වතුසුදු මල

2017-11-28 10:11:00       81
feature-top
සුදු පැහැති පෙති පහින් යුත් සුවඳ හමන මල් වර්ගයක් ඉස්සර අපේ ගෙවතුවල තිබිණ. ඒ වර්ගයේ ම පෙති රැසකින් යුතු තවත් මල් වර්ගයක් ද විය. පත් තද කොළ පැහැති විය. කඳ බිඳ ලූ විට කිරි වැගිරිණ.
අපි ඒවාට වතු සුද්ද යැයි කීමු. ඒ අවුරුදු හැට හැත්තෑවකට පෙර ය.

අවුරුදු තිහ හතළිහකට පෙර ගම්මැද්ද අරග්ගත් වතු සුද්ද වර්ගයක් ද විය. ගස අඩි හයක්, හතක් උසට වැඩිණ. අතු පතර මහ පෙදෙසක් වසා පැතිරිණ. උදේ හවා මල් පිපිණ. උදේ මල් වට්ටියක් නෙළා ගත් ගසින් හවස දෙකක් නෙළා ගත හැකි විය. හැබැයි කිසි සුවඳක් නොවී ය.

ඒ කාලේ සැදැහැවත්තු මේවා බුදු පුදට නොගත් හ. ඔවුන් බුදු පුදට ගත්තේ සුවඳ වතු සුද්ද පොකුරු, සිංහල ඉද්ද, සමන්, දෑසමන්, ගැටපිච්ච ආදිය ය.
අද මේ කිසි ම සුවඳක් නැති වතු සුද්ද ගමේ ද නගරයේ ද ප්‍රචලිත ය. සිරුරට අහිතකර විකිරණ බලයක් ඇති ආක්‍රමණික ශාකයක් ලෙස කලකට ඉහත පිළිකෙව් කෙරුණේ ද මෙය ම ය.
පන්සල් යන ජනී ජනයා අතර මේ පුෂ්පයට ඇති ඉල්ලුම සලකා බැලූ මම අප නිවෙස කරා පිවිසෙන මඟ දෙපස ඉන් අතු කැබැලි දෙසිය පනහක් පමණ සිටුවීමි.
දැන් මඟ දෙපස එක ම මල් යායකි.
යුවතියෝ දහ දොළොස් දෙනෙක් උදෑසන මේ යායේ සරති. සති අන්තයේ පාසල් දැරියෝ ද සරති.
ඒ මල් සුවඳක් නැති බව සැබෑ වුව ද ඔවුන් මල් නෙළනු ඈත තියා දකිද්දී හිතට සුවඳක් දැනෙයි.

මා යොවුන් කල මගේ නෙතු පැහැර ගත් රූමතියක් ගමේ වූවා ය. දැන් ඇය වැඩිහිටි උන්දෑකෙනෙකි. ඇය ද මේ වතු සුදු යායේ සරන්නියකි.
‘සුවඳක් නැති මේ මල්වලට ඇයි ඔච්චර කැමති?’ මම ඇගෙන් ඇසුවෙමි.
‘මේකයි අයියෙ, හුඟ දෙනෙක් යමක් කරන කොට අනිත් අයත් තේරුමක් ඇතුව හරි නැතුව හරි ඒක කරනවනෙ. නොකර ඉන්න කෙනා කොන් වෙනවනෙ.’
‘ඉතින්?’
‘පාට සුවඳ කොයික වුණත් මේකත් මලක්නෙ. ඒ තියා මේකෙන් කියල දෙනවනේ අනිත්‍යය පිළිබඳ පාඩමකුත්. ඔයා අහල තියනවනේ මේ ගාථාව.’ ඇය ‘පූජේමි බුද්ධං’ ගාථාව ගැයුවා ය.
‘සාධු! සාධු!’ යි මම කීමි.
‘විහිළුවට ගන්න එපා අයියෙ. ඒක අපේ ඇදහීම’
‘ඇදහීම විහිළුවට ගත්තෙ නෑ. මං අහන්නෙ “මේ සුවඳක් නැති මලකට ඇයි මෙච්චර ආසාවක්?” කියලයි.
‘මේ බලන්න! පෙති පහයි. ඒකෙන් පෙන්නන්නෙ ඉන්ද්‍රිය පංචකය. හැම පෙත්තක ම කෙළවරේ අවකාශයට විහිදුණු ඇන්ටෙනාවක් තියනව.’
‘ඒක මොකක්ද?’
‘ඒක තමයි අනන්ත අපරිමිතභාවය ගැන කියාදෙන සංකේතය! අයිය කිව්වෙ ඇත්ත! සුවඳත් නෑ. පාටත් නෑ තමයි. ඒත් බලන්න සංසාරෙ ගැන කියන්න මීට වඩා දෙයක් තියනවද? දළදා මාලිගාව ළඟදි වට්ටියක් සීයට දෙන්න බැරිද? බෑ! ගන්නෙ නෑ. එතන විකිණෙන්නෙ සමන්පිච්ච, නෙළුම් වගේ සමාජය පිළිගත්තු වටිනාකමක් තියන මල් තමයි’

‘මම මිථ්‍යා දෘෂ්ටික අදහසක් කිව්ව නම් සමාවෙන්න’
‘අනේ නෑ. අයිය ඔහොම ඒව ද මට කියල තියෙන්නෙ. අයිය කියපු ඒවට මගෙ හිත චුට්ටක්වත් රිදුණෙ නෑ. අයිය වුණත් මේ මල් කොයි තරම් විතර වවල තියනවද ගෙට යන පාර දෙපැත්තෙ. මොකක් හරි වටිනාකමක් දැනිලනෙ අයියටත් වවන්න හිතෙන්න ඇත්තෙ.’
මම නිහඬ වීමි.
සුවඳ නැති වතුසුදුමල ගමේ සමගියක් හා අසමගියක් වගා කර ඇති බව කිව යුතු ය.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »