පාලිකා මව

2017-12-07 11:17:00       47
feature-top
රජයේ නේවාසික පුහුණු ආයතනයකි.
මල් වය‍සේ යුවතියෝ රැසක් එහි පුහුණුව ලබති.
පාලනය කෙරෙන්නේ පාලිකාවක මඟිනි.
යුවතියන් බහුතරය පාසල් හැර ගිය වයසේය. සිය නිවෙස්වලින් ඈත්ව නේවාසිකව විසී ම ඔවුනට දුකකි.

යුවතියනගේ හැඟීම් ප්‍රබල ය . පවුල් පරිසරය විවිධ ය.
ආයතනයේ ගරුත්වය රැකිය යුතු ය. ඒ සමඟ ම ඒ ඒ යුවතිය ගේ මෙන් ම තමාගේ ද ගරුත්වය රැක ගත යුතු ය. පාලිකාව ඒ ගැන නිතර හිත යි.
‘දරුවනේ ඔය ගොල්ල හෙට දවසෙ වගකිවයුතු රාජ්‍ය සේවාවකටනේ යන්නෙ. ඒ නිසා විනය ගරුකව, පිළිවෙළකට හැදෙන්න ඕනැ. ඒකයි මේ නේවාසික පුහුණුව දෙන්නෙ’ පාලිකාව නිතර ම කියන්නී ය.
මාපියන්ගෙන් දුරස්ව තම පාලනය යටතේ පුහුණුව ලබන මේ යුවතියන්ගේ වගකීම ද පාලිකාවගේ කර මත රැඳී තිබේ. ඇය ඔවුන්ගේ ඉඳුං - හිටුං, කෑම බීම ආදිය ගැන පමණක් නොව රැකවරණය ගැන ද සොයා බැලිය යුතු ය. ඒ තබා ඔවුන් ගේ ලෙඩ දුක් ගැන ද සොයා බැලිය යුතු ය. බරපතළ ම තත්ත්වය නම් ඔවුන්ගේ ගෙවල්දොරවල්වලට අදාළ දුඃඛ දෝමනස්සයන්ට කන් දීම ය. ඒ නිසා ඕනෑ ම රැයක වුව ද දුරකථනයෙන් පවා මේ යුවතියනට පාලිකාව ඇමතීමට පුළුවන.
පිටතින් බැලූ විට නම් පාලිකාව තද ය. සැර ය.
යුවතියක් බියෙන් - බියෙන් පාලිකාව ඉදිරියට ආවා ය.
‘මැඩම්’ ඇයට මිමිණිණ.
‘මොකද?’ ‍පාලිකාව තියුණු බැල්මක් හෙළුවාය.
‘මැඩම්, මං ඉරිද ගෙදර ගිහිං සඳුද උදෙන් ම එන්ඩ ද මැඩම්?’
‘එහෙම කොහොම ද? ක්ෂේත්‍රයෙ නේවාසිකව ඉන්ඩ ඕනැ කියන්නෙ ඉන්ඩ ඕනැ හින්දනෙ. නැත්තං ගෙදර ඉඳල ම වැඩට එන්ඩ තිබුණනෙ.’
‘අනේ මැඩම් ප්ලීස්’

‘දරු‍වො, ඔළුවෙ එක එක ප්‍රශ්න තියාගෙන බෑ. විභාගෙට හොඳට සූදානම් වෙන්ඩ ඕනැනෙ.’
‘අනේ මැඩම්, මට ඉන්නෙ ආච්චියි සීයයි විතරයි. හෙට උදේ පන්සලට හීල් දානෙ. ගෙදර බඩුත් නෑ. මම බඩුත් අරගෙන ගිහිල්ල පාන්දර ම දානෙ සූදානම් කරල උදෙන් ම මෙහාට එන්නං මැඩම්. එතකොට ආච්චිටයි සීයටයි ගිහිං පූජා කරන්ඩ පුළුවන්නේ.’
‘අනේ ළමයෝ....!’
‘අනේ මැඩම් ප්ලීස්’
පාලිකාවට තවදුරටත් යුවතිය දෙස තද බැල්මෙන් බලා සිටිය නොහැකි ය. ඇගේ හිත බුරුල් වෙයි. හදවතේ සැඟවී සිටින සෙනේබර මව මතු වෙයි.
ඒ ප්‍රශ්නය විසඳුවා පමණි.
තවත් යුවතියක් පාලිකාව ඉදිරියට විත් බයාදු බැල්මක් හෙළාගෙන සිටියි. ඇය රූමත් ය. අහිංසක ය.
‘මොකද ඔය ළමය?’
‘මැඩම් මම සෙනසුරාද හවස ගෙදර ගිහිං ඉරිද හවසට එන්ඩද මැඩම්?’
‘මොකක්ද ඔයාට තියන ප්‍රශ්නෙ මේ හදිස්සියෙ ගෙදර යන්ඩ?’
‘අනේ මැඩම්, මට අම්ම බලල එන්ඩ ඕනැ මැඩම්’
‘දරුවො අපි කියන්නෙ නෑ ළමයින්ට දෙමව්පියො ගැන බලන්ඩ එපා කියල. හැම දරුවෙක් ම දෙමව්පියො ගැන බලන්ඩ ඕනැ තමයි. ඒත් ඔයා ගිය සතියෙත් ගෙදර ගියා නේද?’
‘අනේ මැඩම්, මට අම්ම දකින්නෙ නැතුව ඉන්ඩ බෑ මැඩම්. මට ඉන්නෙ අම්ම විතරයි මැඩම්’
‘ඉතින් අඬන්නෙ ඇයි? ඔය ළමයට අඬන්න දෙයක් මං කිව්වෙ නෑනෙ. කෝ එතකොට තාත්ත?’

‘තාත්ත නැතිවෙලා මාස දෙකක් වෙනව මැඩම්. මගෙ අම්ම හරි ම හොඳ කෙනෙක් මැඩම්. මගෙ අම්ම තනියම මාව හැදුවෙ තේ පැක්ටරියෙ වැඩ කර කර මැඩම්. එහෙම දුක් විඳලයි එයා මට ඉගැන්නුවෙ මැඩම්.’
‘එතකොට තාත්ත වගකීම් ඉෂ්ට කෙරුවෙ නැද්ද?’
‘තාත්ත හොඳට ම සූදුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක් මැඩම්. එක දවසක් තාත්ත රුපියල් හැත්තැපන් දාහක් දිනාගෙන ඇවිත් තියනව. ඒත් පහුවද ඒ සේර ම පැරදිලා! අම්ම අමාරුවෙන් හදාගත්තු රත්තරං බඩුයි, එයා මං වෙනුවෙන් ඉතුරු කරල හංගගෙන හිටපු සල්ලි ලක්ෂ තුනකුයි හොරකම් කරගෙන ගිහිල්ල ඒවත් පැරදිලා! ඒත් අම්ම තාත්තට මොකුත් කියල නෑ. තාත්ත අම්මට මූණ දෙන්ඩ බැරිකමට ම ගෙදරින් ගිහිං. එතකොට මට වයස අවුරුදු හතරයි. එයා වෙන කසාදයක් කර ගෙනත් නෑ. මෑතදි දවසක අම්මට ආරංචි වෙලා තාත්ත අසනීපෙන් ඉන්නව කියල. ‘දුවකට තාත්ත කෙනෙක් ඉන්ඩ ඕනැ’ කියල අම්ම ගිහිං තාත්තව එක්කරගෙන ඇවිත් වෙදකම් කළා. අම්මට තාත්තව දාල වැඩට යන්ඩත් බැරි වුණා. එතකොට මං උසස් පෙළ ලියල හිටියෙ. මං පෞද්ගලික ආයතනයක වැඩට ගියා. ගෑනු ළමයින්ට වෙන එක එක කරදර ගැන අහල අම්ම හැම තිස්සෙ ම කියනව “අනේ මැණිකෙ මට ඔයා ගැන බයයි” කියල. ඊට පස්සෙ මං ඒ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඉඳන් ගාමන්ට් ෆැක්ටරියකට ගියා. ඒ අතරෙ තමයි තාත්ත නැති වුණේ. දැන් තාත්තගෙ දානෙ දෙන්ඩ ඕනැ. මාව විද්‍යා පීඨෙටත් තේරුණා. ඒත් පුහුණු කාලෙ පඩි හම්බවෙන හින්දයි මං ‍ෙම් රස්සාවට ආවෙ, මගෙ අම්ම මට පණටත් වඩා ආදරෙයි මැඩම්. අම්ම කියනව “අනේ මැණිකෙ මට ඔයා ගෙදරින් පිටවෙලා යන දවසක දෙන්ඩ කිසි දෙයක් ඉතුරුවෙලා නෑ කියල. ඇයි තාත්තට වියදම් කරලයි, මරණෙට වියදම් වෙලයි ඔක්කොම නැති වුණානෙ මැඩම්’

‘ඉතින් ළමයො ඔයා මේ අහන්ඩ! තනියම පරිස්සමට හදලා ලොකු කරල රස්සාවක් කරන තැනකට ගෙනත් තියෙන්නෙ අම්මනේ. ඒ මදිද දරුවො? මං කියන්ඩද වැඩක්. අම්මට කියන්ඩ ඔයාට කන්ඩ දේකුත් හදාගෙන ඔයා බලන්ඩ එන්ඩ කියල. එතකොට අපිටත් පුළුවන්නෙ ඔයාගෙ හොඳ අම්මව බලාගන්ඩ!’


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »