මඤ්ඤොක්කා රසය

2018-04-23 01:00:00       363
feature-top
මට මඤ්ඤොක්කා කෑල්ලක් කෑමේ දොළක් ඇති විය.

ගමේ ජීවත්වන විට අල බතල ජාති නිතර කෑවෙමි. එහෙත් නගරබද ජීවිතයට ආ කල එය වෙනස්විය. එසේ වුව ද , පරණ ගැමියා සිතෙන් එළියට විත් එකල කෑ බී දේ සිහිපත් කර දෙයි.

තෙල් බේත් නොගැසූ හොඳ මඤ්ඤොක්කා අලයක් සොයා ගත යුතුය යන සිතුවිල්ලෙන් යතුරු පැදියට නැගුණු මම මහ පාරට පිවිස එහි වම් පස ඇති හන්දි ගාණේ ගියෙමි. හන්දි කිහිපයකට ගිය ද මඤ්ඤොක්කා නොවී ය.

මම ආපසු හැරුණෙමි. ආසාව යටපත් කර දමා හිස් අතින් ගෙදර යෑමට ම‍ගේ යටි සිතේ ගැමියා ඉඩ දුන්නේ නැත. එහෙයින් මම පාරේ අනිත් පස හන්දියට ගියෙමි. එහි ද මඤ්ඤොක්කා නොවී ය. එහෙයින් ඊළඟ හන්දියට ගියෙමි. වැඩක් නොවී ය. ප්‍රයත්නය අත් නොහළ මම ඊළඟ හන්දියට ද ගියෙමි.

මම ජය ගතිමි.

ඒ හන්දියේ සුවිසල් ගසක් යට තබා තිබු තට්ටුවක මඤ්ඤෙ‍ාක්කා මහ ගොඩක් වුයේ ය. ඒවා ඒ ඒ අලයේ තරාතිරම අනුව යට සිට උඩට ගාණට අඩුක් කර තිබිණ.

පරණ ගැමියකු සිහියට නගන මඤ්ඤොක්කා වෙළෙන්දා පැත්තක ඇන තියාගෙන සිටියේ ය.

මා නතර වනු දුටු ඔහු නැගිට ළඟට ආවේ ය.

‘මඤ්ඤොක්කා ටික නං හොඳ පාටයි’ මම කීවෙමි.

‘මේව නියම බඩු මහත්තය’ ඔහු ගො‍ඩෙන් රවුම් අලයක් ගෙන කරකවා පෙන්වා යළි එය තිබු තැනම තැබුවේ ය.

‘තෙල් බේත්හෙම ගහල නෑනේ ?’

‘මොන පිස්සුද මහත්තයා ? ඒ වගේ බලු වැඩ කරන යක්කු ඇති! මං මේ හේනෙන් මඤ්ඤොක්කා අරං වෙළදාමේ කරන්නෙ අදක ඊයෙක ඉඳල නො වේ. මහත්තයා කැමති නං යං වෙලාවක මං හේන පෙන්නන්නං. එතකොට හිතේ සැකේ ඇරගන්ඩ පුළුවන්නේ. පීටර් අප්පුහාමිල කියන්නෙ වැදගත් මිනිස්සු. ඒ මිනිස්සු ගොවිතැන අපිරිසුදු කර ගන්නෙ නෑ. මහත්තයාට කොච්චරක්ද ඕනෑ ?’

මම තරමක අල දෙකක් තෝරා ඔහුට දුනිමි. ඔහු ඒවා කටු දුවන තරාදිය මත තැබුවා පමණි!

එක වරම එහි කඩා වැදුණු මහත දෙහෙත තල තුනා ගැහැනියක් මඤ්ඤොක්කා ගොඩ අඩියේ තිබු බරපතළ ම අලය සරස් ගා එළියට ඇද කිසි කතාවක් නැතිව එය ඩැහැගෙන යන්නට වුවා ය.

ඒ බලහත්කාරයෙන් වෙළෙන්දා කිපුණේ ය.

‘මොකක්ද යකෝ ඒ කරපු බලු වැඩේ ? ඕක මෙහෙ දීපිය!’ වෙළෙන්දා පාරට පැන කෝපයෙන් කෑ ගැසුවේ ය. ගැහැනිය ගාණක් නැතුව පිටුපස නළව නළවා යන්නට වුවා ය.

අවට සිටියෝ සිනාසෙන්නට වූහ.

‘මොකක්ද ඒ කරපු වැඩේ? කවුද ඒ මනුස්සයා?’ මම ඇසිමි.

වෙළෙන්දා ඇසු දේට ප්‍රතිචාරයක් නොදැක්වීය. ඔහු ඒ වන විටත් සිටියේ දෑත ඉනට ගසාගෙන අර කාන්තාව දෙස රවාගෙන ය.

කාන්තාව මඤ්ඤෝක්කා අලය උඩ‍ට උස්සා ආපසු බලා වෙළෙන්දාට හිනාවක් පා හන්දියෙන් අතුරු පාරකට හැරී ගියා ය.

‘පරට්ට බැල්ලි !’ වෙළෙන්දා ආපසු හැරුණේ සකල ශරීරයේ ම තිබූ කෝපය ඒ වචන දෙකෙන් පිටකර හැරියාක් මෙනි.

ඉන් පසු කිසි කතාවක් නැතුව මගේ මඤ්ඤොක්කා අල දෙක කිරූ ඔහු ‘හරියට කිලෝ දෙකයි’ කියා ද කීවේ ය.

මා මුදල් පසුම්බිය අතට ගන්නා විට ඔහු අල දෙක සිලි සිලි උරයකට දමා මගේ යතුරු පැදියේ හැඬලයේ එල්ලා ද හමාරය.

‘කවුද ඒ උන්දෑ? චණ්ඩියෙක්ද? ඇයි එහෙම කෙරුවෙ?’ මම මුල් ප්‍රශ්නය යළිත් අසමින් මුදල ගෙවීමි.

‘ඔය අපේ ලොකු එකාගෙ නැන්දම්මනේ ඔහුගේ මුණට හොර හිනාවක් නැගිණ. ඉන් කියැවුණේ සිය පුතු වෙනුවෙන් පාඩුව දරා ගන්නා බව ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »