දෛවය

2018-05-08 11:40:00       567
feature-top
‘එදා ඉඳං අද වෙනකං මං අර ණය ගෙවනව බං. ණයට කැපිච්ච ම පඩියෙන් ඉතුරු වෙන්නෙ කීයද? ඒකෙන් කොහොමද ගෙවල් කුලී ගෙවාගෙන දරු පවුලක් රකින්නෙ? ඒ හින්ද මං හවසටයි රෑටයි ටියුෂන් කරනව. සති අන්තෙ ටියුෂන් නැති වෙලාවල්වල මොනව හරි පිට වැඩක් කරනව. මේ වැඩේට සෙට් වුණේ ඉස්කෝලෙ නිවාඩු කාලෙ හින්ද. මං හැංගුණේ මං උගන්නන ඉස්කෝලෙ දරුවොත් මේකට ඇවිල්ල ඉන්ඩ පුළුවන් හින්ද?

මට ඇමතුමක් ආයේ ය.

‘මල්ලි, මෙදා සැරෙත් සති අන්තයේ අපි නුවරඑළි කානිවල්එකට යනව. මෙදා සැරෙත් සුදෝ ඔයා‍ගෙ සපෝට් එක ඕනෑ’

‘දවස් කීයක් යන්ඩ වෙනවද අයියෙ?’ මම ඇසීමි.

‘දවස් තුනක් තියනව. මල්ලි ෂුවර් නේද?’

‘දවස් තුනක් නං අමාරුයි අයියෙ. දවස් දෙකක් එන්නං’

‘කමක් නෑ. එහෙම හරි ෂුවර්නෙ’

‘ඔව්’

රටේ ප්‍රධාන ජාතික ආගමික උත්සවවලට අමතරව තවත් නොයෙක් උත්සව තිබේ. ඒවා සංවිධානය කැරෙන්නේ නොයෙක් ආයතන හා සංවිධාන මඟිනි.

මෙබඳු උත්සවවලට බොහෝ ජනතාවක් පැමිණෙති. මෙසේ පැමිණෙන ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා උත්සව භූමියේ නොයෙක් තැන්වල අයිස්ක්‍රීම්, ෂෝට් ඊට්ස්, නූඩ්ල්ස්, බනිස් ආදි කෑම බීම අලෙවි කෙරෙන රථ දක්නට ලැබේ.

මට පෙර කී ඇමතුම දුන්නේ එබඳු අහර රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකි.

මෙය දුෂ්කර ජීවිතයක් වුව ද එමඟින් ලැබෙන අතිරේක මුදල මගේ පවුල් ජීවිතයට නම් හයියකි.

මට මගේ ජීවිතයේ හමු වූ හදවත ලස්සන ම මිනිසා හඳුනා ගන්නට ලැබුණේ මෙබඳු එක් අවස්ථාවක දී ය.

තරුණ විය පසු කර සිටිය ද ඔහුගෙන් පළ වූයේ තරුණ පෙනුමකි. ඔහු ගේ කෙළිලොල් ගතිය නිසා ම ඒ තරුණකම වඩාත් කැපී පෙනිණ.

එදා කාලිනවල් එකට පැමිණ සිටි ජනගහනය ද අධික විය. ඒ අතර විවිධ පාසල්වලින් පැමිණි දරුවෝ ද බොහෝ වූහ.

දින දෙකක් තිස්සේ එක දිගට වැඩ කිරීමෙන් ඔහුත්, මමත් වෙහෙසට පත්ව සිටියෙමු. ඒ වෙහෙස විටින් විට පලා ගියේ ඔහු කළ විහිළුවලිනි.

වැඩ කරමින් සිටියදී එකවරම ඔහු අතුරුදහන් විය.

‘විජේ! විජේ!’ මම ඔහුට කෑගෑවෙමි.

එහෙත් මට ඇහුණේ ඔහුගේ හඬ නොව, එක පොකුරේ පොරකමින් අහර මිලදී ගැනීමට බලා සිටි දරුවන්ගේ හඬ ය.

‘අංකල්, මට පේස්ට්‍රි එකක්’

‘අංකල් මට ජෑම් බනිස් එකක්’

‘අංකල්, මට වඩේ දෙන්ඩ!’

‘අනේ අංකල්, මට ‍රෝල්ස් දෙකක්!’

හිතට කේන්තියක් ආවද මට එය පාලනය කරගෙන සැලකිල්ලෙන් වෙළෙඳාම කළෙමි.

ටිකකින් තදබදය අඩු විය.

මම යළි රියෙන් එළියට කෑගෑවෙමි.

‘විජේ...!’

‘කෑගහන්ඩ එපා බං! ළමයි ගියාද?’

විජේගේ කටහඬ රිය තුළින් ම ඇසිණ. මම රිය තුළ පැවති අඳුරට දෑස හුරුකර ගතිමි.

දෙකට තුනට නැමීගෙන සිටි විජේ හෙමිහිට නැගිට පිටතට කර පොවා බැලුවේ ය.

‘ඇයි උඹ හැංගුනේ? උඹ සෙල්ලං කරනව. මං නැහෙනව’ මම කේන්තියෙන් කීමි.

‘කෑගහන්ඩ එපා! ඕං ආයෙත් ළමයි එනව’ කියමින් යළිත් ඔහු සැඟවුණේ ය.

මොකක් හෝ රහසක් ඇතැයි සිතූ මම එවර ඔහුට නොදොඩා ම වෙළෙඳාම කරගෙන ගියෙමි.

‘විජේ ළමයි ගියා. නැගිටපං මොකක්ද ප්‍රශ්නෙ?’ මම විජේගේ පිටට එකක් ගැසුවෙමි.

‘උහ්’ කියාගෙන ඔහු නැගිට්ටේ ය.

‘ළමයි ආයෙ එන්ඩ පුළුවන්. ඒ අස්සෙ මාව දන්න ළමයිත් ඉන්ඩ පුළුවං. කවුරුහරි ළමේක් මාව අඳුර ගත්තොත් ක‍පෝතියි. ඒ හින්ද ළමයි එනකොට මං හැංගෙනව. උඹ හොඳ එකා වගේ ඒ වෙලාවට කේන්ති ගන්නෙ නැතුව වැඩේ කරපං!” ඔහු මා අත ගෑවේය. මට හිනා ගියේ .

එදා රෑ අහරින් පසු අපට පුංචි විවේකයක් ලැබිණ.

මෙතෙක් සඟවාගෙන සිටි රහස ඔහු මට හෙළි කළේ ය.

ඔහු කී පරිදි ඔහු ගුරුවරයෙකි. දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා හැටියට උපන්නෙකි. තාත්තා ගැන ඔහුට මතකයක් නොවිණි. ඔහු දැන සිටියේ අම්මාත්, බාල සහෝදරයාත් ගැන පමණි.

ඔවුන් සතුව තරමක ඉඩමක් තිබිණි. ජීවත් වූ ගෙය බොහෝ කුඩා විය.

ඔහුට රැකියාව ලැබී කෙටි කලකින් මල්ලිට ද රැකියාව ලැබිණ. ඔහු නිවෙස ටිකින් ටික ලොකු කරන්නට පටන් ගත්තේ ය. සහෝදරයාගේ අරමුණ වූයේ මහගෙදර අයියාට දී අලුතින් නිවෙසක් ඉදිකිරීමට ය. එහෙයින් ඔහු විවාහ වී බිරිඳ ද මෙහි කැන්දා ගෙනැවිත් බැංකු ණයක් ගෙන ගෙය ලොකු කොට තැනුවේ ය.

වැඩි කල් නොගොස් අම්මා මිය ගියා ය. මිය යන්නට පෙර ඇය ගෙයත් ඉඩමත් බාල පුතුට ලියා දී තිබිණ.

මව මිය යෑමෙන් පසු ද කලක් යනතුරු ඔවුහු එකට හොඳින් වාසය කළ හ. ඔය අතර බාල සහෝදරයා විවාහ වීමට සැලසුම් කළේ ය.

ඉරණම් මොහොත ළඟා විය.

‘අයියෙ, මට ගේ ඕනෑ’ මලයා කීවේ ය.

ඔහු දුක සඟවාගෙන සිනාසුණේ ය.

‘හොඳයි මල්ලි මට ටික දවසක් ඉඩ දෙන්ඩ! මං ගෙයක් හොයාගෙන යන්නම්’

ඉන්පසු ඔහු කුලී ගෙයක් හොයාගෙන දරු පවුල සමඟ එහි පදිංචියට ගියේ ය. ඒත් මහා නාගයකු මෙන් අර ණය කන්දරාව ඔහු පසු පස ඇදී ආවේ ය.

‘එදා ඉඳං අද වෙනකං මං අර ණය ගෙවනව බං. ණයට කැපිච්ච ම පඩියෙන් ඉතුරු වෙන්නෙ කීයද? ඒකෙන් කොහොමද ගෙවල් කුලී ගෙවාගෙන දරු පවුලක් රකින්නෙ? ඒ හින්ද මං හවසටයි රෑටයි ටියුෂන් කරනව. සති අන්තෙ ටියුෂන් නැති වෙලාවල්වල මොනව හරි පිට වැඩක් කරනව. මේ වැඩේට සෙට් වුණේ ඉස්කෝලෙ නිවාඩු කාලෙ හින්ද. මං හැංගුණේ මං උගන්නන ඉස්කෝලෙ දරුවොත් මේකට ඇවිල්ල ඉන්ඩ පුළුවන් හින්ද? හොඳ වෙලාවට කවුරුත් මාව අඳුර ගත්තෙ නෑ. අඳුර ගත්තත් කරන්ඩ දෙයක් නෑ. අහුවෙන කුලී වැඩක් වුණත් මං අරින්නෙ නෑ බං. හතර දෙනෙකුගෙ ජීවිතේ ඇදගෙන යන්ඩ එපායැ.’ ඔහු සිනාසුණේ ය.

මට සිනාසිය නොහැකි විය. ඒ මා ඔහුගේ කතාව අසා කම්පාවට පත්ව සිටි බැවිනි.

මා දෙස පුදුමයෙන් බලා සිටි ඔහු මගේ උරහිසට තට්ටු කළේ ය.

‘ඕව ඔච්චර බරපතළ විදියට ගණං ගන්ඩ එපා! එහෙම වුණා නං මං මෙලහකට අංගොඩ. උඹ දන්නව නේද ඉන්දියාවෙ හිටපු මහත්මා ගාන්ධි. එයත් නිතර විහිළුවෙන්ලුනේ හිටියෙ. දවසක් පුවත්පත් වාර්තාකාරයෙක් එයාගෙන් ඇහුවලු “ගාන්ධිතුමනි, මෙච්චර බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීල ඉන්දැද්දිත් ඔබතුමා ඇයි විහිළු කතා කියන්නෙ කියල. එතකොට එතුමා කිව්වලු විහිළුවෙන් තහළුවෙන් නොහිටියනං මෙලහකට මං මැරිච්ච තැන ලොකු ගසුත් හැදිල කියල.’

මම ඔහුගේ දෑත අල්ලා ගතිමි.

‘විජේ, ඔයා වාගෙ හොඳ කෙනෙකුට ඇයි මෙහෙම වුණේ?’ මම ඇසීමි. මගේ දෑස තෙත් වී ආයේ ය.

‘මොනව වුණත් මේ දුක මට මිහිරියි සරත්. මං අම්ම එක්කවත්, මල්ලි එක්කවත් තරහ නෑ. මට මගෙ දරු පවුල ලොකුයි. මොන දුක විඳල හරි වුණත් මං ඒගොල්ලන්ට සතුට දෙන්ඩ ඕනැ’

ඔහු යළිත් හිනැහුණේ ය. ඔහු ගේ හිනාව රැඳුණ ඒ මුහුණ බිතු සිතුවමක් සේ මා සිතේ රැඳී තිබේ.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »