පසු පෙළ දරුවා

2017-11-13 10:32:00       118
feature-top
අප පාසලේ ජයසීලි ගුරු මහත්මිය වසර අවසානයේ සිය ගුරු දිවියෙන් සමු ගැනීමට නියමිතව සිටියා ය.
එක ළඟ පිහිටි, එක ම වසරේ සමාන්තර පන්ති දෙකක වැඩ කිරීම හේතුවෙන් ඇයත් මාත් අතර ගොඩ නැඟී තිබුණේ බෙහෙවින් සමීප මිතු දමකි. අප දෙදෙනා නිරන්තරව සටහන්, උපකරණ, පොත්පත් ආදිය හුවමාරු කර ගත් නිසා රාජකාරි වශයෙන් ද කිට්ටු සබැඳියාවක් ඇති වී තිබිණ.
එහෙයින් ඇය විශ්‍රාම ගිය පසු පාළුවක් දැනෙනු ඇතැයි සිතා මම දුක් වීමි. ඇය නොමැතිව රාජකාරි කිරීම ද අපහසුවක් වනු ඇතැයි සිතිණ. එසේ වුවද, ගුරු දිවියට සමු දෙන්නට කඩිමුඩියේ ම සූදානම් වන ඇයට උදව් කිරීම මගේ යුතුකම මෙන් ම සතුට ද විය.
ඇය ළෙන්ගතුව මා ඇමතුවේ එවන් මොහොතක ය.
‘නිශා, මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනැ’
‘‍මොකක්ද ජයසීලි මිස් ලොකු උදව්ව?’
‘අන්න අර දරුව දිහෑ බලන්න!’ ඇය සිය පන්තියේ පසු පෙළ කොනක හිඳ සිටි දරුවකු මට පෙන්නුවා ය.
‘ඔය තමයි සචින්ත. මගෙ පන්තියෙ ඉන්න අහිංසකම දරුව!’
‘ඒක ඇත්ත. ඉන්නෙත් දු‍කෙන් වගේ’
‘ඔය දරුවගෙ ගෙදර ජීවිතේ හරිම කරදරකාරියි. ඒ හින්දයි ඔය දරුව නිතර ම දුකෙන් ඉන්නෙ’
‘මිස්ලගෙ ගෙවල් පැත්තෙ ද?’
‘නෑ. ඒත් මං දන්නව. මං ඔයාට ඒ විස්තර පස්සෙ කියන්නංකො.’
‘පව් නේද?’
‘හරි ම පවක් තමා ඒ ගෙදර ළමයි රෑට ගෙවන්නෙ. ඒ ළමය හැමදා ම උදේට මා ළඟට ඇවිත් රෑ දුකෙන් ගතකරපු හැටි කියනව. මාත් ඉතිං අහගෙන ඉන්නව. “මට ඔය කතා ඕනැ නෑ. ගිහිං වාඩි වෙනව” කියල මං කවදාවත් ඔය ළමයව එළවන්නෙ නෑ. තාත්ත ගෙදර ආවට පස්සෙ හැංගිල හිටිය හැටි, අම්ම අඬපු හැටි, අක්කයි, අයියයි, පොඩි අක්කයි කරපු දේවල් එහෙම කියනව. හිතේ දුක කාට හරි කියන එක හොඳයිනෙ. ඉතිං මං ඒ ළමය කියන දේවල් අහගෙන ඉඳල අන්ති‍මේදි ‘උදේට කෑවද පුතේ?’ කියල අහනව. ‘නෑ’ කිව්වොත් කැන්ටිමෙන් මොනව හරි කන්න සල්ලි ටිකකුත් දෙනව.’
මට දුක සිතිණ.
ඇය දිගට ම කතා කරගෙන ගියා ය.
‘මේ අවුරුද්දෙ මුලදිනෙ මං මේ පන්තිය බාර ගත්තෙ. ළමයි හොඳයි. වැඩ කරන්න කැමතියි. මාසයක් විතර ඔහොම වැඩකරගෙන යනකොට, මං දවසක් පන්තියට කිව්ව, “ඊළඟ දවසෙ එනකොට හැමෝම ‘ගෙදර’ ගැන ලස්සන රචනාවක් ලියාගෙන එන්න” කියල. ඉතින් ළමයි ලියාගෙනත් ආව. හැම ළමය ම වගේ ලියල තිබුණෙ තමන්ගෙ ගෙදර හොඳයි කියල. ඒත් ඔය සචින්ත ළමය ලියපු රචනාව කියවපුහ ම මට ලොකු දුකක් ඇති වුණ. පහුවදා මං ඒ දරුවට කතා කරල ‘පුතා ඔයාගෙ රචනාව හුඟක් හොඳයි. ඒකෙ මං ලකුණු කරල තියන අඩුපාඩු හදාගෙන වෙන කොළේක ලියා ගෙන එන්න පුළුවන් නේද?’ කියල ඇහුව. එයා ‘පුළුවන්’ කියල ඒක අරගෙන ගිහිං පහුවදා අලුත් රචනාවක් ලියල ගෙනත් දුන්න. ඒකෙ වමේ ඉරි ගහල ලස්සන කරලත් තිබුණ. ඒක මං ගාව තියනව. මං පස්සෙ ඔයාට දෙන්නංකො’
‘ඒක කියවන්න මටත් ආසයි’ මම කීමි.
‘ඔයා දන්නවද අද උදේ මං ආපු හැටියෙ ඔය ළමය මං ළඟට ඇවිත්, “මිස් ආයෙත් මේ ඉස්කෝලෙ එන්නෙ නැද්ද?” කියල ඇහුව. මං එතකොට හිතුව මේ දරුවට ඔයාව හඳුන්වල දෙන්න ඕනැ කියල.’
‘එහෙනං එහෙම කරන්නකො’
ඇය සචින්තට එන්නැයි කීවා ය. ඔහු වහා ම අප ඉදිරියට ආවේ ය.
‘සචින්ත, මං ලබන වාරෙ එන්නැති බව දන්නවනෙ. ඒ හින්ද ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ හැමදාම උදේට මේ මිස් ළඟට ඇවිත් අහන්න තියන පාඩමක්, ගණනක් අහගන්න. නැත්නම් මිස්ට කතා කරන්නකො. මේ මිස් හරි ම කරුණාවන්තයි.’
‘හොඳයි මිස්’ කියමින් දරුවා අහිංසකව ම’දෙස බැලුවේ ය.
‘ඔව් පුතේ, මං ඔයාගෙ පන්තියෙ නොවුණට කමක් නෑ. මං ඉන්න පන්තියට ඇවිත් කතාකරන්නකො.’ මම කීමි.
ඔහු යාන්තම් හිනා වී හිස සෙලෙව්වේ ය.
පාසල් වාරය අවසන් වූයේ ඊට දෙදිනකට පසුව ය. ජයසීලි ගුරු මහත්මිය ගේ සමුගැනීමට අදාළ උත්සවය ද එදිනට යෙදී තිබුණේ ය.
එදින උදේ මවෙත පැමිණි ඇය පරණ ලියුම් කවරයක් මට දුන්නා ය.
‘නිශා, මේකෙ තමයි සචින්තගෙ රචනාව තියෙන්නෙ. ඔයා මේක නිස්කලංක වෙලාවක කියවල බලන්නකො. හැබැයි ඔයා ළඟ ම තියා ගන්න. ඔය ළමය දෙවැනි වතාවට රචනාව ලස්සනට ලියල ගෙනත් දුන්නු වෙලේ මං පුංචි තෑග්ගකුත් දුන්න. දරුව හරි සන්තෝස වුණා. අනේ නිශා මගෙ පන්තියට අලුත් ටීචර් කෙනෙක් ආවොත් “මේ ළමයට අනුකම්පා කරන්න” කියල එයාට කියන්න!’
‘හොඳයි’ කී මම ඈ දුන් ලියුම් කවරය මගේ බෑගය තුළ තැන්පත් කර ගතිමි.
එදින රැයේ ගෙදර වැඩ නිමා වූ පසු මම ඒ ලියුම් කවරය තුළ තිබූ සචින්ත ගේ රචනාව දිගහැර කියැවීමි.
මේ ඔබ ද කියවන්නේ එයයි.
“අපේ ගෙදර ටිකක් පුංචියි. එය තියෙන්නෙ ඉස්කෝලෙට තරමක් ඈතින්. වම් පැත්තෙ පාර අයිනෙමයි. ගෙදර මිදුලෙ අයිනක ලොකු අඹ ගහක් තියනවා. අම්මයි, තාත්තයි, අයියයි, අක්කල දෙන්නයි, මමයි, මල්ලියි, පොඩි නංගියි අපේ ගෙදර ඉන්නවා. මම මල්ලිටයි නංගිටයි ගහන්නෙ නෑ. නිවාඩු දවස්වල අපි තුන් දෙනා එකට සෙල්ලම් කරන්නෙත් ගෙදරදිමයි. ඉස්කෝලෙ දවස්වල උදේට අපේ ගෙදර හරි හොඳයි. අයියයි, පොඩි අක්කයි, මල්ලියි, නංගියි, මමයි උදේ ම ලෑස්තිවෙලා අම්මටයි තාත්තටයි වැඳලා ඉස්කෝලෙ යනවා. මේ අවුරුද්දෙ ඉස්කෝලෙ දාපු පොඩි නංගි උදේට අඬන දාට අම්මත් නංගි අතින් අල්ලගෙන අපිත් එක්ක එනවා.
දවල්ට අම්මයි, ලොකු අක්කයි පොඩි ඇඳුම් මහනවා. අක්කා තමයි ඒවට මල් මහල ලස්සන කරන්නෙ. අම්මා ඒ ඇඳුම් සෙනසුරාදා පොළට ගෙනියල විකුණල ගෙදරට වඩු ගේනවා. අපට ලියන පොත් එහෙම ගෙනත් දෙන්නෙත් එදාමටයි.
ලොකු අක්කා අපේ ගෙදර මිදුලෙ මල්වවල තියනවා. අපි ගෙදර වැඩ කරන්නෙ ගෙදර ඇවිත් කාලා ඉවරවුණු හැටියෙමයි. ඒ රෑට ඒව කර ගන්න බැරි වෙන නිසයි. හවස් වෙනකොට අපි මල්වලට වතුර දානවා. එතකොට මිදුලෙ කොනක තියන සේපාලිකා ගහේ මල් පිපිලා සුවඳත් එනවා. ඒ සුවඳ හොඳට දැනෙන වෙලාවෙ තමයි අපි හවස තේ බොන්නෙ. ඒ අතරෙ අම්මයි අක්කයි ඉක්මනට රෑට කන්න දෙයක් හදා ගන්නවා. ඒ වෙලාවටත් මං ආස ඒ සුවඳ දැනෙනවා.
හැන්දෑවෙ හය පහුවුණු වෙලාවෙ ඉඳල අපේ හිතට දැනෙන්නෙ ලොකු බයක්. තාත්ත කොයිවෙලේ කෑ ගහගෙන එයිද කියල තමයි බය දැනෙන්නෙ. තාත්ත ආව වෙලාවෙ ඉඳල ගෙදර හැමෝට ම බණිනවා. අම්ම තේ හදල ගෙනාවම බොන්නෙත් නෑ. කෝප්පෙ පොළොවෙ ගහනවා. ඊළඟට වැරැද්දක් නැතත් අම්මට ගහනවා. බේර ගන්ඩ යන අයියටත් ගහනවා. එහෙම ගහපු දවසක මමයි නංගියි මල්ලියි ‘අනේ තාත්තේ අපේ අම්මට ගහන්න එපා!’ කියල අඬ අඬා කෑගැහුවා. තාත්ත ඒ වෙලාවෙ අපට රවල ‘උඹලත් ගුටි කන්නෙ නැතුව පලයල්ල අහකට!’ කියල කෑගහල කිව්වා. ඉතින් අපි තුන්දෙනා ම අඬ අඬා කාමරේට දුවගෙන ආවා. එදා ඉඳල අපි තුන්දෙනා තාත්තා එන වෙලාවට කාමරේ ඇඳක ගුළිවෙලා ඉන්නවා. අම්මා අඬන සද්දෙ ඇහෙනකොට අපිත් අඬනවා.
ඔය අතරෙ ම ලොකු අක්කා අපට බත් බෙදල ගෙනත් දෙනවා. අම්මගෙ බත් පිඟානත් කාමරේට ගෙනත් හංගනවා. මල්ලියි, මායි කාල ඉවරවෙලා බයෙන් බයෙන් කුස්සියට ගිහින් වතුර බීල පිඟාන හෝදල තියන එනවා. අනේ, පොඩි නංගිට නං සමහරදාට කන්නෙ නැතුව ම අඬල අඬල නින්ද යනවා. අම්මයි, අක්කලයි, අයියයි එක්ක අපි සන්තෝසෙන් දවල්ට කෑවට රෑට නං ඒ ගොල්ලො කොයි වෙලාවෙ කනවද කියල අපි දන්නෙ නෑ.
අපේ තාත්ත උදේට යනව වගේ වැඩ ඇරුණට පස්සෙ ඇස් රතුවෙනකල් බොන්නෙ නැතුව ගෙදර එනව නම් රෑටත් අපිට අඬ අඬා ඉන්නෙ නැතුව සන්තෝසෙන් ඉන්න පුළුවන්. රෑ කෑමත් අපට එකතු වෙලා හරිම සන්තෝසෙන් කන්න පුළුවන්. එතකොට සේපාලිකා මල් සුවඳත් ගෙට එන නිසා ගෙදර සුවඳින් පිරේවි. දැන්නම් එහෙම සුවඳක් දැනෙන්නෙ හවස අපි තේ බොන වෙලාවට විතරයි. ඉතින් දැන් නම් මං අපේ ගෙදරට කැමති උදේටයි, හවසටයි විතරයි. රෑට තාත්ත එන වෙලාවට මං අපේ ගෙදරට ආස නෑ. ඒ වෙලාවට මට හිතෙන්නෙ හවස් වෙනකල් ඉන්න විතරක් ගෙදරක් තිබුණ ම ඇති කියල. අපේ පවුලෙ හැම දෙනාට ම අපේ ගෙදරදි සන්තෝසෙන් විනෝදෙන් හැමදා ම රැය ගත කරන්න දෙවි පිහිටෙන් පුළුවන් වේවා!”
රචනාව ඒ පැතුමෙන් අවසන් විය. මෙය මසිතෙහි ඇති කළේ බලවත් වේදනාවකි. මේ වන විටත් සචින්ත දරුවා ගෙදර කාමරයේ හැංගී අඬනවා ඇතැ යි මට සිතිණි.
නිවාඩුව අවසන්ව, පාසල ඇරඹුණු පසු සචින්ත පාසලට පැමිණ සිටින හැම උදයක ම ඔහුට කතා කර හිත සනසන්නට මම තීරණය කළෙමි.
කොළොන්නාවේ, විශ්‍රාම ලත් ආචාරිනි, මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »