දෙවන මව

2018-01-16 11:04:00       148
feature-top
සකුන්තලා පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවකි. ඇය ඉගෙන ගැනීමට ද දක්ෂ ය.

එහෙයින් ඇය ශිෂ්‍ය නායිකා තනතුරට සුදුසු බව ගුරු මණ්ඩලය තීරණය කළහ.

ආරංචියට තටු ලැබිණ.

කාගේත් ඇස් ඈ වෙත යොමු විණ.

“අපේ ශිෂ්‍ය නායිකාවට සුබ පැතුම්!” යෙහෙළියෝ ඇය වට කරගත්හ.

සකුන්තලා මුනිවත රැක්කා ය.

“ඇයි මේ? සතුටුවෙන්න තියන අවස්ථාවෙ ඇයි ඔයා දුකෙන්?” යෙහෙළියෝ ඇසූහ.

“මං කොහොමද ඒක බාරගන්නෙ? මට බෑ!” ඇය ශෝකයෙන් හිස බිමට හරවා ගත්තා ය.

ඇයි බෑ කියන කාරණය මිතුරියෝ දැන සිටියහ. එහෙයින් ඔවුහු සිය පන්ති භාර ගුරුතුමිය සොයා ගියහ.

“මිස් හරි වැඩේ! සකුන්තලාට බැරිලු! ඔවුහු කීහ.

“මොනව?” ගුරුතුමිය ගේ දෑස මහත් විය.

සකුන්තලාට ආර්ථික අමාරුකම් තිබෙන බව ගුරුතුමිය ද දැන සිටියාය. ශිෂ්‍යාව මේ අනගි අවස්ථාව පැහැර හැරීමට හදන්නේ ඒ නිසා දැයි සිතූ ඇය තුළ ශෝකයක් ඇති විය.

ගුරුතුමිය සකුන්තලාට ඇවැසි දේද පාර්සල් කරගෙන ඇගේ දුප්පත් නිවෙස ‍කරා ගියාය.

සකුන්තලා ගුරුතුමිය දැක පුදුම වී අනතුරුව කඳුළු පිරි දෑස පිසදමා වහා ගුරු පා වැන්දා ය.

මේ දසුන වාවා ගත නොහැකිව බලා සිටි තවත් අයෙක් ගෙදර සිටියේ ය. ඒ සකුන්තලාගේ පියා ය. ඔහු කලක් පටන් අංශභාගයෙන් ඔත්පලව සිටින්නෙකි. මේ දුප්පත් ගෙදර සිටින්නේ පියාත් දියණියත් පමණි. රට රස්සාවකට ගොස් සිටින මව ගැන ආරංචියක් නැත.

“දුවේ, දැන් ඔයාට බෑ කියන්න බෑ. ශිෂ්‍ය නායිකාවකට අවශ්‍ය ඔක්කොම දේවල් මෙතන තියනව. මේක ගන්න! ගුරුතුමිය කීවා ය.

සකුන්තලා කිසිවක් කර කියාගත නොහැකිව හුන් ඉරියව්වෙන් ම සිටියා ය.

“දැන් ඉතින් නැගිටින්න දුවේ, ශිෂ්‍ය නායිකා පදක්කම් පලඳවන දවසෙදි ඔයාගෙ අම්ම වෙනුවට මං ඉන්නම්!”

වත්තල, හැඳල, අ.ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »