කඳුළු කතාව

2017-12-26 10:59:00       653
feature-top
ඒ දහම් පාසල් දිනයකි‍.

අපේ දහම් පාසල ආරම්භයේ සුපුරුදු මල් පහන් පූජාව ඇරඹිණි.

සිසු දරු දැරියෝ ද ගුරු දෙගුරු ද පෙළ ගැසී සිටියහ.

සිසුවෙක් ඝාණ්ටාව නාද කරමින් සිටියේ ය.

දරු දැරියෝ මල් පහන් සුවඳ දුම් අත ගස්වමින් බුදුන් පිදූහ.

පූජාව අවසන් වෙත් ම ඝණ්ටා නාදය ද නිමා විය.

පිරිස ගාථා කියා ඒ අවසානයේ මෙත් වැඩූහ.

ඉක්බිති එළැඹියේ දරු දැරියන්ගේ කතා වාරය ය. සිසුවකු සහ සිසුවියක කෙටි කතාව බැගින් කළ යුතු විය.

සිසුවා සිය කතාව කළේ ය. ඊට අත්පොළසන් ලැබිණ.

ඊළඟ කතාව කිරීමට කුඩා දැරියක් ඉදිරිපත් වූවා ය. ඇගේ මාතෘකාව වූයේ ‘දෙමාපියන්ට සැලකීම’ යි.

ඇය කතාව පටන් ගත්තා ය. එහෙත් ඉක්මනින් ම ගොළු වූවා ය. යළි වචන ගැට ගැසුවා ය.

“අම්මව තාත්තව බලු කූඩුවෙ දාන දරුවොත් අපේ රටේ ඉන්නව...”

ඇයට ඇඩිණ.

අපි සංවේගයට පත්වීමු.

ඇය දිගටම හඬන්නට වූවා ය.

ගුරුවරියක් ඇය පසෙකට කැඳවා ගෙන ගොස් සැනසුවා ය.

දහම් පාසල ඇරඹිණ. හිමි නම ද ලැගුම් ගෙට වැඩියහ‍.

මම අර දැරිය වෙත ගියෙමි.

“මොකද දුවේ ඔයාට වුණේ?” මම ඇසීමි.‍

ඇය මදෙස බලා තොල් මතුළා ය.

“මට අපේ ගෙදර අම්මවයි, තාත්තවයි, සීයවයි, ආච්චිවයි මතක් වුණා... ඒකයි මට කතා කරගන්ඩ බැරි වුණේ.”

වීණාවක සියුම් තතක් මෙන් සියුම් හැඟීම් ඇති ඒ දැරිය මුහුණ බිමට හරවා ගත්තා ය. අප හෙට දිනට දායාද කළ යුත්තේ මෙබඳු සංවේදී දරුවන් නොවේද?

මම ඇගේ හිස පිරිමැද්දෙමි.

මොරටුවේ, කටුබැද්දේ බෝධිරාජ ඉරුදින දහම් පාසලේ ආචාර්ය ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »