බිඳුණු බැඳුම

2018-11-21 10:27:00       119
feature-top
ඒ සති අන්තයේ දින­යකි.

මා සිටියේ අස­ල්වැසි මිතු­රි­යකගේ නිවෙසේ ය.

මිතු­රි­යත්, මමත් සාල­යට වී සැහැල්ලු කතා­වක නිරත වි සිටි­යෙමු.

ඇගේ බාල නැග­ණිය පැමිණ රූප­වා­හිනී යන්ත්‍රය ක්‍රියා­ත්මක කළා ය.

අපේ ඇස් ද නොදැ­නු­වත්ව ම එදෙස ඇදී ගියේ ය.

ඉන් තරු­ණ­යකුගේ මුහු­ණක් මතු විය. ඒ දුටු හැටියේ ම මා මිතු­රි­යට ‘ආහ්!’ කියැ­විණ. ඇගේ ස්වරූ­පය වෙනස් විය. ඇය නැගිට ඉස්තෝ­ප්පුව ද පසු කොට මිදු­ලට බැස්සා ය.

මම ද, ඇය අනුව ගියෙමි.

වත්තේ කෙළ­වර උණ පඳු­රක් යට ලොයි බංකු­වක් සවි කර තිබිණ. ඇය එහි ගොස් හිඳ ගත්තා ය. මම ද ඇය ළඟ හිඳ ගතිමි.

ඇය යථා තත්ත්ව­යට පත් ව­න ­තුරු මම අහස දෙස බලා සිටි­යෙමි.

‘ඒ මූණ දැක්ක හැටියෙ මට කරන්ට් එක වැදුණ වගේ උණා. ඒකයි මේ...’ ඇය මගේ අත මිරිකා ගත්තා ය.

‘කවුද ඒ? ඔයාගෙ...?’

‘මගෙ නෙමේ. මගෙ හොඳ ම යාළු­වෙක් බඳින්ඩ හිටිය කෙනා...’

ඇය දිගු කතා­වක් කිය­න්නට පටන් ගත්තා ය.

ඒ මෙබඳු ය.

මගේ මිතු­රිය රජයේ සේවා­වට බැ‍ඳෙන්නට පෙර එක්තරා ආය­ත­න­යක රැකියා පුහු­ණුව ලබ­මින් සිටියා ය. එහිදී ඇයට එහි ස්ථිර සේවි­කා­වක ව සිටි නිල්මිණි සමීප වූවා ය. කා සම­ඟත් ඉතා යහ­පත් ඇසු­රක් පැවැත් වූ, කාටත් උදව් උප­කාර කරන නිල්මිණි ගේ ඇසුර ඇයට විශාල ශක්ති­යක් විය.

නිල්මි­ණිට පෙම්ව­තෙක් සිටියේ ය. වෙනත් ආය­ත­න­යක රැකි­යාව කරන ඔහු දිවා විවේ­කයේ දී දින­පතා ම පාහේ නිල්මිණි සොයා ආවේ ය. නිල්මිණි පුරු­ද්දක් හැටි­යට ඔහුට ද අහර ගෙන ආවේ ය. අපි තිදෙන එකට අහර වැළ­ඳු­වෙමු.

‘ඔයා දැක්ක නේද? දැන් අර රූප­වා­හි­නියෙ කතා කරන්නෙ එයා! අපි විහිළු කර කර කාපු හැටි මට තව ම මත­කයි. නිල්මිණි ඉන්නෙ හුඟක් දුර. එයා පාන්දර නැගි­ට­ගෙන තමයි උයල ඒ කෑම අරං ආවෙ. එයා කොච්චර ආද­රෙන් ද ඔය මනු­ස්ස­යට දවල් කෑම වේල හදා­ගෙන ආවෙ.’ ඇය හඬ­න්නට පටන් ගත්තා ය.

ටික­කින් හැඬුම පාල­නය කර ගත් ඇය කතාවේ ඉතිරි කොටස ද කීවා ය.

‘අවු­රුදු දෙක­කට පස්සෙ මං ආණ්ඩුවෙ රස්සාව හම්බ වෙලා ඒකට ගියා. ඒ යද්දි නිල්මිණි මාව බදා­ගෙන සුබ පැතුව. ඉන් පස්සෙ විවේ­ක­යක් ලැබුණු හැම වෙලේ ම එයා මට කෝල් කරල තොර­තුරු කිව්ව. ළඟදි බඳි­න­වයි කිව්ව. මටත් අනි­වා­ර්ය­යෙන් ම කිය­න­වයි කිව්ව. කෙල්ල එයා­ලගෙ අනා­ගත ලෝකෙ ලස්ස­නට සැල­සුම් කර­ගෙන තිබුණ... හැබැයි ටිකින් ටික කසාදෙ කල් ගියා. ඔහොම අවු­රු­ද්දක් දෙකක් විතර යන කොට අපේ ආශ්‍ර­යත් ටිකක් මගෑ­රිලා ගියා...’

‘ඉතිං?’

‘දව­සක් මට හදි­ස්සියෙ පාරෙදි නිල්මිණි මුණ ගැහුණ. එයාව අඳුර ගන්ඩත් බැරි තර­මට කෙට්ටු වෙලයි හිටියෙ. මං පුදුම වෙලා ‘මොකද මේ ඔයාට වෙලා තියෙන්නෙ? කියල ඇහුව. එත­කොට නිල්මිණි ‘අනේ බල­න්ඩකො මට වෙච්ච දේ කියල මාව බදා­ගෙන ඇඬුව.’

සිදු වී තිබුණේ නොසිතූ දෙයකි. දිනක් ඇගේ පෙම්වතා දුර­ක­ථ­න­යෙන් ඇය අමතා තමාට අලුත් ‍යෙහෙළි­යක මුණ ගැසුණු බවත්, ඇය ධන­වත් නිවෙ­සක එක ම දිය­ණිය බවත්, විවා­හය කඩි­නම් කරන ලෙස ගෙවල් දෙකෙන් ම බල කෙරෙන බවත් කීවේ ය.

‘අනේ නිකං විහිළු කතා කියන්ඩ එපා අනේ!’ නිල්මිණි කීවා ය.

‘විහි­ළු­වක් නෙමේ ඇත්ත­මයි. මට මේක ඔයාගෙ මූණ බලා­ගෙන කියන්ඩ බැරි­ක­ම­ටයි මෙහෙම කතා කරන්නෙ. ඔයා මට හුඟක් උදව් කරල තිය­නව. මට ඒව අම­තක නෑ. ඒවට හද පත්ලෙන් ම ස්තුතියි. ඔයා තරහ වෙන්ඩ එපා මට මේ යෝජ­නා­වට කැමති වෙන්ඩ වෙනව...’ ඉන් එහාට ඔහු කී දේවල් ඇයට නෑසුණේ සිහි­සුන්ව මේසය මතට කඩා වැටුණු බැවිනි.

මම විම­ති­යෙන් ‍ගොළු වීමි.

ඇය දිගට ම කතා කළා ය.

‘.. අනේ ඒ අස­රණී ඔය මනු­ස්ස­යට අවු­රුදු ගානක් උයා­ගෙන ආවෙ හරි ආද­රෙන්. එයා අනා­ගතේ සිහින මාලි­ගා­වක් මවා­ගෙ­නයි හිටියෙ. එයා ගෙද­රට, ඔෆිස් එකට මූණ දුන්නෙ කොහො­මද කියල මං දන්නෙ නෑ. මොකක්ද අනේ අපේ මිනි­ස්සුන්ට වෙලා තියෙන්නෙ? ඇයි මෙහෙම බලා­පො­රොත්තු දෙන්නෙ? ඇයි බොරු කරන්නෙ? ඇයි සල්ලි බාගෙ දැක්ක ම සේරම පොරොන්දු අම­තක වෙන්නෙ?’

ඇගේ දෑසින් කඳුළු කැට වැටුණේ ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »