හුරතල් මාළු

2018-04-02 11:57:00       609
feature-top
මාන කොකෙක් අපේ ගේ දොරකඩ ගහේ පාත අත්තට වී ‍ගේ දෙස බලාගෙන සිටියේ ය. කලකට පසු දුටු මේ අමුතු දසුනෙන් මිහිරට පත් මම ඌ දෙස බලා සිටියෙමි.

සාමාන්‍යයෙන් කොකුන් එන්නේ රෑන් පිටිනි. වෙල් යායක් හෝ ළඟ පාතක නැති ගෙයක් ඉදිරියේ මේ සා විශාල කොක්කු හුදෙකලාව සිටිනු දක්නට ලැබීමද අපූරු ය.

කොකා ඉගිළ යෑමට පෙර ඌ ගෙදර ඇත්තන්ට පෙන්විය යුතු යයි සිතූ මම වටපිට බැලුවෙමි. මා පුතු සෙසු දරුවන් හා සෙල්ලම් කරන හඬ යාබද වත්තෙන් ඇසිණ. බිරිය ද ඒ නිවෙසට ගොස් ඇතුවා විය යුතු ය.

වැටෙන් රිංගූ මම රහසෙ ම ඔවුන් කැඳවා ගෙන ආවෙමි. අප පසුපසින් අනිත් ළමයි ද ආහ.

අප ආපසු එන විට කොකා සිටියේ ගේ දොරකඩ බිම ය. අප දුටු හැටියේම ඌ ‘සොස්’ හඬින් ඉහළ ගියේ ය.

කොකා අපේ මාළු දෙන්නාව කෑවද දන්නේ නෑ! බිරිය විස්මය පළ කළා ය.

දොරකඩ තිබු මාළු ටැංකිය මට මතක් වුයේ එවිට ය. මම වහා දිව ගොස් බැලුවෙමි. එහි වූයේ ජලය පමණි. සුරතල් මසුන් දෙදෙනා දක්නට නො ලැබිණ.

‘කොකා මාළු දෙන්නව කාල!’ මට කියැවිණ.

සෙස්සෝ ද දුවැ’විත් ඊට එබී බැලුහ. ඒ මුහුණුවල පිළිබිඹු වුයේ ශෝකයකි.

‘ඇයි ඒ කොකා මගෙ ලස්සන මාළු දෙන්නව කෑවෙ ? ඇයි තාත්ත ඌව එළෙව්වෙ නැත්තෙ? කෝ දැන් මගෙ මාළු දෙන්න? මං උන්ට කොච්චර ආසාවෙන් ද හිටියේ! මට මගෙ මාළු දෙන්න ව ඕනෑ තාත්තෙ!’ දරුවා හඬන්නට පටන් ගත්තේ ය.

‘අනේ පුතේ මට හාංකවිසියක් මතක් වුණේ නෑ කොකා ඇවිත් ඉන්නෙ මාළුන් ව කන්ඩ කියලා. මං ඔයාල ව හොයන්ඩ හදිස්සි වුණේ ඌ යන්ඩ කලින් පෙන්නන්ඩ ඕනෑකමට’ මම නිදහසට කරුණු කීමි.

‘අායෙ ඉතිං මාළු හදනව නං ටැංකිය වහලකින් වහන්ඩ වෙයි’ බිරිය ගුරුහරු කමක් මතක් කළා ය.

අප දුක්වන අතර සෙසු දරුවෝ සෙල්ලමට ගියහ.

අපේ දරුවා කන්නේ බොන්නේ නැතුව මාළුන් දෙන්නා ඉල්ලා හඬන්නට වුයේ ය.

‘ඔයා ඔහොම අඬන්ඩ එපා දරුවෝ. තාත්තා ඔයාට මාළු ජෝඩුවක් ගෙනත් දෙයි. නාඩ ඉන්ඩ‍කො ඉතිං’ බිරිය දරුවා අපෝ කරන්නට උත්සාහ දැරුවා ය.

‘ඔව් පුතේ, අපි ආයෙත් මාළු ජෝඩුවක් ගේමු. ඔයා අඬන්නෙ නැතුව සෙල්ලං කරන්ඩ යන්ඩකො’ මම ද දරුවා සැනසීමට යත්න දැරුවෙමි.

හැඬිල්ල නැවැත් වු දරුවා මාළුන් මිලදී ගෙන ඒමට යෑමට සුදානම් වුයේ ය.

මම ඔහු රියේ නංවා ගෙන නගරයට ගියෙමි.

නගරයේ හුරතල් මසුන් අලෙවි කරන තැනක් දෙකක් විය. මුල් තැන හිමිකරු සිටියේ සිය අලෙවිසල වසමිනි.

‘හදිස්සියක් වුණා මහත්තයා, හෙට එන්ඩ කියමින් ඔහු දොරගුලු ලෑවේ ය.

‘අපි තව තැනකට යමු තාත්තේ’ දරුවා බල කළේ ය.

දෙවැනි තැන සිටියේ විශාල මසුන් පමණි.

මම දරුවා කැඳවාගෙන ඊ ළඟ නගරයට ගියෙමි.

වැඩි කරදරයකින් තොරව අපට තැනක් සොයාගත හැකි විය.

‘මෙතනින් තමයි එදා පන්ති ඇරිල යන ගමන් අම්ම මට අර මාළු ජෝඩුව අරන් දුන්නෙ. ඒ ජාතියෙ මාළු මෙතන තව ඇති තාත්තෙ. අපි කොහොම හරි ඒ ජාතියෙම උන් දෙන්නෙක් හොයා ගම්මු,’ දරුවා කීවේ ය.

පාරට තරමක් පහතින් පිහිටි මත්ස්‍යාගාරය වෙත ඔහු මා කැඳවා ගෙන ගියේ පුරුදු කාරයකු ලෙසිනි.

එහි ටැංකි ගණනාවක එක එක ජාතියේ විසිතුරු මාළු සිටියහ. මිලදී ගැනීමට වැඩි පුර පැමිණ සිටියේ මගේ දරුවා බඳුම දරුවන්ය. මාළු ටැංකි අතරින් දුව පැන යමින් පාරිභෝගික අවශ්‍යකා ඉටු කරමින් සිටියේ ඩෙනිම් කලිසමක් හැඳි යෞවනියකි.

උනුන් පරයා මසුන් මිලදී ගන්නා පාරිභෝගිකයන් අතර ඉවසිලිවත්තයකුට සිටියේ මා පමණි.

දරුවා විසිතුරු මසුන් දෙස බලා සිටියේ දෑස් දල්වාගෙන ආසාවෙනි. මසුන්ට වඩා මගේ අවධානය යොමු වුයේ අර කඩිසර යෞවනිය කෙරෙහි ය. ඇය තරම් ළාබාල , ක්‍රියාශීලී, ප්‍රියමනාප යෞවනියක කිසිම වෙළෙඳ ආයතනයකදී මම දැක නැත.

අපට පසු ආ අයට ද අපට පෙර මසුන් විකීණීමට සිදු වීම ගැන යෞවනිය තුළ කිසියම් අපහසුතාවක්, ලජ්ජාවක් ඇති වී තිබෙන බව මට පෙන්නා ඇය ඒ වරද තමා ද දන්නා බව පළ කළේ විටින් විට පෑ අහිංසක හිනාවෙනි.

අවසානයේ ඇය අප ඉදිරියට ආවා ය.

‘සමාවෙන්ඩ සර්. මේ මල්ලිට මාළු දැක්කම ඉවසිල්ලක් නෑ. සර්ලට මොන වර්ගය ද ඕනෑ’ ඇය තෙමුණු දෑත ලේන්සුවකින් තෙත මාන්තු කරමින් විමසුවේ ආචාරශීලීව ය.

‘අනේ දුවේ බලන්ඩ‍කො ‍‍කොකෙක් ඇවිත් අපේ පුතාගෙ මාළු දෙන්නව අරගෙන ගිහින්නේ! ඉතින් ඒ ජාතියෙම මාළු දෙන්නෙක් හොයා ගෙනයි මේ අපි ආවෙ’. මම කි‍මි.

‘අනේ පව්! මෙහෙන්ද ගෙනිච්චේ?’ ඇය ඇසුවා ය.

‘ඔව් අම්මත් එක්ක ඇවිල්ල මෙහෙන් තමයි ‍ගත්තෙ’ පුතු කීවේ ය.

‘මට ඔයා මාළු ගත්තු ටැංකිය පෙන්නන්ඩ මල්ලියෙ’ ඇය මපුතු දෙස බැලුවා ය.

‘අර තියෙන්නෙ අක්කෙ. අර පුංචි රතු මාළු’ පුතු ටැංකියකට අත දිගු කර පෙන්නුවේ ය.

‘ඉන්ඩ මල්ලියෙ මං ඒකෙන් ඔයාට මාළු ජෝඩුවක් අරන් දෙන්නං’ කී යෞවනිය මාළු ටැංකි අතරින් නොපෙනී ගොස් යළි හිනාවක් පාගෙන මතු වුයේ ජලය පිර වූ පොලිතින් මල්ලක් ද අතැතිව ය.

මසුන් ඇල්ලීමට ඇයට මන්දක් ඇවැසි නොවී ය. ඇය සිය දිගු අතක් මාළු ටැංකිය තුළට දමා එක රැළේ දුවන රතු මසකු අල්ලා පිටතට ගෙන පොලිතින් මල්ල තුළට දැමුවේ සුහුරු ලෙසිනි. ඇය ඊළඟ මාළුවා ද එලෙසම අල්ලා මල්ලට දැමුවා ය.

මේ ගොල්ලන්ට පැය දෙකක් යනකං මේක ඇතුළේ ඉන්ඩ පුළුවනි. සර්ල ගෙදර යන්ඩ ඊට වැඩි වෙලාවක් යනව නං මේකෙ ඔක්සිජන් වැඩි කරල දෙන්ඩත් පුළුවනි.

‘අපි පැය බාගෙන් ගෙදර යනවා’

‘එහෙනං ආ! මේක මල්ලිට මගෙන් තෑග්ගක්!’ඇයි කලින් මාළු දෙන්නව කොකා ගෙනිච්චනෙ. මේ දෙන්නව නං කොකාට දෙන්ඩ එපා! හරිද? ඇය මාළු ජෝඩුව රැඳි පොලිතින් මල්ල පුතු අතට දුන්නේ පරිස්සමිනි.

‘එතකොට දුවේ ඔයා මේ මාළුන්ට සල්ලි ගන්නෙ නැද්ද ?’ මම ඇසිමි.

‘නෑ සර්. මෙයත් හරියට මගෙ මල්ලි වගේමනේ’ ඇය මා පුතුගේ හිස අත ගෑවා ය. පුතු ‍ලෝකයත් ජය ගත්තාක් මෙන් මදෙස බලා සිනාසුණේ ය.

‘ඒ ගැන සතුටුයි දුවේ. ඒ වුණාට ඔයාට අපි හින්ද පාඩුවක් කරන්ඩ මට බෑ අපට තව මාළු ජෝඩු දෙකක් දෙන්ඩකො. හැබැයි ඒවට සල්ලි ගන්ඩ ඕනෑ. හරිද?’ මම කට හඬ බර කළෙමි.

‘හොඳයි‍ දෙන්නං’ ඇය සිනාසුණා ය. ‘දැන් රතු ජෝඩුවක් ඉන්නව නං අපි කහ ජෝඩුවකුයි, කොළ ජෝඩුවකුයි දාමුද?’

‘හොඳයි හොඳයි එහෙම හොඳයි එතකොට පාට පාට ගොඩයිනේ’ පුතු ආසාවෙන් කෑගෑවේ ය. ඊළඟ ට ඇය තරමක් ලොකු පොලිතින් ජල කවරයක් ගෙනවිත් යාබද ටැංකි දෙකකින් කහ සහ කොළ මසුන් ජෝඩුව බැගින් අල්ලා එහි දමා එය රබර් රවුමකින් හිර කර පුතුට දුන්නා ය. පුතු මසුන් උර දෙකම දෝතට ගත්තේ ය.

මම ඇයට නෝට්ටුවක් දුන්නෙමි.

‘ඉන්ඩ සර් මං බැලන්ස් එක ගෙනත් දෙන්නං’ ඇය ඇතුළට යන්නට හැරුණා ය.

‘එපා!’ මම තදින් කීමි. ඇය නැවතී මදෙස හැරුණා ය.

‘බැලන්ස් එක අපෙන් ඔයාට තෑග්ගක්’

‘ඇයි සර් ඒ ?’

‘ඔයාගෙ මනුස්සකමට දුවේ’

ඇය ගොළු වී බිම බලා ගත්තා ය.

‘අපි ගිහින් එන්නම් දුවේ’

‘හොඳයි සර්’

ඇය ද අප සමඟ ‍රිය ළඟට ආවා ය.

‘අපි ආයෙ දවසක එන්නං දුවේ’

හොඳයි සර්, ඒ එනකොට සමහර විට මම නොහිටින්ඩත් පුළුවනි. මේ දවස්වල කැම්පස් නිවාඩු හින්ද මං තාත්තට උදව් කරගෙන ඉන්නව’ ඇය යළිත් සිනාසුණා ය.


(under the courtesy of roar.media web)

More News »