මල් පැළ සල්පිල

2018-05-31 01:13:00       694
feature-top
නගරයේ මල් හා විසිතුරු පැළ සල්පිල දින කිහිපයක් තිස්සේ පැවැත්විණි.

එහි අවසන් දිනයේ අෙලවිය බෙහෙවින් සාර්ථක විය. ගැනුම්කරුවන් අතර විදේශිකයන් ද දක්නට ලැබිණි. මල් අලෙවි සල් හිමිකරුවෝ යුහුසුලුව වැඩ කළහ.

මේ මල් අෙලවිකරුවන් අතර අප අසල්වැසි සිල්වා මහත්මිය ද වුවාය. ඇගේ මල් පැළ සියල්ලම පාහේ අලෙවි වී තිබුණෙන් ඇය පසු වුයේ මහත් සතුටිනි.

දවසේ නිමාවත් සමඟ සල්පිල ද නිමා විය. ඉතුරු බිතුරු ද රැගෙන සල්පිල් කරුවෝ සිය නිවෙස් බලා ගියහ.

සිල්වා මහත්මිය ද නිවෙස බලා ගියාය. අලෙවිය සරුව තිබු හෙයින් ඇය ගෙදර ගියේ සතුටිනි. ඒ සතුටටත්, ගතේ විඩාවටත් ඇයට පුරා රැයක් ම හොඳ නින්දක් ගියේය.

ඇය පසු දා අවදි වන විට හිරු උදා වී තිබිණි. ගෙවත්තෙන් කුරුලු ගී ඇසෙන විට ඇගේ සිත පහන් විය.

වහා මුහුණ කට ‍‍දොවා ගත් ඇය සුපුරුදු පරිදි ගෙවත්තට පිය නැගුවාය. උදෑසන ගෙවත්තේ ඇවිද නැවුම්ව හිනැහෙන මල් යාය නැරඹීම ඇගේ පුරුද්දය.

එහෙත් වෙනදා මෙන් ඇය පිළිගැනීමට බොහෝ මල් හා පැළ වර්ග එහි නොවීය. එහි මල් හා පැළ අලෙවි සල්පිලේ දී අලවි වු බව ඇයට සිහිපත් වුයේ එවිටය.

පුරුදු පරිදි කුරුලු ගී ඇසිණ. සමනල්ලු ඉගිළ ගියහ. එහෙත් හිනැහී ගත් වතම සිටි සුපුරුදු මල් යාය සිහිනයක් සේ අතුරුදහන්ව තිබිණ.

සිල්වා මහත්මියට මහත් දුකක් ඇති විය. ඇය ආපසු ගෙතුළට වැදුණාය. ඇගේ නෙත ගැටුණේ මුදල් පසුම්බියය. මල් අලෙවියෙන් එකතු වු ආදායම ඒ වන විටත් තිබුණේ එහිය. ඇය එය අතට ගත්තාය. ඒ සමගම ඇගේ හිතට ආවේ කියාගත නොහැකි දුකකි. මුදල් පසුම්බිය පසකට දැමු ඇය ඇදි පුටුවක හාන්සි වුවාය.

සිල්වා මහත්මිය වු කලි විශ්‍රාමික ගුරු මාතාවකි. අපි කුඩා කල පටන් ඈ ඇසුරේ හැදී වැඩුණෙමු. ඉඩක් ලද හැම විටම ඇගේ නිවෙසට යෑමට අපි හුරු වී සිටියෙමු. පරිසරයට ගහට කොළට ආදරය කරන පළමු පාඩම අපට කියා දුන්නේ ඇයය.

ඇගේ ගෙවත්ත අපුරු පරිසර පද්ධතියකින් සැදුණේ විය. මල් පැළ, පලතුරු පැළ, බෙහෙත් පැළ ආදී හැම දෙයක්ම එහි වවා තිබිණි. ලෙහෙනුන්, කුරුල්ලන්, සමනලුන්, මී මැස්සන් ආදී නොයෙක් සතුනට එය රජ දහනක් සදිසි විය. ගෙවත්තේ පිරිසිදු කමත්, පිළිවෙළත් එහි සුන්දරත්වය වඩාත් ඔප් නැංවී ය.

ගසක මල් පිපෙන හැටි, පරවෙන හැටි, ඉන් ඵල හට ගන්නා හැටි, ඒවායින් යළි ගහ කොළ ඇති වන හැටි ඇය අපට කියා දුන්නාය. සමුගෙන යන විට මල් අතු කැබැලි කිහිපයක් හෝ බීජ ටිකක් අපට තිළිණ කිරීම ඇගේ සිරිත විය.

දරුවනේ ගිහින් මේව පැළ කර ගන්න. කවද හරි, කාට හරි ප්‍රයෝජනවත් වේවි. ඇය අපට කීවාය.

එදා ඇගේ වදන් දැනුදු මට ඇසෙන්නා සේය.

දරුවනේ, මේ ගස් වැල් හරියට බෝධි සත්වයෝ වාගෙ. ඒව අපට ආහාර, පිරිසිදු වාතය, සිසිල, ඖෂධ ලබා දෙනවා. එත් ඒවා අපෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. අපිට පුළුවන් ඒ අයට පෝර දෙන්න. වතුර දෙන්න. ආදරය සෙනෙහස දෙන්න. හැබැයි අපි දුන්නත් නොදුන්නත් ඒ අය අපට දෙන දේවල් නොදී ඉන්නේ නැ. එක විදියටම දෙනව. ඒ නිසා දරුවනේ ගස් වැල්වලට , පරිසරයට ආදරය කරන්න. ඒ ගොල්ලා ඔයාලට සැනසීම ළඟා කර දෙයි, ඇය කීවාය.

දයාබර මාතාවනි, ඔබට දීඝායු පතමි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »