සුනඛ මිතුරෝ

2018-02-19 11:28:00       552
feature-top
ඇය අලුත් නිවෙසක් ඉදි කර එහි පදිංචි වූයේ සැනසිල්ලේ ජීවත්වීමට ය. එහෙත් වැඩි කාලයක් එහි යහතින් විසීමට බැරි තරමට අවට පරිසරය රළු වීමට පටන් ගත්තේ ය. ඉවසිය නොහැකි වූයේ තම ඥාතීන්ගෙන් ම පැමිණෙන කරදරය.

ඒ බැරි ම තැන නිවෙස විකුණා දැමූ ඇය වෙනත් තැනකින් ඉඩම් කෑල්ලක් මිල දී ගත්තා ය. එහි ගෙයක් හදන තුරු කුලී නිවෙසක පදිංචි වූවා ය.

විකුණා දමන ලද නිවෙසෙහි තිබූ හැම බඩුවක් මුට්ටුවක් ම කුලී නිවෙසට ගෙන යනු ලැබීමෙන් පසු අමුත්තෝ දෙදෙනෙක් එහි ඉතිරි වූහ.

ඒ වියපත් සුනඛයෝ දෙදෙනෙකි. පාරට වැටී සිටි ඔවුහු මීට වසරකට පමණ පෙර ඇගේ ගෙදරට පංගාර්තු වී සිටිය හ.

ජීවිතයට වාහනයක ගමන් කොට නැති සුනඛයන් දෙදෙනා ත්‍රීවීලරයට නංවා ගැනීමට මහත් උත්සාහයක් දැරිය යුතු විය. එහෙත් ටික දුරක් ගිය තැන එකෙක් රියෙන් බිමට පැන ආපසු දිව ගියේ ය. ඇය දෙවැන්නාට පැන යන්නට නොදී කුලී ගෙදරට ගෙන ගොස් සත්කාර කොට රඳවා ගත්තා ය.

පසු දා පහන් වන විට ම ඇයට ඥාති සොයුරියක ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

‘නංගි, මේං බල්ලො දෙන්න ම ඇවිල්ල පාරෙ ඉන්නව!’

පසු දා බනිස් ගෙඩි දෙකක් ද ගෙන ඇය උන් සොයා ගෙන ගියා ය.

ඇය දුටු දෙදෙන වල්ගා වනමින් ඉදිරියට ආහ.

ඇය දෙදෙනාට බනිස් දුන්නා ය. බනිස් කෑ සුනඛයෝ ඈ දෙස බලා කළ ගුණ පාන්නට වූ හ.

‘හා දැං යං! එන්ඩ යන්ඩ!’ ඇය ඉස්සර වූවා ය.

සුනඛයෝ දෙදෙනා ඇය පස්සෙන් වැටුණ හ.

ඔවුන්ගේ ගමන බාල වන විට ඇය ආපසු හැරී ඔවුන් දිරිමත් කළා ය.

‘යං යං ඉක්මනට යං!’

දැන් යා යුත්තේ නගරය මැදිනි. නගරයේ කලබලය නිසා සුනඛයන් බිය වී ආපසු යතැ යි සිතූ ඇය නගරය මග හැර යන විකල්ප මඟක් තෝරා ගත්තා ය.

ඈ ටික දුරක් යන්නී ය. පසු පස බලන්නී ය. සුනඛයන් දිරිමත් කරන්නී ය. යළි ටික දුරක් යන්නී ය. පසුපස බලන්නී ය.

එකකු ආපසු හැරී ගොස් ඇති බව ඇය තේරුම් ගත්තේ මෙසේ ටික දුරක් ගොස් ආපසු බලද්දීය.

‘කමක් නෑ. ඔයාවත් යං කො’ ඇය ඉතිරි වූ සුනඛයා කැඳවාගෙන කිලෝ මීටර දෙකකට වැඩි දුරක් පයින් ම ගියා ය.

‘ඉස්කෝලෙ යද්දිවත් එච්චර දුරක් පයින් ගිහිං නෑ’ ඇය සිනාසෙන්නී ය.

‘මේකගෙ පිටේ තියන කුෂ්ටෙට වෙදකම් කරන එක තමයි ඊළඟ ප්‍රශ්නෙ’ ඇය කියයි.

එහෙත් ඇය හෙද නිලධාරිනියක් නිසා එය එතරම් ප්‍රශ්නයක් නොවනු ඇතැයි මට සිතේ.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »