. එහෙත් සැමියා ගේ තත්වය උත්සන්න වූ පසු ඔහුට උවැටැන් කරනු පිණිස ඇයට ගෙදර නැවතීමට සිදු විය.

දැරිය ගේ අත්තම්මා සහ සීයා පාර අයිනේ පුංචි වෙළඳාමක් කරති. මේ දරු පවුල ජීවත් කරවන්නේ ඔවුන් ය.

දැරිය කෙරෙහි ගුරුතුමිය තුළ මහා අනුකම්පාවක් හට ගත්තේ ය. දැරියගේ ගාස්තුව දැරීමට තීරණය කළ ඇය ඒ බව ගුරු මණ්ඩලයට දන්වා අවසරය ද ගත්තා ය.

අනතුරුව, දැරිය සොයා ගිය ඇය ඇයට රහසක් කීවා ය.

‘දුවේ, ඔයාගෙ ගාස්තුව මම ගෙවනව. ඒ හින්ද ඔයා ගෙදරින් සල්ලි ගේන්න ඕනැ නෑ. ඔයා ගෙදර ගිහින් අම්මට කියල අම්මගෙ කැමැත්ත විතරක් අහගෙන එන්ඩ!’

ඒ කතාවෙන් දැරිය ද පිබිදුණා ය.

‘හොඳයි ටීචර්, මං අම්මට කියල ලියුම අත්සන් කරගෙන එන්නං’

එහෙත් පසු දා දැරිය ගේ මුහුණේ තිබුණේ අඳුරකි.

‘ඇයි දුවේ? අම්ම යන්ට එපා කීව ද?’

‘ටීචර්, අම්ම කිව්ව ඒ දෙසිය පනහ අම්මට දුන්නොත් ඒකෙන් කිරිපැකට් එකක් හරි ගෙනැල්ල තාත්තට හැන්ද - හැන්ද පොවන්ට පුළුවනි කියලා’

කුරුණෑගල, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර (විශ්‍රාමික) ජයතිස්ස සෙනවිරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

silumina.lk


Ads here
340 x 60
Rs. 4000/-