බොම්බයි මොටයි

2018-02-26 12:05:00       255
feature-top
රජයේ සේවකයන් ව සිටි මටත්, බිරියටත් අපගේ එක ම පුතා සමඟ පවා කෙළිදෙළෙන් ගත කිරීමට කාලයක් නො වී ය‍.

කෙමෙන් අපි වියපත් ව විශ්‍රාම ගතිමු.‍ පුතු ද ලොකු මහත් වී විවාහ ව‍ූයේ ය.

දැන් අප පුතුට කුඩා දරු පැටව් දෙදෙනෙක් වෙති. ඔවුන් දැන් අපේ ආදරණීය මුනුබුරු මිනිබිරියෝ ය.

උදේ වරුවේ පෙර පාසලේ ගත කර ආපසු එන පුංචි මුනුබුරා සහ පුංචි මිනිබිරිය සමඟ දවසේ ඉතිරි කාලය කෙළිදෙළෙන් ගත කිරීමට දැන් අපි දෙදෙනා පුරුදු වී සිටිමු.

අප පුතු පුංචි සන්දියේ අපට ලබා ගත නොහැකි ව‍ූ සෙනෙහස හා සතුට දැන් මේ දෙදෙනා ගෙන් අපට නොඅඩුව ම ලැබේ. අපිදු ඒ දෙදෙනාට හද පුරා සෙනෙහස දක්වමු.

අප වසන පටු මාවතේ සතියකට වරක් හෝ දෙවරක් බොම්බයි - මොටයි වෙළෙන්දෙක් එයි.

වෙළෙන්දාගේ සීනු හඬින් අප මුනුබුරා කුල්මත් වෙයි.

“සීයෙ ඇහෙනවද? අන්න බොම්බයි මොටයි අංකල් එනවා. බොම්බයි මොටයි රසින් ඔහු පිනා ගිය සේ ය.

මම ඔහුගේ අතේ මුදලක් තබමි. ඔහු එය ද මිට මොළවා ගෙන පටු මාවතේ ඉහළට දිව යයි.

අපිදු පස්සෙන් යමු.

වෙ‍ෙළන්දා එනු පෙනෙයි‍.

අප මුනුබුරා දැක නවතින ඔහු මුනුබුරා හා බස් දොඩමින් බොම්බයි - මොටයි විකුණයි.

බොම්බයි - මොටයි මුල දෑතට ගන්නා පුංචි මුනුබුරා වෙළෙන්දා ද පසුකර අපකරා දිව එන්නේ විදුලි වේගයෙනි.

“සීයේ, මං බොම්බයි - මොටයි ගත්තා. ගෙදර ගිහින් කමු” අපිදු ඔහු පිටුපස ගෙදර එමු.

මේ අයුරින් බොම්බයි - මොටයි වෙළෙන්දා අපේ පටු මාවතේ හිතවතකු බවට පත් විය.

එහෙත් නියමිත දවසක වෙළෙන්දා නාවේ ය.

“සීයේ ඇයි අද බොම්බයි මොටයි අන්කල් ආවේ නැත්තේ?

හෙට එයිද?”

“ඔව්. පුතේ එයා හෙට එයි.”

එහෙත් එදින ද ඔහු නාවේ ය. ඊළඟ දිනයේ ඔහු එති’යි බලා සිටිය ද එදින ද ඔහු නාවේ ය. මේ අයුරින් ඔහු දින ගණනාවක් ම නාවේ ය.

මෙයින් පුංචි මුනුබුරා පමණක් නොව අපිදු විමතියට පත්වීමු.

“සීයෙ, බොම්බයි - මොටයි අංකල් එන්නෙම නැද්ද?”

“එයි පුතේ. නෑවිල්ල කොහොමද? එයා එන්ඩම එපායැ.”

“ඒ වුණාට මෙච්චර දවසක් ආවෙ නෑනෙ.”

“මොකක් හරි ප්‍රශ්නයක් ඇති. අපි බලමු. එයා නෑවිල්ල ඉන්නෙ නෑ.”

ඔය අතර ම’පුතු සිය දරු පවුල ද කැටුව රට රැකියාවකට ගියේ ය. පුතුට ලැබුණු ඒ මහඟු අවස්ථාව ගැන අප උද්දාමයට පත් වුව ද පුංචි උන් දෙදෙනා ද කැටුව ඔවුන් අපෙන් ඈත්වීම අපට දැරිය නොහැකි දුකක් විය.

“සීයෙ, බොම්බයි - මොටයි අංකල් ආවොත් එයාට කියන්ඩ අපි රට ගියා කියල” සමුගන්නා මොහොතේ පුංචි මුනුබුරා කීවේ ය.

“හා පුතේ කියන්නං”

ඔවුන් සමුගෙන ගියහ. එහි ගිය දවසේම අපට කතා කළහ.

“සීයෙ බොම්බයි - මොටයි අංකල් තාම ආවෙ නෑනේද? පුංචි මුනුබුරා ඇසුවේ ය‍.

“නෑ පුතේ. තාම නෑ.”

“ආවොත් එයාට කියන්ඩ අපි මෙහෙ ආව කියල.”

“හොඳයි පුතේ”

සාංකාවෙන් ම මසක් පමණ ගෙවී ගියේ ය.

දවසක් හවසක සිහිනයකින් මෙන් මට ඒ හඬ ඇසිණ. මම කන් දුනිමි. මායාවක් නොවේ.‍ සැබවින් ම ඒ බොම්බයි - මොටයි සීනුවෙ හඬ ය.

මට බිරිය ගේ මුහුණ බැලිණ.

“අන්න එයා එනව” ඇය කීවාය.

මම මිදුලට බැස පටු මාවතට පිවිස ඒ දිගේ ඉදිරියට ගියෙමි. පටු මාවත ඉහත්තෑවෙන් ඔහු ගේ සීනු හඬ ළං ළං ව නැගෙමින් තිබිණ.

ඔහු ආවේ ය. මා දැක සිනා සුණේ ය. එහෙත් මුහුණ රැළි කරගෙන මා ළඟ නැවතු‍ෙණ් ය.

“මහත්තය, අද අපේ පුංචි මුනුබුරා නැත්තෙ ඇයි?” අසනීපයක්වත්ද?”

“එහෙම දෙයක් නෙමේ.‍ එයා පසුගිය ටිකේම ඔයා එයි කියල මග බල බලා හිටියෙ‍. අන්තිමට ගිය සුමානෙ ඒගොල්ලො හැමෝම රට ගියා. ආයෙ එන්නෙ කාලෙකින්!”

“ෂඃ! ඇත්තද?”

“ඒක නෙමේ, මොකද ඔයාට වුණේ?”

“අනේ මහත්තයො බලන්ඩකො මට හාට් ඇටෑක් එකක් හැදුණනෙ! ඉස්පිරිතාලෙත් නැවතිල හිටිය. දැන් හොඳයි. ආයෙත් රස්සාවට බැස්ස. මං එහෙනං යන්නං මහත්තය.”

“හොඳයි”

යළිත් සීනුව හඬවමින් ඔහු ඉදිරියට ගියේ ය‍.

මම ආපහු හැරී ඔහු පසුපසින් ගෑටුවෙමි. ටිකකින් ඔහු මට නොපෙනී ගියේ ය.

එහෙත් විටින් විට සීනු හඬ ඇසිණ.

අපේ මුනුබුරාට දැන් එරට නොයෙක් වර්ගවල රස කැවිලි ඇතුවාට සැකයක් නැත. එහෙත් බොම්බයි මොටයි රසයේ අඩුපාඩුව නම් ඔහුට දැනෙනු ඇත.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »