කඩ බක්කිය

2018-04-09 10:53:00       129
feature-top
එය කෙටි කලකට පෙර නම් නිහඬ ගම් පෙදෙසකි.

දැන් නාගරික වී තිබේ.

ඉස්සර තිබු තාර පාර දැන් ඉරි ගසන ලද පුළුල් කාපට් පාරකි.

කෙනෙකුට හදිසියකට පාර පැන ගැනීමට බැරි තරමට වාහන නිරන්තරව එහා - මෙහා දුවයි.

ඒවා බහුතරය සුපිරි ය. දුප්පත් රටක මේ සා ධනවතුන් සිටින්නේදැ යි සිතෙන තරම් ය. පාපැදිකාරයන් දැක ගත හැක්කේ අතරින් පතර ය. දරුවකුට දැක බලා ගැනීමට වත් කරත්තයක් නම් යනු නො පෙනෙයි.

මේ පාරේ මම කලක පටන් යමි.

පාර දෙපැත්තේ කලකට පෙර තිබු පරණ පන්නයේ ගේ දොර නැත. ගෙවල් දොරවල් බොහෝමයක් නවීන ය. මිනිස්සු තට්ටු පිට තට්ටු නංවති. වෙළෙඳ සංකිර්ණ හදති. අවන්හල් හෝටල් හදති. වාහන සේල් පොළවල් හදති.

මං සන්ධියට කිට්ටුව මේ පාරේ එක පැත්තක උස් ගොඩනැගිලි දෙකකට මැදි වු බිම් කඩක පුංචි ගෙයක් තිබේ. එය කලකට ඉහත තිබු පැරණි ගෙයම ය. වෙනසකට ඇත්තේ ගඩොල් බිත්ති කපරාරු කර තිබීම ය.

මෙහි වෙසෙන්නේ මවත්, පුතාත් පමණි.

මා මව කිසි දිනෙක දැක නැත. පුතු නම් පාර අයිනේ නැවතී යන එන වාහන දෙස බලා සිටිනු දැක ඇත්තෙමි.

කලටක පෙර ඔහු ඇඳ සිටියේ කොට සරමකි. උඩුකය නිරුවත් ව තිබිණි. දැන් ඔහු කොට කලිසමකට මාරු වී සිටියි. කමීසයක් ද අඳියි.

වයස නො පෙනුණත් දැන් ඔහු මෝරා ඇත. මුහුණේ නළ‍ෙල්ත් රැළි වැටී තිබේ. ඉස්සර මෙන් ම පාරේ දුවන වාහන දෙස බලා සිටින පුරුද්ද නම් එහෙම්ම ම ය.

වත‍ාවක් ඔහු සිය ඉ‍ඩමේ පාර අයිනේ පොල් අතු මඩුවක් තනා වෙළදාමක් පටන් ගත්තේ ය.

මම එතැන නැවතී බැලුවෙමි. බක්කිය උඩ කීර මිටි කිහිපයක් විය.

‘මල්ලි වෙළදාමක් පටන් ගත්ත වගේ’ මම කීමි.

‘ඔව් මහත්තයා , කීර හොඳයි. අරගන්ඩ!’

ඔහු හිනාවීගෙන මවෙත ආවේ ය.

‘මේව කොහෙන්ද ? කවුරුහරි විකුණන්ඩ දීපුවා ද ?’

‘නෑ මහත්තය මායි අම්මයි හිටෝපුව’

මම ඉඩම් කැල්ල දෙස බැලුවෙමි. එහි ගොටුකොළ මිස වෙනත් දෙයක් නොපෙනේ.

‘කොහෙද වැව්වේ ?’

‘රාලහාමිගෙ පොල් වත්තේ පාළු තැනක් එළි කරල අම්මයි මායි කීර වැව්වා’

මම කීර මිටි දෙකක් අතට ගෙන මුදල් ගෙවන්නට මිල ඇසුවෙමි.

‘සල්ලි ඕන නෑ’ ඔහු යළි අහිංසක ලෙස සිනාසුණේ ය.

‘ඔහොම කොහොමද ළමයෝ වෙළඳාම් කරන්නේ’ යි කියමින් මම නෝට්ටුවක් දිගු කළෙමි. ඔහු එය බාර නොගෙන මාරු සල්ලි කීයක් හෝ තියෙනවා නම් දෙන්නැයි කීවේ ය. මා ළඟ මාරු සල්ලි නොවී ය.

‘මහත්තය ඕව ගෙනියන්ඩ ! මාරු සල්ලි අතට ආපු වෙලාවක දීල යන්ඩ!’ ඔහු සන්සුන්ව කීවේ ය.

‘හොඳයි , මම නාවොත් ?’

‘නෑ නෑ මහත්තය එනවා. මහත්තයගෙ මේ කාරෙක මේ පාරෙ යනව මං දකිනවනෙ. ඇයි මහත්තය මං දිහැ බල බල යන්නෙ, එතකොට මං අත වනන්නෙ’

මට හිනා ගියේය. ඔහුට ද හිනා ගියේය. ඔහු මා විශ්වාස කිරීම මට ගෞරවයක් විය.

‘ඔයයි අම්මයි විතර ද ගෙදර ඉන්නෙ ? වෙන කවුරුවත් නැද්ද ?’

‘නෑ තාත්ත මං පුංචි කාලෙම නැතිවෙලා.

මට වෙන සහොදර සහොදරියොත් නෑ.

‘කෝ අම්ම?’

‘රාලහාමිගෙ ගෙදර වැඩට ගිහිං’

ඊට පසු දා මා ඔහුට මුදල් දුන්නේ බලහත්කාරයෙනි.

තවත් උදෑසනක දී ඔහුගේ කඩ බක්කියේ පොල් ගෙඩි කිහිපයක් තිබෙනු දුටු මට ඒ කිහිපයම මිල දී ගැනීමට සිතිණි. එහෙත් රාජකාරිය හදිසි බැවින් මම ගියෙමි. මා හවස එන විට එක පොල්ගෙඩියක් වත් නොවී ය.

‘කෝ ළමයෝ පොල් ?’

‘මේ දවස්වල පොල් හිඟයිනෙ. සේරම වික්ක’ ඔහු හිනාවුණේ ය.

‘හරි වැඩේ ගෙදර පොල් නෑ’ මට කියැවිණි.

ඔහොම ඉන්ඩකෝ මහත්තයොයි කියමින් ඔහු ගේ පැත්තට දිව්වෙමි. ඔහු සිනාසීගෙන ආපසු ආවේ ලෙලි පොල් ගෙඩි දෙකක් දෙකිහිලි ගන්වා ගෙන ය.

‘මහත්තයට පරක්කු වෙන්නෙ නැතිනම් මේවා ලෙලි ගහල දෙන්ඩ ද ?’

‘පුළුවන් නං ලොකු දෙයක්’

ඔහු ආපසු ගොස් ගෙඩි දෙක ලෙලි ගසාගෙන ආ‍වේ ය.

ගෙඩි දෙක රියට දමා ගත් මම ඔහුට නෝට්ටුවක් දිගු කළෙමි.

‘පිස්සුද ? පොල් ගෙඩි දෙකකට මහත්තයාගෙං සල්ලි ගන්නෙ කොහොමද ? ඔහු පස්සට පැන්නේ ය.

මම කේන්ති ගිය බව පෙන්වීමි.

‘ඕව අපි කන්ඩ තියාගත්තු පො‍ල්.

මහත්තය මගෙ යාළුවෙක්නෙ. ඕව අරගෙන යන්ඩ!’

‘ඔයාට කොහෙන්ද ඔච්චර පොල්?’

‘අම්ම රාලහාමිගෙ වත්තෙ වැටෙන ‍ෙපාල් ගෙඩි ටිකක් අහුලගෙන එනව. ඒව තමයි මං වික්කෙ’ ඔහු හොර වැඩක් ගැන කීය. එය වැහෙන්නට හිනා වුණේ ය.

ඉන් පසු මාස කිහිපයක් මම ඒ පාරේ නොගියෙමි. එනිසා මට ඔහු මුණ නො ගැසිණි.

ඊළඟ වතාවේ ඔහු මා දුටු හැටියේම ළඟට දුව ගෙන ආවේ ය.

‘මහත්තයගේ කාරෙක පසුගිය ටිකේම දැක්කේ නෑ. ඇයි මහත්තය අසනීප වෙලා හිටිය ද?’

‘නෑ ළමයෝ, මං ඒ ටිකේ වැඩ කෙරුවෙ කොළඹ’ යි කියමින් මම ඔහුගේ බක්කිය දෙස බැලුවෙමි.

එහි වුයේ දර මිටි කිහිපයකි.

ඊළඟට මං වෙනත් ප්‍රදේශයක රාජකාරියක් පැවරුණෙත් මාස කිහිපයක් යනතුරු ඔහු මුණ නො ගැසිනි.

දිනක් උදයේ මම ඔහු සොයා ගියෙමි. ඔහුගේ පුංචි කඩය කොළ කැඳ කඩයකට පරිවර්තනය වී තිබිණි.

‘කොළ කැඳ බොමු’යි සඳහන් කොළයක් ද එහි අලවා තිබිණි.

‘මහත්තය පසුගිය ටිකේම දැක්කෙ නැත්තෙ ආයෙත් වැඩ කොළඹ ද? කොළ කැඳ එකක් බොමුද?’ එසේ අසාගෙනම ඔහු හිඳ සිටි ප්ලාස්ටික් පුටුවෙන් නැගිට්ටේ ය.

‘ඔයා සල්ලි ගන්නව නං විතරයි මං බොන්නෙ’ මම කීමි.

‘එහෙම ‍කොහෙ‍ාමද ? මට මහත්තයට කොළ කැඳ වීදුරුවකට වඩා වටිනවනෙ’

ඔහු හකුරු කෑල්ලක් සමඟ කොළ කැඳ වීදුරුවක් දෑතින්ම මට පිරිනැමුවේ ය.

මා කැඳ උගුරක් තොල ගැ‍වේ දෙගිඩියාවෙනි.

මගේ රස නහර පිනා ගියේ ය.

මම පුදුම වී ඔහු දෙස බලා සිටියෙමි.

ඔහු සන්තෝසයෙන් හිනා වුණේ ය.

‘කවුද කැඳ හැදුවෙ?’

‘අම්ම!’

‘පුදුම රහක්නේ!’

‘අම්මට ඕනෑ දෙයක් රහට හදන්ඩ පුළුවං.

‘ඒකනෙ රාලහාමිලෑ ගෙදර උයන්ඩ දීල තියෙන්නේ’ ඔහු යළිත් හිනැහුණේ ය.

මම ඒ සතුටින්ම කොළ කැඳ වීදුරුව හිස් කළෙමි.

මම ඔහුගේ කඩ බක්කිය මත තිබු කොළ කැඳ මුට්ටිය හැර බැලුවෙමි. එය පිරී තිබිණි. ඒ වන විට උදය වරුවද ගෙවී ගොසිනි.

‘ළමයො ඇයි මේ ?’

‘කැඳ බොන්ඩ කවුරුවත් ආවේ නෑ මහත්තයෝ’

බලා සිටියදීම ඔහු ගේ මුහුණ ඇකිළී ගියේය. මට බලවත් ශෝකයක් ඇති විය. මම කිසිත් නො කියා රියට නැගුණෙමි.

ආපසු යනතුරුම මා කල්පනා කළේ ඔහුට අනාගතයක් පාද දෙන්නේ කෙසේද යන්න ය.

දැඩි වෙළෙඳ ආධිපත්‍යයකට නතු වූ පෙදෙසක දුප්පත් තරුණයකු නැගිටීමට දරන වෙහෙස කාටත් නොතේරෙන ගාණ ය.

ඔහු එක්තරා සමාජ ස්ථරයක සංකේතයක් නොවේද?

ඔහු වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි මම තාමත් සිතමි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »