පිරිමිකම

2018-03-13 11:54:00       617
feature-top
සුපුරුදු ලෙස උදෑසන අවදි වුව ද ගතට දැනුණේ පණ නැති බවකි. ඒනිසා හිත ද ලෙඩ විය. ලෙඩට යට වීමට නොහැකි වුයේ එපා මා වැඩට යා යුතුම දිනයක් වු බැවිනි.

දෙපැයකට පමණ පසු මම පාරට ආවෙමි. එවිටම බසයක් ඉදිරියට එමින් තිබිණි. මට බස් නැවතුමට යා ගන්නට වේලාවන් ද‍ නොවීය. මම දෙගිඩියාවෙන් අත දැම්මේමි. බසය නැවැත්වීය. මම එහි නැග ගත්තෙමි .

‍‍ෙකාන්දොස්තර පා පුවරුවේ ඉහළ පඩියේ නැවතී පිටුපසට හේත්තු වී සිටියේය. ඔහු තරුණයකු වුවද තිබුණේ කොලු පෙනුමකි.

හැකි හැම විටම බස් ගාස්තුව ගෙවීමට මාරු සල්ලි අතේ තබා ගැනීම මගේ සිරිතකි. මම කොන්දොස්තර සල්ලි ඉල්ලීමටත් පෙර මාරු සල්ලි ටික ඔහුට දුනිමි. ඔහුගේ මුහුණ එළිය විය.

දැන් කලාතුරකින් එහෙමත් කෙනෙක් තමයි බස් ගාස්තුව මාරු සල්ලිවලින් හරියටම දෙන්නෙ. මහත්තයට බොහොම ස්තුතියි. කොන්දොස්තර තරුණයා හිනැහී කිවේය.

බසයට නැග්ග හැටියේම කොන්දොස්තරගේ ප්‍රශංසාවට ලක්වීමෙන් මම සතුටක් ලැබිමි.

මම මාරු සල්ලි ටික හරියට ගෙවා ඔහුට ඉස්පාසුවක් ලබා දුනිමි. ඔහු සිය සුහඳ කතාවෙන් සිය සතුට ............................ඉන් අප දෙදෙනාටම සතුටක්, සැහැල්ලුවක් ලැබී තිබේ.

ඔහු මදෙස බලා යළිත් සිනාසුණේය. මම ද සිනාසුණෙමි.

‘මහත්තයා‍ අලුතෙන්ද මේ පැත්තට ආවේ ? මම මීට කලින් දැකල හුරු නෑ’

‘මං උදෙන්ම වැඩට යනවනෙ මල්ලි . ඒකයි ඔයාට නුහුරු. අද පොඩි අසනීප ගතියක් දැනුණු හින්ද පරක්කු වු‍ණා. නැත්තන් මං මෙලහකටත් ගිහිල්ලා’

‘ඒක තමයි’ කියමින් ඔහු සිය පිටි අල්ල මගේ නළලට තබා බැලු‍වේය.

උණක් නං නෑ මහත්තය. කොහොම වුණත් ඕක ඇරිල යයි.

මීට පෙර දැක නොතිබු අප දෙදෙනා මේ සා කිට්ටු ඇසුරකට වැටීම මට මහත් පුදුමයක් විය.

ඊළඟ නැවතුමේ දී කාන්තාවක් නැගුණාය. ඇය නගිද්දීම බසය ඇද්දුමෙන් ඇය තරමක් පස්සට ඇඳී ගියාය.

‘හා හා පරිස්සමිං’ කොන්දොස්තර වහා පඩියක් බැස ඇගේ ආරක්ෂාවට ඇයට පිටුපසින් අත දැන්මේය. එහෙත් ඇය ස්පර්ශ නොකිරීමට පරිස්සම් විය.

ඊළඟ නැවතුමේ දී නැගුණේ ද කාන්තාවන්මය ඒ අතර වියපත් අයද, මැදි වියේ අයද, තරුණ අය ද වුහ. ඒ හැම අයකුම බසයට නගිද්දී කොන්දොස්තරගේ වමත ඉබේම මෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන් පිටුපසට දිව ගියේය.

ඊළඟ මන් සංදියේදී බසයට නැගීමට වැඩි සෙනඟක් සි‍ටියෙන් මම බසයේ ඉදිරියටම ගියෙමි. නැවතුණු තැනක හිස් ඉඩක් විය. මම එහි හිඳ ගතිමි.

‘කොන්දොස්තරගෙ වැඩ බසයේ තරමට නොමෙයි. මං බස් එකට නගිද්දි මිනිහ මගෙ පිට අල්ලන්ඩ හැදුව. මං ඊට කලින් ‘ටක්’ ගාල නැග ගත්තා’

‘ඔයාටත් එහෙම වුණාද ? ඒක මටත් වුණා! උන්දැ දවසක ගෑනියකුගෙන්ම පාඩමක් ඉගෙන ගනියි’.

මම හැරී බැලුවෙමි. තරමක් උස් හඬින් කතා කරමින් සිටියේ තරුණ කාන්තාවන් දෙදෙනෙකි.

මේ කාන්තාවන් බසයට නගිද්දී මම ‍ෙකාන්දොස්තර සිටි තැන සිටියෙමි. කොන්දොස්තරගේ අත ඔවුන්ගේ පිට පැත්තට දිව ගිය හැටිද මම දිටිමි. එහෙත් ඒ දේ සිදු වුයේ ඉබේම බව මට දැනිනි. ස්ත්‍රීන් එය තේරුම් ගෙන ඇත්තේ වෙනත් ආකාරයකිනි.

මේ කතාවෙන් මම සසලව ගියෙමි. එනිසාම මම ඒ ගැන හිතන්නට විමි.

මට හිටි හැටියේ අතීත දසුනක් මැවී පෙනිනි.

එකල මම කුඩා දරුවෙක් විමි. තාත්තා මා කැඳවාගෙන බසයකට නැගුණේය. මා බසයේ ජනේලය පැත්තේ ඉන්ද වූ තාත්තා මගේ ආරක්ෂාවට අසුනේ අනිත් කොනෙහි හිඳ ගත්තේය. දැන් මා නොවැටෙයි. එක පැත්තක ඇත්තේ ජනේලයයි. අනිත් පැත‍්තේ තාත්තා හිඳ සිටියි.

ඒ අතීත දසුන මකාගෙන තවත් අතීත දසුනක් මතු වී ආයේය.

පෙම් කරන සමයේ මම පෙම්පතිය සමඟ බසයට ගොඩවිමි. හිස් අසුනක් තිබිණ. මම ජනේලය පැත්තෙන් ඇය හිඳුවා අ‍ැගේ ආරක්ෂාවට අසුනේ අනිත් කෙළවරෙහි හිඳ ගතිමි.

ඊළඟ අතීත අසුනත් ඒ දසුන යට වී ගියේය.

දැන් මගේ බිරිය වෙනත් කෙනෙකු හිඳ සිටින අසුනක ඉතිරි වූ ඉඩෙහි හිඳ සිටියි. මම ඇය මැදි කොට හිටගෙන ඇගේ දෙපස අසුන් දෙකෙහි දෙකොන අල්ල ගෙන සිටිමි.

මේ අතීත දසුන් සියල්ල එකිනෙක මැඩගෙන පෙරට ආවේ ඇයි දැයි මම නොදනිමි. එහෙත් ඒ සියල්ල අවිඥානිකව මගේ මනසට ආයේ යථෝක්ත ප්‍රශ්නයට පිළිතුරක් සොයා දෙන්නට විය යුතුය.

ඒ අනුව මම මේ නිගමනයට එමි.

පිරිමියා ස්වභායෙන්ම ගැහැනිය දුර්වල තැනැත්තියක සේ සලකයි. ඇයට ආරක්ෂාව සැලසීම තමන්ගේ යුතුකම බව ද සලකයි. කාන්තාවන් බසයට නගිද්දී කොන්දොස්තරගේ අත ඉබේම ඔවුන්ගේ පිට පැත්ත‍ට දිව යන්නේ එහෙයිනි. එය ඔහු හිතාමතා කරන්නක් නොවේ. නමුත් ගැහැනිය එය තේරුම් ගන්නේ වෙනත් ආකාරයකිනි. එසේ වන්නේ ඇයි දැයි මට තේරුම් ගත නොහැකි වන්නේ මා පිරිමියකු බැවිනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »