අපි 'ශ්‍රී ලංකන්'

2017-11-07 10:28:00       96
feature-top
අපේ මුල් ම දරුවා බිහි කරනු පිණිස මා පියඹ කොළඹ ද සොයිසා මාතෘ නිවාසයට ඇතුළත් කැරුණු දිනට පසු දින ඇය බැලීමට යනු පිණිස දොරටුව ඇරෙන තෙක් මම එතැන පාර අයිනේ රැඳී සිටියෙමි.
ඥාතීනට සිය ප්‍රියයන් හමුවනු සඳහා ඉස්පාසුවක් නොවුව ද දොරටුව විවර වීමට තවත් මොහොතක් රැඳී සිටිය යුතු විය.
මම වට පිට බැලුවෙමි.
මට යාබද තැනෙක සිටි කළුවට හුරු තරුණයකු එහි සිටි පිරිසට යමක් පැහැදිලි කරනු මට පෙනිණ.
“ඇයි අපිට මෙහෙම කරන්නෙ. අපි ටැමිල් හින්ද ද? හැබැයි අපි ශ්‍රී ලංකන් ටැමිල්” ඔහු කීවේ හැඬුම් ස්වරයෙනි.
ගොළුව ගත් වනම සිටි පිරිසෙහි මුහුණු මුකුලිත වී යනු ද මට පෙනිණ.
මගේ කුහුල වැඩි විය. මම ඔහු ළඟට ගියෙමි.
“මොකක්ද මල්ලි ප්‍රශ්නෙ?” මට ඇසිණ.
“ප්‍රශ්නෙ මේකනේ අයියෙ. මේ බලන්ඩ!” ඔහු ලියැවිල්ලක් පෙන්වීය.
“මේ බලන්ඩ! මේක මගෙ දරුවගෙ උප්පැන්නෙ. ඒක මුලින් ලියල තිබුණෙ දෙමළෙන්. ඒක මට සිංහලට දාගන්ඩ ඕනෑ වුණා. ඒ හින්ද දවසක් මම මෙහෙ ඇවිල්ල රුපියල් 500 ක් බැන්ද. එන්ඩ කියපු දවසෙ ඇවිත් උප්පැන්නෙ අරගෙන ගෙදර ගියා. ගිහිං බැලින්නං නමේ කෑල්ලක් වැරදියටනෙ ලියල තියෙන්නෙ. මං ඇවිත් ඒක වැරදියි හරියට හදා දෙන්ඩ කියල කිව්ව. තව 500 ක් බැඳල යන්ඩ කිව්ව. මං දෙවැනි සැරේටත් 500 ක් බැඳල ගියා. කියපු දවසෙ ඇවිත් ඒක අරගෙන ගෙදර ගියා. ඒ ගිහිල්ල බැලින්නං ඒ ගමනත් නමේ කෑල්ලක් වැරදියිනෙ. ඒකත් අරං මේ අද ආවෙ. මේ පාරත් 500 ක් බඳින්ඩ වෙයි. කමක් නෑ ඒකත් කරනව. මොකද මට මගෙ දරුවගෙ නම වටිනව.”
ඒ ඇසූ මසිත ද කම්පා විය.
ඔහුගේ නෙතු පොඟවමින් තිබිණ.
“මල්ලිගෙ රස්සාව මොකක්ද? කොහෙද ඔයා ඉන්නෙ? මම ඇසීමි.
“මං මැනිං මාකට් එකේ තමයි රස්සාව කරං මගෙ පවුල ජීවත් කරවන්නෙ.”
“ඇයි මල්ලි උප්පැන්නෙ සිංහලට හරවන්නෙ? ඔයා දෙමළ නං දරුවගෙ උප්පැන්නෙ දෙමළෙන් තිබිච්චම මොකද? ඒක නේද වටින්නෙ?”
“මට ඉන්නෙ දුවක් අයියෙ. ඉස්සරහට මොන මොනව වෙයිද දන්නෙ නෑනෙ. දුවගෙ උප්පැන්නෙ දෙමළෙන් තිබුණොත් කරදර වෙයි කියල හිතෙනව. ඒක සිංහලෙන් තියන එක එයාට හොඳයි.
.... මං කොළඹ බජාර් එකේ හැප්පෙන එකා. මට කොයි වෙලේ මොනව වෙයිද කියන්ඩ බෑ. මගෙ දරුව ව කවද හරි අමාරුවෙ වැටෙන එකෙන් බේරල තියන එක මගෙ වැඩක්නෙ.”
මම ගොළු වීමි.
සැකයේ බිහිසුණුකම මට දැනිණ. භීෂණයේ කෲරත්වය, මර ළතෝනි ඇසෙන්නාක් මෙන් විය. මහත්වරුන් ගෙවල් තුළ සැඟවුණු පාදඩයන් පාරේ රජවුණු අතීත සෙවණැලිවලින් මසිත වැසී ගියේ ය.
මට ඔහුගේ මුහුණ දෙස කෙළින් බැලිය නොහැකි ලැජ්ජාවක් ඇති විය. මම බිම බලා ගතිමි. එහෙත් එසේ ද සිටිය ‍නොහැකි විය. මා යළි ඔහු දෙස බැලුවේ වරදක් කළ අයකු සේ ය. ඔහු මගේ හැඟීම් නිරීක්ෂණය කරමින් සිට ඇති බව මට හැඟුණේ එවිට ය.
“අයියෙ, ඇයි අපිට මෙහෙම ‍කරන්නෙ? අපි දෙමළ හින්දද? අපි නිකංම නිකං දෙමළ නෙවේ. ශ්‍රී ලංකන් ටැමිල්! ශ්‍රී ලංකන් ටැමිල්!”
මගේ පපුව කඩාගෙන ගියේ ය.
 
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති
සිළුමිණ පාඨකයකු විසින් හෙළි කරන ලද
සිද්ධියක් ඇසු­ෙරනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »