මහ පාරේ චින්තකයා

2018-02-05 10:55:00       587
feature-top
මා ඒ වන විටත් කොල්ලුපිටියේ අතුරු පාරක ය. එතැන් සිට මා නාරාහේන්පිටට යා යුතු විය.

මග හමු වූ කිහිප දෙනකුගෙන් ඇසුවත් නාරාහේන්පිටට යා හැකි බසයක් ගැන හරි අවබෝධයක් ලබා ගත හැකි ද නොවී ය.

අවිනිශ්චිත ඒ මොහොතේ මා දුටුවේ අසලින් යන කුලී ත්‍රිරෝද රියකි. මම වහාම ඊට අත දැමුවෙමි. එය මා ළඟ ම නැවැත්වී ය.

රියැදුරා මදෙස බැලුවේ ය. ඔහු මැදි විය ද ඉක්මවා සිටියෙකි.

‘මට නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ළඟට යන්ඩ ඕනැ. එතෙන්ට කීයක් විතර යයි ද?’

‘175 ක් විතර’ ඔහු කීවේය ය.

‘හා යං’ කියමින් මම එහි නැග හිඳ ගතිමි.

ඩුප්ලිකේෂන් පාරට වැටුණු ත්‍රිරෝද රිය රථ වාහන සාගරයකට අසු විය.

‘බලන්ඩ මහත්තය මේ පාරවල් වන්වේ කරල මිනිස්සුන්ට දෙන දඬුවම!’ ඔහු වචන උච්චාරණය කළේ අසිංහල ඌරුවකට ය.

‘වන් වේ කරල තියෙන්නෙ ට්‍රැෆික් අඩු කරන්ඩලු නේද?’

‘දැන් මේ ට්‍රැෆික් අඩුවෙලා ද? වන් වේ කරපුහම මිනිහෙකුට තමන්ගෙ උවමනා තැනට යන්ඩ කොච්චර වටයක් ගහන්ඩ ඕනැ ද? අනිත් එක මේවයෙ අතුරු පාරවල් කොච්චර තියනවද? ඒව ඔක්කොම හරස්වෙලානෙ. රටක් වෙච්ච ම හැම පාරක ම නිදහසේ යන්ඩ තියෙන්ඩ ඕනෑ.’

ඒ අදහස මගේ හිතට වැදිණ. මම ‘හ්ම්’ යැයි කීමි.

‘කවුරු කොහොම මොන තීන්දු ගන්නවද දන්නෙ නෑ. කාලයයි, ශ්‍රමයයි, වියදමයි වැඩි වෙන එක තමයි වෙලා තියෙන්නෙ. මේක පුංචි රටක්නෙ මහත්ත‍යො. ඉතින් වැඩත් පුංචියට ලස්සනටනේ තියෙන්ඩ ඕනැ’

‘හ්ම්’

‘දැන් බලන්ඩ ඉන්දියාව දිහැ. ඒකෙ ජනගහනයෙ කෝටි එකසිය ගාණක්. අපේ කෝටි කීය ද? අන්තිම සුළු ගාණක්නෙ. ඒ වුණාට වැඩ එහෙම ද? ඔච්චර ලොකු ඉන්දියාවෙ පාර්ලිමේන්තුව දිහෑ බලන්ඩ! කැබින්ට් එකේ කී දෙනා ද ඉන්නෙ? අපේ බලන්ඩ! කොහොමද සයිස් එක? ඒ තියා පළාත් සභාවල කොච්චරක් කියල ඉන්නවද? ඊළඟට ප්‍රාදේශීය සභා! මේ බර මේ රටට ඔරොත්තු දෙයි ද? ඒ තියා මේ පුංචි රටට ජනාධිපති තනතුරු මොකට ද? අගමැති තනතුර හොඳට ම ඇතිනෙ. කොච්චර සම්පත් නාස්තියක් ද? අනිත් එක මේ පුංචි රටට මෙච්චර වාහන මොකටද? පොදු ප්‍රවාහනය හරියට හදල හැම පාරෙ ම හොඳ බස් සේවයක් දැම්ම නං ඉවරය‍ිනෙ...’

‘හ්ම්’

නිහඬතාවක් පැතිරිණ.

ඔහු තමා ගැන විස්තර කියන්නට පටන් ගත්තේ ය.

‘මහත්තය, මං මේ ත්‍රීවිලර් එකේ දුවන්නෙ ඕෆ් වෙලාවෙ. මාත් රස්සාවක් කරනව. මේ කාලෙ එක රස්සාවක් කරල මදිනෙ. ස්වාමි පුරුෂයෙක් හැටියට වගේ ම තාත්ත කෙනෙක් හැටියටත් මම මගෙ ගෙදර යුතුකම් ටික කරන්ඩ ඕනැනේ. මං නැත්තං කවුද මගෙ දරු පවුලට බලන්ඩ ඉන්නෙ. වැඩ ඕෆ් වෙලා ඇවිත් මට අගේට ගෙදරට වෙලා ඉන්ඩ තිබුණ. ඒත් මං ‍එහෙම රෙස්ට් එකේ ඉන්නෙ නැතුව ත්‍රීවිලර් එක පාරට දැම්මෙ ඒ වෙලාවෙත් කීයක් හරි අතට ආවොත් දරු පවුලට හොඳයිනෙ. ඒකයි’

‘හ්ම්’

‘මහත්තය මගෙ නෝන රස්සාවක් කර‍න්නෙ නෑ. අපි කසාද බැන්ද මුල් කාලෙ ඉඳන් මං එයාට කිව්වෙ ‘ඔයා ගෙදරට ‍වෙලා අම්මගෙ රාජකාරිය කරන්ඩ! මං තාත්තගෙ රාජකාරිය කරන්නං’ කියල. අම්ම කෙනෙකුගෙ රාජකාරිය කරන්ඩ ලේසිද මහත්තය? ගෙදර වැඩ දහසක් කරන්ඩ ඕනැ. දරුවන්ට ආදරේ කරන්ඩ ඕනැ. ලෝකෙ රටේ හැටි කියල දෙන්ඩ ඕනැ. සමහරු එහෙම හිතන්නෙ නෑ. තමන්ගෙ නෝන ලවාත් රස්සාවක් කරව ගන්නව. ඒකෙන් තමා අපේ රටේ පවුල් අවුල් වුණේ? අම්ම තාත්ත දරුවො එක එක දිහාවල්වලට විසිවෙලා ගියා. සල්ලිම හොයනවා. කොච්චර සල්ලි හෙව්වත් මොනව කරන්ඩද? සල්ලි වලින් කරන්ඩ පුළුවං එක දෙයයි තියෙන්නෙ. වියදං කරන එක විතරයි. ඒ වුණාට මහත්තය ඒ සල්ලිවලට දරුවන්ට අම්මගෙ ආදරේ දෙන්ඩ පුළුවන්ද? දරුවන්ට හොඳ ගතිගුණ කියල දෙන්ඩ පුළුවන්ද? සල්ලිවලට මනුස්සකම ඇති කරන්ඩ බෑ. ජීවත්වෙන්ඩ සල්ලි ටිකක් තිබුණොත් ඇති.!

‘හ්ම්’

‘මහත්තයට කියන්ඩ මට දරුවො තුන් දෙනෙක් ඉන්නව. ලොකු එක්කෙනා පුතා. එයාව මං රස්සාවකට දාල තියෙන්නෙ. අනිත් එක්කෙනත් පුතෙක්. එයත් අද හෙට රස්සාවකට යන්ඩ ඉන්නෙ. බාලය දුව. ඇඩ්වාන්ස් ලෙවල් කරන්නෙ. මහත්තය මං මගෙ දරුවො තුන්දෙනාට මේ රටේ ප්‍රධාන භාෂා තුන හොඳට උගන්නලයි තියෙන්නෙ. මං ඒ ගොල්ලන්ට නිතරම කියන්නෙ ‘දරුවනේ, මට ඔයාලට දෙන්ඩ පුළුවන් හොඳ ම දායාදය මං ඔයාලට දීලයි තියෙන්නෙ. ඔයාලට ඒකෙන් මේ රටේ මිනිස්සු එක්ක හොඳින් ගනුදෙනු කරන්ඩ පුළුවං. ඒ හින්ද ඔයාල මිනිස්සුත් එක්ක මිනිස්සු විදිහට ජීවත්වෙන්ඩ! උවමනා තරමට සල්ලි හම්බ කර ගන්ඩ! ඒ ඇති! මේ කෙටි ජීවිත කාලෙ සැනසිල්ලෙ ජීවත්වෙලා අනිත් අයටත් සැනසිල්ල දෙන්ඩ!’ ඊට එහා මොනවද මහත්තයො?’

‘හ්ම්’

ඒ වන විට අප සිටියේ කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට මීටර් කිහිපයක් නුදුරින් හදිසියේ ඇති වූ වාහන තදබදයකට හිරවී ය.

‘දැන්නං මට ඔය ටික පයින්ඩ යන්ඩ පුළුවං’ මම කීමි.

‘ඒක ඇත්ත. එතකොට මහත්තයටත් පරක්කු වෙන්නෙ නෑ. මාවත් ට්‍රැෆික් එකේ හිරවෙන්නෙ නෑ’ යි කී හෙතෙමේ දකුණට හරවා තදබදයෙන් මිදී පාර අයිනට කර නැවැත්වී ය.

මීටරයේ වැටී තිබුණු ගාණට ගැළපෙන මාරු සල්ලි මා ළඟ තිබුණේ නැත. මම ඊට සුළු ගණනක් වැඩි නෝට්ටු කිහිපයක් එකතු කොට ඔහුට දුනිමි.

‘මෙච්චර වැඩියි මහත්තයො. මීටරේ ගාණ ම ඕනැ නෑ, අපි සාධාරණ වෙන්ඩ ඕනැ’ ඔහු රුපියල් විස්සක් ආපහු දුන්නේ ය.

‘එහෙනං මං යන්නං’

‘හොඳයි, මහත්තයගෙ වැඩේ සාර්ථක වෙන්ඩ ඕනැ’



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »