ගුරු මාතාව

2018-02-12 12:18:00       103
feature-top
ඒ පාසල් නිවාඩු කාලයේ බුත්තල පදිංචිව සිටි මගේ සොහොයුරියක්, ඇගේ සැමියාත් තම කුඩා දියණිය සමඟ ඉංගිරියේ අපේ මහගෙදර යෑමට බලාපොරොත්තුව සිටිය ද කිසියම් ඇවැසි කටයුත්තක් නිසා ගමන දින කිහිපයකින් පස්සට ගියේ ය. ඒ ගැන පුංචි දැරිය සිටියේ තැවුලිනි.

මහගෙදර සිටින්නේ ඇගේ ආච්චි අම්මා ය. හෙවත් අපේ අම්මා ය. අපේ සෙසු සොයුරියන්ගේ දරු පැටවුන් ද නිවාඩු කාලය ගත කරන්නේ ඇගේ ඇසුරේ ය. ඒ සියල්ලන් හා නිවාඩු කාලය සතුටින් ගත කිරීම මේ දැරියගේ එකම සිහිනය විය. ඔවුන් ඇසුරේ දින කිහිපයක් ගත කරමින් සිටි මම පත්තරයකට ඇඳ තිබූ චිත්‍ර කතා කොටස් කිහිපයක් ද පරිස්සමින් අකුළා ගෙන කොළඹ ඒමට සූදානම් වීමි.

මා මහගෙදර යන බව දැන සිටි දැරිය තමාට ද මා සමඟ එහි ය‍ෑමට වුවමනා බව මවට කියනු මට ඇසිණ.

“අනිද්ද අපි යනවනේ දුවේ. ඒ හින්ද පොඩ්ඩක් ඉවසන්නකො” ඇගේ මව, මගේ සොහොයුරිය කියනු ද ඇසිණ. සමුගත් මට මිදුලට පය තබන්නට ඉඩ නොලැබිණ.

“අනේ මාමෙ, මාත් එනවා!” දැරිය හඬාගෙන මා ළඟට ආවා ය. ඇගේ හැඬුම කොපමණ බලවත් වී ද යත් අපි ඉන් සසලව ගියෙමු.

“හොඳයි එහෙමනං යන්න!” අවසානයේ අවසර ලැබිණ.

ජය ගත් දැරිය කඳුළු අතරින් සිනාසුණා ය.

ඇය කඩිමුඩියේ ගමනට සූදානම් කැරිණ.

“හැබැයි අර තෑගි පාර්සලේ මමයි ගෙනියන්නෙ” ඇය දෙවන ඉල්ලීම ද දිනා ගත්තා ය.

එහි වූයේ ඇය පෙර සූදානම් කරගෙන සිටි ඉරිඟු කරල්, රටකජු සහ අඹ ය.

ගෙදර සූදානම් කර තිබූ ඒ පාර්සලය ද, ඇගේ ඇඳුම් බෑගය ද ගෙන යෑමට මම කැමැත්තෙන් ම භාර ගතිමි.

ගෙදර ඇත්තෝ අප බස් නැවතුම් පොළට ඇරලවූහ. බසයේ විවර කළ හැකි කවුළුවක් අසල අසුනක් ද අපට ලැබිණ.

සොයුරිය මා පසෙකට කැඳවා දැරියට සම්බන්ධ රහසක් කීවාය. ඇය ඒ රහස හෙළි කළේ ඒ ගැන මා අවදියෙන් තැබීමට විය යුතු ය.

“කමක් නෑ” මම කීමි.

“බය වෙන්ඩ එපා! ඕව පුරුදු වෙන්නත් එපායැ” ඇය කීවා ය.

බසය පිටත් විය. සැතපුම් දෙකක් යන්නක් පෙර රහස හැමෝටම එළි විය. දැරිය වමනය දමන්නට වූවා ය. ඒ වනවිට ඇය සිටියේ කවුළුවෙන් පිටත වටපිටාව නරඹමිනි.

ඇය වමනය කළේ එක වරක් පමණක් නොවේ. මා සිරුරට වාරු වී ඇය කිහිප වරක් ම වමනය කළා ය‍.

‍තේ පානය කිරීම සඳහා නියමිත ස්ථානයක බසය නවත්වන ලදී. එහිදී මම ඇයට කෝපි ටිකක් පෙවීමට උත්සාහ ගතිමි. වදෙන් පොරෙන් පොවන ලද කෝපි උගුරු කිහිපය ද යළි ගමන ඇරඹුණු පසු ඇය වමනය කළා ය.

වමනයෙන් ඇගේ ඇඳුම් ද, මගේ ඇඳුම් ද අපවිත්‍ර වී තිබිණි. ඒ වනවිට අප ගමනේ අඩක්වත් ගෙවා දමා තිබුණේ නැත.

මම මේ නුහුරු අත්දැකීමට හැකි පමණින් මුහුණ දෙමින් සිටියෙමි.‍

“දෙහි ටිකක් දුන්නනං හරි”

“පිට අතගාන්න!”

ඇතැම් මඟ‍ීහු උපදෙස් දුන්හ. ඒ හැර ඔවුනට ද කළ හැකි දෙයක් නොවී ය. එසේ වුවද බොහෝ මඟීන් කළේ අප දෙස අපුලින් බැලීම ය. ඒ අප හැකි පමණ ඈත්ව සිටීම ය.

ඒ ඉටු දේවතාවිය මා නෙත ගැටුවේ එසේ අප බලවත් ලෙස අසරණව සිටියදී ය.

ඇය සෙනඟ පීරාගෙන අප අසුන සොයා ආ හැටි මට මතකය.

“මොකද පුතේ?”

ඇය මගේ ඔඩොක්කුවේ සිටි දැරියගේ හිස අතගෑවේ ඒ කරුණාබර වදනින් යුතුව ය.

ඇගේ ඒ කාරුණික හඬ දිගේ මට ඇසුණේ මා සොයුරියගේ ස්වරයය. දැරියගේ මලානික මුහුණට ද ඒ ඇමතුමින් පණක් එනු පෙනිණ.

බෝරිච්චි අත් යෙදූ හැට්ටයකින් සහ ළා පැහැ සාරියකිනුත් සැරසී ගෙලේ සිහින් ඇට මාලයක් පැලඳ සිටි ඇගේ අතේ ලිපි ගොනුවක් ද, උරයේ කුඩා බෑගයක් ද විය. මේ නම් ගුරු මාතාවක් විය යුතු යැයි ද, ඇය බොහෝ වේලාවක් බසයේ හිටගෙන එන්නට ඇතැයි ද මට සිතිණ.

මම නැඟිට ඇයට හිඳ ගන්නැයි කීමි. ඇය කළේ සිය ලිපිගොනුව මා අත තබා දැරියට සමීප වීම ය. මම පසෙකට වීමි.

සිය බෑගයෙන් කුඩා වතුර බෝතලයක් ගත් ඇය එය බසයේ කවුළුවෙන් පිටට අල්ලා ලේන්සුවක් තෙමුවා ය. අනතුරුව තෙත ලේන්සුවෙන් දැරියගේ මුහුණකටත් ඇඳුමත් පිස දැමුවා ය.

“දැන් කොහොමද දුවේ? ඇය යළි දැරියගේ හිස පිරිමැද්දා ය.

ටිකකින් අසුනින් නැගිටි ඇය මට හිඳ ගැනීමට අසුන දුන්නත් දැරිය වහා ඇගේ අතින් ඇද ඇය තමා ළඟ වාඩි ගන්වා ගත්තා ය.

මම කැමැත්තෙන්ම හිට ගෙන සිටියෙමි. එය මට සතුටක් විය. දැරිය මේ දේවතාවියගේ අතේ වෙළී පිබිදුණු මුවින් ඈ හා කතා බහේ යෙදුණා ය.

ටිකකින් දැරිය ඇගේ ඔඩොක්කුවේ හිස තබාගෙන ඇල වූවා ය. ඇය ඇඟිලි තුඩින් දැරියගේ හිස පිරිමඳිනු දුටු මගේ දෑස පෙඟුවේ ය. මා ඒ සොඳුරු සුරතල් අසිරිය වින්දේ විටින් විට කඳුළු පිස දමමිනි.

සැතපුම් කිහිපයක් ගිය තැන හමුවූ ප්‍රධාන නගරයකදී ඇය දැරියගේ හිස සිඹ බැස යෑමට සූදානම් ව‍ූවා ය.

“හොඳට ඉගෙන ගන්න දුවේ!” ඇය නැගිට්ටාය.

“මං බහින්නං. ඔයා වාඩි වෙන්න! ඇය මට කීවා ය.

මම මහත් ගෞරවයකින් ඇයට හිස නැමීමි.

ඇය බැස ගියා ය.

“එයා කවුද? මම දැරියගෙන් ඇසුවෙමි.

“ටීචර් කෙනෙක්” දැරිය කීවා ය‍.

ඉන්පසු දැරිය වමනය කළේ නැත. එහෙත් හැඬුවා ය. ඇය සිය කඳුළු පිස ගත්තේ අලුත් ලේන්සුවකිනි. එය ඇයට තිළිණ වී තිබුණේ අර ගුරුතුමියගෙනි.

මා එතුමියට ස්තුතිවන්ත වූවා මදි බව මට තේරුම් ගියේ ගෙදර ගොස් සියලු විස්තර මගේ මවට ද, සහෝදරියන්ට ද කී පසු ය. තමා උගන්වන පාසලේ නම ඇය දැරියට කියා තිබුණ ද ඒ වනවිට දැරියගේ මතකයෙන් එය ගිලිහී තිබිණි.

යළි දිනෙක බස් ගමනේදී ඇය හමුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටිය ද පුදුමයකට මෙන් ඉකුත් වසර තිහක පමණ කාලය තුළදී ඇය මට හමු නොවී ය.

ඒ දැරිය අද සරසවි අධ්‍යාපනය ද ලබා බුත්තල පෙදෙසේම පාසලක දරුවන්ට සිප් සතර බෙදා දෙන්නීය.

ඉංගිරියේ ගාමිණී මැදි විදුහලේ ගුරු දෙගුරු රැස්වීමකට නොබෝදා මම ද සහභාගි වීමි. එක්තරා වැඩිහිටි මාතාවක් එහිදී දූ දරුවන් සම්බන්ධයෙන් මහඟු දේශනයක් පැවැත්වූවා ය.

ඒ රුව ඔස්සේ මම දශක තුනක අතීතයට ගියෙමි. දෙවියනේ, මේ අර උත්තමාවියනේ!

දේශනය අවසානයේ ඇය සමීපයට ගිය මම වසර තිහකට පෙර සිදුවූ අර සිද්ධිය සිහිපත් කළෙමි.

“ඔව් මට මතකයි” ඇය කීවා ය.

ප්‍රියංකා ගුරු මාතාවට නිදුක් නිරෝගී සුව පතන්නේ ඊට වැඩි හෙළිදරව්වක් කිරීමට ඇය කැමැත්ත නොදුන් නිසා ය.

 



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »