රස අහර

2018-05-01 11:45:00       572
feature-top
“පුතේ, ‍ඔයා මේ ටික හොඳට තේරුම් ගන්ඩ. ඒ ආවෙ තාත්තාගෙ ගමේ නෑයො කට්ටියක්. ඒ අය හිටියෙත් බඩගින්නෙන්. ඉතින් තාත්තා වෙනුවෙන් ඒ අයට සලකන එක අපේ වගකීමක්. අපි ඒ අයට හරියට සැලකුවෙ නැත්නම් ඒක තාත්තට ලැජ්ජාවක්. ඔයාගෙ තාත්තට ලැජ්ජ වෙනව දකින්ඩ මට පුළුවන්ද? ටිකක් ඉවසල ඉන්ඩ! මං ආයෙත් උයන්නං.”

මල්ලී හඬමින් කුසගින්නේ ම රෑ නින්දට වැටුණේ ය.

අම්මා නිහඬව ඔහු අසල වැතිරී සිටියා ය.

අම්මාගේත්, මල්ලීගේත් මෝල්ට් කිරි වීදුරු දෙක ඇඳ අසල ටීපෝව මත වසා තිබිණ. මම මගේ බඳුනින් කිරි උගුරක් දෙකක් බීවෙමි. අම්මාත්, මල්ලීත් නිරාහාරව සිටිද්දී මා පමණක් කිරි බීම හරි නැතැයි සිතුණෙන් මම එය වසා තබා අම්මා අසල වැතිරුණෙමි.

ටිකකින් මල්ලීගේ ඉකිබිඳුම් හඬ නෑසී ගියේ ය. ඔහු නින්දට වැටුණා විය යුතු ය.

මල්ලීගේ රණ්ඩුව ද අසාධාරණ නැතැයි මට සිතිණි. උණ ගැනී සිටි ඔහු දින ගණනක් පසු වූයේ නිරාහාරව ය. උණ හොඳ වූ පසු ඔහුට බඩ පුරා කන්නට අම්මා රසවත් අහරක් පිස තැබුවා ය.‍

තාත්තාගේ ගමේ නෑයන් කිහිප දෙනකු බැහැරක යන ගමන් අපේ නිවෙසට ද ගොඩ වූයේ මේ අතර ය. තාත්තා රාජකාරියකට ඈතක ගොස් සිටියේ ය. දිගු ගමනක යෙදීමෙන් වෙහෙසට පත්ව සිටි නෑ පිරිසට සැලකීම අම්මාගේ යුතුකම විය.‍

අම්මා දෙවරක් කල්පනා නොකොට අර රස අහර නෑ පිරිසට පිරිනැමු‍වා ය. ඔවුහු ද අහරෙහි රස වණමින් එය බුක්ති වින්දහ.

නෑයන් පිටව ගිය පසු මල්ලී රණ්ඩුව පටන් ගත්තේ ය. දින ගණනාවකින් හරියකට අහරක් නැතිව සිටි තමා වෙනුවෙන් පිසින ලද අහර පිට අයට කන්නට දුන්නේ ඇයි දැයි හඬමින් ප්‍රශ්න කර සිටියේ ය‍.

අම්මා කරුණු පැහැදිලි කළා ය.

“පුතේ, ‍ඔයා මේ ටික හොඳට තේරුම් ගන්ඩ. ඒ ආවෙ තාත්තාගෙ ගමේ නෑයො කට්ටියක්. ඒ අය හිටියෙත් බඩගින්නෙන්. ඉතින් තාත්තා වෙනුවෙන් ඒ අයට සලකන එක අපේ වගකීමක්. අපි ඒ අයට හරියට සැලකුවෙ නැත්නම් ඒක තාත්තට ලැජ්ජාවක්. ඔයාගෙ තාත්තට ලැජ්ජ වෙනව දකින්ඩ මට පුළුවන්ද? ටිකක් ඉවසල ඉන්ඩ! මං ආයෙත් උයන්නං.”

“මට එපා!” මල්ලි ක්ෂණික තීරණයක් ගෙන ඇඳට වැටුණේ ඉන් පසු ය.

මල්ලීගේ ඇට්ටරකම ගැන දන්නා අම්මා නැවත අහර පිසීමට නොගියේ එසේ පිසුව ද ඔහු අහර නොබුදින බව හොඳින් දැන සිටි නිසා ය. ඔහු අහර ප්‍රතික්ෂේප කළ විට අපට ද අහර බුක්ති විඳිය නොහැකි ය. ඇය මෝල්ට් කිරි බඳුන් ටික හදා තබා නිහඬ වූයේ එනිසා ය.

මම හිස හරවා අම්මා දෙස බැලුවෙමි. ඇය දෑස පියාගෙන සිටිය ද මේසා වේලාසනින් නිදා නොගන්නා බව මම දැන සිටියෙමි.

“අම්මේ” මම ඇය ඇමතීමි.

“ම්?”

“මං ආච්චි ළඟට යන්ඩද?”

“හ්ම්”

මම නැගිට ගේ දිගේ ගොස් කුස්සිය පැත්තේ තිබූ ආච්චිගේ කාමරයට කිට්ටු කළෙමි. එහි අඩවන් දොරින් රිංගූ මම පා හඬ නොගැටෙන පරිදි ආච්චි ළඟට ගියෙමි.

ඇය ඇ‍ඳේ වැතිර සිටියා ය. ඇගේ මෝල්ට් කිරි බඳුන මේසය මත වසා තිබිණ.

මම මොහොතක් ඇය දෙස බලා සිටියෙමි. ඇය මේ කරදරයට වැටී තිබුණේ උකුල් ඇටය බිඳීමෙන් පසු ය.

“අනේ මගෙ මිනිබිරියේ. මං ළඟට වරෙන් මගෙ රත්තරං පුතේ” ඇය කීවාය.

මම ඇඳට නැඟ ඇයට තුරුලු වීමි.

“මල්ලි තාම අඬනවද පුතේ? ආච්චි ඇසුවාය.

“නෑ එයාට නින්ද ගිහිං” මම කීමි.

“එයාට තාම ඕව තේරෙන්නෙ නෑ. අම්ම කරපු වැඩේ හරි”

අප අතර නිහැඬියාවක් පැවතියේ ය.

“ආච්චි අම්මෙ, කතන්දරයක් කියන්ඩකො” මම කෙඳිරුවෙමි.

“කතන්දරයක් නෙමේ පුතේ, අද මං ඇත්තම ඇත්ත කතාවක් කියන්නංකො”

“අනේ හා”‍

ඇය කතාව කියන්නට පටන් ගත්තාය. මම ප්‍රශ්න කරමිනුත්, හූමිටි තබමිනුත් එය අසා සිටියෙමි.

ඈ කී කතාව මෙබඳු ය.

ඒ ඇයත්, ඇගේ සැමියා වූ අපේ සීයාත් විවාහ පත්ව සිටි අලුත ව‍ූ සිදුවීමකි.

එදින ද සීයා සුපුරුදු පරිදි උදෙන් ම සිය ගොවි පළේ වැඩට ගියේ ය. ආච්චි දවල් කෑමට ඔහු වඩාත් කැමති අහරක් පිස තැබුවා ය.

සීයා ගිනි මද්දහනේ ඔයෙන් ද නාගෙන ගෙදර ආවේ “යකෙක් කන්ඩ බඩගිනියි හාමිනේ” කියමිනි.

නෑ පිරිසක් ගෙට ගොඩ වූයේ ද මෙවිටම ය. ඔවුන් දුටු හැටියේ ආච්චිගේත්, සීයාගෙත් බඩගින්න පහව ගියේ ය. දෙදෙන ඔවුනට තමන් වෙනුවෙන් පිසින ලද අහර ආදරයෙන් පිළිගැන්වූහ. පිරිස ද එහි රස ගුණ වණමින් බුක්ති වින්දහ.

නෑ පිරිස පිටව ගියේ දෙපැයකට‍ පමණ පසු ය.

ඔවුන් ගිය හැටියේ ම ආච්චි අම්මා කුස්සියට වැදුණේ සීයාට වහ වහා අහරක් පිළියෙල කර දෙනු පිණිස ය.

“මොකද හාමිනේ කරන්නේ” යි අසාගෙන සීයා ද කුස්සියට ආවේ ය.

“මං මේ රාලහාමිට මොනව හරි ඉක්මනට උයල දෙන්ඩයි හදන්නෙ” ආච්චි කීවා ය.

“මොන පිස්සුද හාමිනේ, දැන් ඉතිං අපි රෑට ම කමු. දැන් ඔන්න ඔහෙ මොනව හරි බීල දාමු” සීයා හිනැහුණේ ය.

ආච්චි කෝපි වත්කරන්නට වූයේ ය. ඒ අතර සීයා කොස් ඇට පිච්චුවේ ය. පසුව දෙදෙනම කොස් ඇට අග්ගලා හදා කා කෝපි කෝප්ප දෙකක් බිවූහ.

“ඔන්න ඕක තමයි පුතේ කතාව” ආච්චි කීවා ය‍.

“කතන්දරයක් වාගෙම ලස්සනයි ආච්චියෙ” මම කීමි.‍

“ඉතිං පුතේ, මේ ජීවිතේ ද අපේ බලාපොරොත්තු ‍නොවෙන දේවල් සිද්ධ වෙන්ඩ පුළුවනි. ඒවට අඬල දොඩල රණ්ඩුවෙලා හරියන්නෙ නෑ. අපි ඒව සන්තෝසෙන් බාර ගන්ඩ ඕනෑ” ආච්චි කීවා ය.

පසු දා මා අවදි වූයේ තාත්තාගේ මෝටර් සයිකලයේ හඬිනි. මම ‘තාත්තේ’ කියාගෙන මිදුලට දුව ගියෙමි. තාත්තා හිනැහී මා වඩා ගත්තේ ය.

තාත්තාට තේ කෝප්පයක් පිළිගැන්වූ අම්මා ඔහු එය බිවු පසු මල්ලීගේ සිද්ධිය කනේ තැබුවා ය.

ඒ ඇසූ තාත්තා යළි මෝටර් සයිකලයට නැඟී නොපෙනී ගියේ ය. ඔහු ආපසු ආවේ ලොකු පාර්සලයක් ද රැගෙන ය.

තාත්තා එන විට අම්මා මල්ලී අවදි කරවා ම‍ූණකට සෝදා ඇඳුමක් ද අන්දවා ඔහු වඩාගෙන හිටියා ය‍.

තාත්තා පාර්සලය අම්මාට දී මල්ලී තම අතට මාරු කර ගත්තේ ය‍. අම්මා පාර්සලය මේසය මත තබා දිග හැරියා ය. එහි වූයේ නොයෙක් රස කැවිලි ජාතිය.

ඒ දුටු හැටියේ ම මල්ලිගේ මුහුණ පිපී ගියේය. වහ වහා තාත්තා අතින් මිදී රස කැවිලි කන්නට වූයේ අප හිනා ගන්වමිනි.

අම්මා තේ හදන්නට පටන් ගත් විට තාත්තා ගෙතුළ නොපෙනී ගියේ ය. ඔහු ආපසු අප ළඟට ආවේ ආච්චි අම්මා ද දෑතින් ඔසවා ගෙන ය.

අපි සියල්ලෝම සතුටින් රස කැවිලි බුක්ති විඳින්නට වීමු.

“සුදු මැණිකෙ, පුතාට ඊයෙ කන්ඩ බැරි වෙච්ච අර රස කෑම එක අද දවල්ට උයල දෙමු නේද?” තාත්තා අම්මාට කීවා ය.

“උයමු, උයමු” අම්මා ද කීවා ය.

මල්ලී සතුටින් පිනා ගියේ ය.

එදා ඒ පොඩි මල්ලී අද වැඩිහිටියෙකි. මේ කතාව මම විටින් විට ඔහුට සිහිපත් කරමි.

“ඔය කතාව මතක් කරන්ඩ එපා අක්කෙ මට ලැජ්ජ හිතෙනව”

එවිට ඔහු විළියෙන් ඇඹරෙයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »