එදා මෙදා කන්තෝරුව

2018-03-30 10:01:00       85
feature-top
උදෑසනය.

ටවුමේ කන්තෝරු ගෙදරය.

විල්සන් කන්තෝරු දොරකඩ පඩිපෙළ මත ලේන්සුව එළා හිඳ ගත්තේය.

මේ සඳුදා නැවුම් කලිසම පිටින් වුව මෙහි හිඳ ගත්තට මේ බිම විල්සන්ට අපිරිසිදු නැත. ඔහුට මෙය ගෙදරට වඩා හුරු පුරුදුය.

විල්සන් ගේ දෑස යොමු වී තිබුණේ මහ පාර දෙසටය. උදේ බස් එක එන්නට තවම වෙලා වැඩිය. තැපැල් කන්තෝරු නෝනා එන්නේ එහිය. මේ සිරිත ඇරඹුණේ නෝනා සිය සැමියා ගේ නිවෙසේ පදිංචියට ගිය දා සිටය.

විල්සන් අත් ඔරලෝසුව දෙස බැලුවේ පුරුද්දටය. එහි හතයි කාල සටහන්ව තිබේ.

විල්සන් යළිත් පාර දෙසට දැස දැල්වුයේය. ඒ ටිකකින් ඔහුගේ හිත කල්පනාවකට වැටුණේය. ඒ මිහිරි කල්පනාවකි. ඔහුගේ දෙතොල හෙමිහිට පළල් වුයේ එහෙයිනි.

ඔහුට තැපැල් කන්තෝරුවේ අතීත උදෑසනක් සිහිපත් විය. අතීතයේ එක උදෑසනක් පමණක් ‍නොව හැම උදෑසනම එක වගේ මිහිරිය. ඒ අතීතයේ මේ තැපැල් කන්තෝරුව එක ම සෞන්දර්ය නිකේතනයක් විය.

මහ නෝනාගේ කාරුණික සිනාව ඔහු ඉදිරියේ මැවි ගියේය. මේ ගොඩනැගිල්ලෙහි හිමිකාරිය ඇය ය. තැපැල් කන්තෝරුව කරගෙන ගියේ ඇගේ නැගණිය කුසුම් නෝනා ය. මහ නෝනාගේ දියණිවරුන් පස් දෙනාම ඔහුට සැලකුවේ පවුලේ කෙනෙකු හැටියටය.

විටෙක ලොකු බේබි පැමිණ ඔහු ගෙතුළට ඇදගෙන යන්නට හදයි.

‘එන්නකො යන්න’

එක්කෝ සුදු බේබි පැමිණ බලෙන්ම ඇදගෙන යන්නට හදයි.

‘එන්නකො යන්න. බිස්කට් දෙන්න’.

ඇය හිටි හැටියේම ඔහුගේ මුවෙහි බිස්කට් ඔබයි.

විල්සන්ට බකස් ගා හිනා ගියේය.

ඔහුට හන්දියේ සපු ගහ පෙනෙයි. අතීතයේ මේ සපු ගස සියොළඟ මල් පුරවාගෙන මුළු ටවුමම සුවඳ කළා ඔහු‍ට මතකය.

ඒ මිහිරි අතීතය ගියා ගියාමය. විල්සන්ට සුසුමක් පිට විය.

පා පැදියක් දෙකක් පැමිණ විල්සන් ළඟ නැවැත්වීය. ඒ එන්නේ ඔහු සමඟ වැඩ කරන සගයන්ය.

‘විල්සන් අයියේ නෝන ඇවිල්ලැයි ?’

‘නෑ බං’ විල්සන් නැවතත් අත් ඔරලෝසුව දෙස බැල්මක් හෙළා උත්තර දුන‍්නේය.

‘කොහෙ එන්නද? තාම හතාමාරනේ’

සගයෝ එහා - මෙහා වුහ.

විල්සන් පිළිමයක් සේ ගල් විය.

වත්මත වියළිය. කතරක් වගේය. අතීතය කෙම්බිමකි. ඔහු ගේ හිත ඒ කෙම්බිමේ සිහිල සොය සොයා එහිම ඇදෙයි.

මතකය දිගේ තැපැල් නෝනා බසයෙන් බැස කන්තෝරුවට ගොඩ වුයේ හිනාකටක් පාගෙනය.

‘ගුඩ් මෝනිං’

කන්තෝරුව පිරී ගියේය.

උදැසන කෙටි සාකච්ඡාව ඇරඹින. මුලසුන හෙබවුයේ මහ නෝනාය. තැපැල් නෝනාගේ අක්කාය.

ප්‍රධාන මාතෘකාව වුයේ පෙරදා සිදු වීම්ය.

‘දන්නවැයි ? ඊයේ රෑ අර අකුණු වැදිල තියෙන්නෙ ස්වර්ණ මිස්ලයි මිදුලෙ කොස්ගහට!’

‘අනේ හැබෑට!’

අටේ කණිසම ළඟ එන විට සාකච්ඡාව නවතියි. කවුරු කවුරුත් තම තමන්ගේ කටයුතුවලට බසිති.

විල්සන් නැවතත් සිය අත් ඔරලෝසුව දෙස බැලුවේ ය. අට හමාරේ මේල් බස් එක දැන් නම් පුංචි පාලම පහු කර ඇති බව ඔහුට අත්දැකීමෙන් කිව හැකිය.

මම ලියුම් පෙට්ටියට දමා නැවතත් හැරී විල්සන් දෙස බැලුවෙමි. ඔහු පාර දෙසටම දෑස දල්වාගෙන සිටියි.

හැම තැපැල් කන්තෝරුවක්ම මේ වගේ විය යුතු යැයි මට සිතෙයි. ඊට උරුමව පැවති අතීත ප්‍රාණය සිඳී ගිය සේය. විල්සන් එහි සංකේතයක් බඳුය.

මම යාබද නිවෙස දෙස බැලුවෙමි. වියපත් ලොකු නෝනා මට සිනාවක් පා ගෙතුළට ගියාය.

හැම කෙනෙක්ම හැම දෙයක්ම වෙනස් වෙයි. ඒ ඒ යුගයට අයත් අද්දැකීම් සමඟ අපි තනි වෙමු. කාලය අප කිසිවකු ගණන් නොගෙන ඉදිරියටම යයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »