හයේ වාට්ටුව

2018-03-19 11:33:00       635
feature-top
මා සොයුරිය රෝහල්ගත කැරී ඇතැයි යන ආරංචිය ලද දිනම මම ඇය බැලීමට එහි ගියෙමි. ඒ වන විටත් ඇය දින කිහිපයක් ම එහි ගත කර තිබුණා පමණක් නොව සැත්කමකට‍ ද බඳුන්ව සිටියා ය.

වාට්ටුව සොයා ගෙන ගොස්, එහි ඇතුළු වී ඒ සිසාරා නෙත් දිවැවු විගසම ඇය සිය ඇඳ ළඟ පුටුවක හිඳ ඥාතීන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කරමින් සිටිනු මම දුටුවෙමි.

මා නෙත ගැටුණු හැටියේම ඇය සුපුරුදු සිනාව පා ළඟට එන්නැයි මට අතින් සන් කළාය.

‘දැන් කොහොමද?’ ඇගේ අත අල්ලා ගතිමි. ඥාතීහු මට ඉඩදී පසෙකට වුහ.

‘හොඳයි’ඇය සැනසිලිදායි සිනාවක් පෑවාය.

ඒ වචනය මට සැහැල්ලුවක් විය. මම ඥාතීනට ඉඩදී පසෙකට විමි.

ටිකකින් ඥතීහුද සමුගෙන ගියහ. ඇය ද දිවා ආහාර ගනු පිණිස වාට්ටුවේ නියමිත මේසයට ගියා ය.

මම රැදී සිටියෙමි.

ඇයට තිබී ඇත්තේ ගර්භාෂයේ ආබාධයකි. වාට්ටුවේ වැඩි දෙනා ඒ තත්ත්වයේ පසු වුවත් බවද දැන ගන්නට ලැබිණ.

ඇය ආපසු පැමිණි විට මම සැත්කම පිළිබඳව වැඩි දුර තොරතුරු විමසිමි.

‘මට එච්චර අමාරු වුණේ නෑ. මොකද මට සැත්කම කෙරුවේ හිරිවට්ටලනේ. සිහිනැති කරල ඔපරේෂන් එක කරපු සමහර අයට නං අමාරුයි වගේ ‘කියමින්’ ඇය යාබද ඇඳෙහි වැතිරී සිටි කාන්තාවක පෙන්නුවාය.

මා රෝහල් වාට්ටුවෙහි ගත කළ පැයකට ආසන්න කාලය පුරාම මා සොයුරිය සිටි ඇඳ අසල තිබු ප්ලාස්ටික් පුටුවෙහි හිඳ සිටියා මිස ඇ‍ඳෙහි ඇල වුණේ හෝ අඩු තරමින් එහි හිඳ ගත්තේ හෝ නැත. ඒ ඇයි දැයි මම විමසිමි.

‘ඇ‍ඳේ ඉන්ඩ බෑ.’

‘ඇයි ?’

‘මකුණො!’

‘මකුණො ?’

‘ඔව්’ ඉඳ ගත්තු හැටියේම විදිනව. ඒ තියා මේ මදුරු දැල්වලත් මකුණො. අමාරු ලෙඩ්ඩු විතරයි ඇඳන්වල ඉන්නෙ. අනිත් හැමෝම මං වගේ පු‍ටුවල තමයි ඉන්නෙ. හොඳට බලන්ඩකෝ

මම ව‍ාට්ටුව පුරා නෙතු දිවැවිමි. සැබෑවකි. බොහෝ රෝගී කතුන් හිඳ සිටින්නේ පුටුවලය. ඇඳන් මත වැතිරී සිටින්නේ ටික දෙනෙකි.

‘ඉතින් ඇයි මකුණො වඳ කරන්නෙ නැත්තෙ?’

‘ඒකට වාට්ටුව දවස් දෙක තුනකට වහන්ඩ වෙනවලු. ලෙඩ්ඩු මාරු කරන්ඩ වෙන ව‍ාට්ටුවක් සූදානම් කර ගන්ඩත් ඕනෑලුනේ. ඒකට මේ ගොල්ලො වැඩ කරලයි තියෙන්නෙ. ඉහළින් තාම ක්‍රියා මාර්ගයක් අරගෙන නැති එක තමයි ප්‍රශ්නෙ’

‘එත‍ෙකාට රෑට නිදාගන්නේ කොහොමද?’

‘නිදිමත එන කොට ඇ‍ඳේ ඇල වෙනවා’

මකුණො විදින කොට උඩ ගිහිං බිම වැටෙනවා. එතකොට ආයෙමත් පුටුවට බහිනවා. කොහොම වුණත් අද හෙට මගේ ටිකට් කැපෙනවනෙ. ඔය ටික ඉවසාගෙන ඉන්නවා. මාව සනීප කරපු දොස්තර මහත්තුරුන්ගෙ, නර්ස් නෝනලගෙ හිත රිද්දන්ඩ හොඳ නෑනෙ. අනිත් එක මේක ඒ ගොල්ලන‍්ගේ වැරැද්දකුත්‍ නෙමේනෙ. ඒ ගොල්ලො හදන්නේ පුළුවන් තරම් ලෙඩ්ඩු සුවපත් කරන්ඩනෙ. මකුණො වඳ කරන එක පරිපාලනේ වැඩක්නෙ.

මේ ප්‍රශ්නය මට වධ දෙන්නට විය. මම වෙනත් ලෙඩ්ඩුන් කිහිප දෙනෙකු සමඟ මෙන්ම ඔවුන් බැලීමට පැමිණි අය සමඟ ද මේ ගැන කතා කළෙමි.

ඔවුන් කී හැටියට මීට කලින් මේ වාට්ටුවේ මකුණන් ඉඳ නැත. උන් බෝවී ඇත්තේ ලෙඩුන් බැලීමට එන අයගෙන. ඒ අය බහුතරය එන්නේ දුම්රියෙනි. දුම්රිය ස්ථානයේ ලී බංකු කලක පටන් මකුණු රජ දහනකි. වාට්ටුවේ ඇඳන්, මේස , මදුරු දැල් ආදියෙහි මෙන්ම දුම්රිය ස්ථානයේ ලී බංකුවල සිටින මකුණන් එක වර වඳ නොකළොත් ‍වාට්ටුවේ මකුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබෙන බව ද වැඩි දෙනාගේ අදහසයි.

රාගම මහ රෝහලේ පැරණි හයේ වාට්ටුවේ මෙන්ම රාගම දුම්රිය පොළේ මගීන් වාඩිවෙන ලී බංකුවල මකුණන් එකවර වඳ කිරීමට සහයෝගීව කඩිනමින් කටයුතු කරන්නැයි අදාළ බලධාරීන්ට කියමු.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »