ත්‍රිරෝද රස්සාව

2018-11-01 01:57:00       93
feature-top
මා සන්තකයේ තිබූ සියල්ල නොසිතූ පරිදි නැති වී ගියේ ය.

අන්තිමේ දී අමාරුවෙන් මුදලක් හොයා ගෙන පාවිච්චි කරන ලද ත්‍රිරෝද රියක් මිලදී ගත්තේ හයර් ටිකක් දුවා ගෙදර එදිනෙදා වියදම පියවා ගනු පිණිස ය.

දෙවියන්ගේ පිහිටයි කියා ත්‍රි‍රෝද රිය ගෙදරින් පාරට ගන්නා වේලේ බිරිය දිය වීදුරුවක් පුරවා ගෙන මා ඉදිරියට ආවේ හිනැහීගෙන ය. ඇගේ අහිංසක හිනාවේ රැඳී තිබුණු දහසක් බලාපොරොත්තු මට හඳුනා ගත හැකි විය.

මම ඇයට නළාව හඬවා ගෙන රිය මහ පාරට හැරවීමි. ඇයත් දරු දෙදෙනාත් මට අත වනනු පැති කණ්ණාඩියෙන් දුටු විට මා මත වැටී ඇති පවුලේ බර කොතෙක් ද යන්න යළිත් සිහිපත් විය.

ත්‍රිරෝද රිය කාපට් පාරට හැරවුව ද යන්නේ කොහේද කළ යුත්තේ කුමක් ද යන්න ගැන මට වැටහීමක් නොවූයේ කුලියට හයර් යෑම මට ආගන්තුක වූ හෙයිනි. එහෙයින් මම ගමේ හන්දියට ගියෙමි. එතැන රිය ගා‍ෙල් එකදු රියක් හෝ නොතිබුණේ උදේ වැඩිකම නිසා විය යුතු ය. එහෙයින් මම එතැන නැවතීමි.

ඉක්මන් ගමනින් ආ මහත්මයෙක් ම‍ෙග් රියට නැගී ‘යං’ කීවේ ය. මම ඔහු කී තැනට ගියෙමි.

‘කීයද ගාන?’ ඔහු විමසීය. ගණන් හිලව් ගැන මට තේරුමක් නොවී ය.

‘වෙනද දෙන ගාණ දෙන්ඩ!’ මම කීමි.

ඔහු මට සීයේ නෝට්ටු දෙකක් දී රුපියල් පනහක් ආපසු ඉල්ලා ගත්තේ ය.

මා ආපසු හන්දියට එන විට එතැන ත්‍රිරෝද රිය දෙකක් ගාල් කර තිබිණ.

‘මොකද මල්ලි මේ?’

ඉන් එක් රියැදුරෙක් මගෙන් ප්‍රශ්න ක‍ෙළ් ය. මා ඔහු කලෙක පටන් හඳුනන නමුත් වෙනදා ඔහු ගේ මුහුණෙහි තිබූ හිනාව අතුරුදන්ව තිබිණ.

‘අතගහපු කිසි දෙයක් හරි ගියේ නෑ අයියෙ. ‍ෙම්කවත් කරන්ඩ කියල හිතුව!’ මම කීමි.

‘එහෙනං වෙන තැනක් හොයා ගන්ඩ වෙයි. මෙතන අපේ සමිතියේ සාමාජිකයන්ට විතරයි. මල්ලි යන්ඩ! නිකං ලෙඩ දාගන්නෙ මොකට ද?’

‘ඉතිං මාවත් ඒකට බන්ද ගන්ඩකො!

උත්තර දුන්නෙ අනෙකා ය.

‘බෑ! බෑ! බෑ! මෙතන බෑ! අලුතෙං ත්‍රීවිල් ගන්නෑ. තියන ඒවත් වැඩිවෙලා තියෙන්නෙ’

මම රිය පණ ගන්වා ඊළඟ හන්දියට ගොස් නතර කරන විට ම තවත් ත්‍රිරෝද රියක් විත් එතැන නතර කළේ ය.

‘මල්ලි වැඩ අවුල් කරන්ඩ එපා! ඕක අරං යන්ඩ! මෙතන ඉන්නෙ අපි හතර දෙනයි. හතර දෙනත් මෙතෙන්ට වැඩි වෙලයි තියෙන්නෙ.’ රියේ සිටි වැඩිහිටියා කීවේ ය.

මම ඊළඟ හන්දියට ගියෙමි. ගිය විට ම මට ගමට හයර් එකක් ලැබුණේ ය.

මගදී සිදු වූයේ මා නොසිතූ දෙයකි.

පසු පසින් පිඹගෙන ආ ත්‍රිරෝද රියක් මට ඉස්සර කර මගේ ගමන වැළැක්වීය. මං පසුපසට ගන්නට හැදුවෙමි. එහෙත් තවත් ත්‍රිරෝද රියක් එතැන ද හරස් කර තිබුණෙන් මට සෙලවිය නොහැකිව විය.

‘අපේ හයර් බලෙන් ගන්ඩ තමුසෙ කවුද ඕයි? දෙදෙනා ම මවෙත කඩා පැන්නෙන් මම සමාදානෙට කතා කළෙමි.

‘කලබල කරන්ඩ එපා! පොඩි වැරදීමක් වුණේ! මං මෙයාව දාල ආපහු යන්නං. වැඩේ ඉවරයිනෙ’

‘ආයෙ මේ වැයික්කියෙ බෑ! හරිද?”

‘හරි’

මම නගරයට ගියෙමි.

එහි ත්‍රි‍රෝද රථ ගාල් රැසකි. මම ඒවා කිට්ටුවෙන් ගෑටුවෙමි. ත්‍රිරෝද රියැදුරන් උකුසු ඇසින් මා දෙස බැලුවේ එක සංඥාවකින් සාමූහික ප්‍රහාරයකට එන සූදානමිනි.

දැන් මා ගමක් රටක් නැත්තකු බඳු ය. එම වීදි පුරා ගාටමින් හදිස්සි කාරයන් ඇද්දැයි විපරමින් ගියෙමි. ඒ අයුරින් මට හයර් දෙකක් ලැබිණ.

හයර් සොයමින් සංචාරයේ යෑමෙන් නිරපරාදේ තෙල් පිච්චෙන බව තේරුම් ගත් මම නගරයේ බැංකුවක් ළඟ නැවතුණෙමි.

‘මල්ලි ඔහොම බෑ. ‘ෆෝ හයර්’ කියල දැන්වීමක් අලව ගන්ඩ!’ බැංකුවේ නිලධාරියෙක් මට කීවේ ය. මම එසේ කළෙමි. තරමක් සාර්ථක ක්‍රමයක් වූ එයින් මට හයර් කිහිපයක් ලැබිණ. එහෙත් දෙවන දවසේ වැඩේ දුර දිග ගියේ ය.

‘ඔයා මොකද කරන්නෙ? බැංකුව ළඟට වෙලා අපේ හයර් කඩා ගන්නව නේද? ඔතනින් වහා ම අයිං වෙන්ඩ! නැත්තං අපි බලාගන්නව!’ ත්‍රි‍රෝද රියකින් ආවෙක් කෑගැහුවේ ය. මම කරබාගෙන ගෙදර ගියෙමි.

දෙවැනි දවසේ මා බැංකුව ළඟට ආවේ ‘ෆෝ සේල්’ දැන්වීම අලවා ගෙන ය. මගේ උපක්‍රමය වූයේ ඊට මුවා වී හයර් අල්ලා ගැනීම ය. එහෙත් වැඩි දෙනා ආවේ රියේ විකුණුම් මිල කීයදැයි අසාගෙන ය. මා වැඩි වටිනාකමක් කී විට ඔවුහු කිසිත් නොකියා යන්නට ගියහ.

‘මල්ලි උඹ ඊළඟට පොතෙන් වැඩ නේද? සේල් බෝඩ් එක ගහගෙන හයර් කැඩුවොත් කුඩු කරනව හරිද?’ චණ්ඩි පෙනුමක් ඇත්තෙක් මට තර්ජනය කළේ ය. මම දැන්වීම ගලවා දැමීමි.

කරන්නේ කුමක් දැයි දහ අතේ කල්පනා කරන විට හිතට අදහසක් ආවේ ය. ආපහු ගමට ගිය මම හඳුනන ගෙවල් ගානේ ගොස් හයර් යනවා නං මට කතා කරන ලෙස ඉල්ලා මගේ දුරකථන අංකය දුනිමි. ඒ උපක්‍රමය තරමක් සාර්ථක විය. මට රැයේත් දවාලේත් හයර් කිහිපයක් ලැබිණ. නමුත් ස්ථිර තැනක් නොවීම හිතට වධයක් විය.

කරන්නට දෙයක් නොමැති තැන මම බඩු මල්ලක් ද රැගෙන නගරයේ බලපුළුවන්කාරයෙකු සොයා ගියෙමි. වැඩේ කරදීමට ඔහු පැහැදිලිව ම ගාණක් ඉල්ලුවේ ය. දින කිහිපයකදී ඒ මුදල එකතු කර ගත් මම ඔහුට එය දී වැඩේ කර දෙන ලෙස ආයාචනා කළෙමි.

‘මං පස්සෙං වරෙං!’ කී ඔහු සිය කාරයට නැගුණේ ය. මම ඒ පසුපස මගේ රිය පැදවීමි.

නගරයේ මුලින් ම හමුවන ත්‍රිරෝද රථ ගාල ළඟ සිය රිය නැවැත්වූ ඔහු මට සන් කරගෙන ම රියෙන් බැස එහි සිටි ත්‍රිරෝද රියැදුරන් වෙත ගියේ ය. මම ද ඔහු පසුපසින් ගියෙමි.

‘උඹල එකෙක්වත් පොලු දාන්ඩ එපා! මූ මගෙ සහෝදරයෙක්. මූ අද හිටං මෙතෙන්ට එනව. සාමාජික ගාස්තු ගෙවල තියෙන්නෙ.’ රියැදුරන් දෙස ප්‍රහාරාත්මකව බැලූ ඔහු මගේ රිය පෝලිමට එක්කරන්නැයි මට සන් කළේ ය. මම ඔහුට කීකරු වීමි.

‘ඒ වුණාට සර්...?’ කටකාර රියැදුරෙක් අවකැපෙන වචනයක් කියාගෙන ආවේ ය.

‘කට පරිස්සං කර ගනිං! තමුංට බැරි නං චරු චුරු බෑ. යන්ඩ පුළුවං! හරිද?’ ම‍ෙග් ගැලවුම්කරු රියැදුරන් පෙළට ම තර්ජනාංගුලිය පෑවේ ය.

‘කමක් නෑ සර් කියනව නං...’ ඒ බහුතරයේ හඬ විය.

‘අන්න එච්චරයි! දැං මූත් උඹලගෙ එකෙක්. ආයෙ ප්‍රශ්න දාල මාව නරක මිනිහ කර ගන්ඩ එපා!’ කී ඔහු මගේ පිටට ද තට්ටුවක් දමා යන්නට ගියේ බැන්නොත් බැණපං! ගැහුවොත් ගහපං!’ කියාගෙන ය.

මම වරදක් කළ අයෙකු සේ බිම බලා ගතිමි.

එවිට ම වයසක අම්මා කෙනෙක් පැමිණ මගේ ත්‍රිරෝද රියට නැඟී ‘මාව ගෙදරට දාපං පුතේ’ යි කීවා ය.

‘‍ෙම්ක පුදුම වැඩක්නෙ දාපු හැටියෙ පෝලිමත් කඩාගෙන හයරුත් අල්ලගෙන!’

මා ඉදිරියේ සිටි තරුණයා කෑගෑවේ ය.

මම රිය පාරට ගතිමි.

සිය නිවෙස ඉදිරියේ බිමට බැස ගත් වයසක අම්මා මට නෝට්ටු කොළ දෙකක් දුන්නේ ය. ගණන් හිලව් හරියට නොදත් මම ඇය ගාස්තුව දැන ගෙන මුදල් ගෙව්වැයි සිතා ආපහු ආවෙමි.

හයර් පොළට ආ හැටියේ මා කළේ මා ගිය පෙදෙසට ගාස්තුව කීය දැයි සොයා බැලීම ය. මා වැඩිපුර රුපියල් සියයක් ගෙන ඇති බව දැන ගත් මගේ පපුව දන්නට විය. මම වහා ම අර අම්මා සොයා ඇගේ ගෙදරට ගියෙමි.

‘අම්මේ මට සමාවෙන්ඩ! මං දන්නෙ නැතුව අම්මගෙන් වැඩිපුර සීයක් අරගෙන. ඒක දෙන්ඩයි ආවෙ. ඒ වෙනුවෙන් ම ආපු හින්ද පැට්‍රෝල් වියදම අඩු කර ගන්නං. මේ රුපියල් පනහ තියා ගන්ඩකො’ මම නෝට්ටුවක් ඇගේ අතේ තැබුවෙමි.

‘අනේ පුතේ මේක දෙන්ඩද මේ ආපහු ආවෙ? අපරාදෙ ටවුමෙදි ආ‍යෙ හම්බ වුණා ම ගන්ඩ තිබුණනෙ.’ ඇය අහිංසක ලෙස සිනාසුණා ය. මට අපේ ආච්චි අම්මා සිහිපත් විය. මම මොහොතක් ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි.

‘ම‍ගෙ පුතාට හරි යන්ඩ ඕනැ. දෙයියන්ගෙ පිහිටයි!’ ඇය මා පිරිමැද්දා ය. මම ඇයට වැන්දෙමි.

ආපහු නගරය බලා එමින් සිටි මගේ හිත සැහැල්ලු වී තිබිණ.

ඉකුත් දින කිහිපය පුරා ම මට හමු වූයේ මුදල් පසුපස ම හඹා යන මිනිසුන් ය. ඔවුන් ගේ අධ්‍යාත්මයෙන් වහනය වූයේ දුර්ගන්ධයකි. මා අවට සැරිසරමින් තිබූ ඒ දුර්ගන්ධය මේ වයසක අම්මාගේ අධ්‍යාත්ම සුවඳින් වැසී ගියා සේ ය.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »