දිවි ගමන

2017-11-01 11:46:00       62
feature-top
හෙද නේවාසිකාගාරයේ රැඳී සේවාව කරමින් සිටි ඇය ගමේ ගියේ මාසයකට වරක් වුව ද ඒ විශේෂ සති අන්තයේ නම් ඇයට ගමේ යෑමේ තද වුවමනාවක් තිබිණ.
ඒ වූකලි නෑ සොයුරියක ගේ චාම් උත්සවයකි. නෑ සොයුරියට තිළිණ කරනු පිණිස ඇය රන් අරුංගල් ජෝඩුවක් ද මිල දී ගෙන සිය ඇඳුම් බෑගයේ සුරක්ෂිතව තබා තිබිණ.
සිකුරාදා රාජකාරිය නිම කළ ඇය සැහැල්ලු ඇඳුමකින් සැරසී ඇඳුම් බෑගයත්, අත් බෑගයත් රැගෙන දුම්රිය පොළට ගියා ය.
සති අන්තයේ බදුලු දුම්රිය කොහොමත් මගීන් ගෙන් පිරී පවතී. එදින ද එසේ විය. ඇයට එය හුරු ය. මගීන් අතරින් තෙරපී මැදිරිය තුළට ගිය ඇය සිය ඇඳුම් බෑගය එහි රාක්කයේ ඉඩ තිබූ තැනක රඳවා එතැන ම හිට ගත්තා ය.
ටිකකින් දුම්රිය ගමන ඇරඹීය. එය නැවැත්තුවේ විශේෂ දුම්රිය ස්ථාන කිහිපයක පමණි. පැයක් පමණ ගිය තැන ඇය සිටි තැන වූ අසුනක් හිස් වූයෙන් ඇය එහි හිඳ ගත්තා ය.
ටිකකින් ඇයට නිදිමතක් දැනිණ. ඇය රාක්කය දෙස බැලුවා ය. ඇගේ ඇඳුම් බෑගය එතැන ම තිබිණි. උකුළෙහි තිබූ අත් බෑගයේ පටි දෑතෙහි පටලවා ගත් ඇය නින්දට ඉඩ දුන්නා ය.
ඇයට නින්ද ගියේ ය.
දිගු නින්දකින් අවදිවන විට ඇය සිය ගමනාන්තයට ළංව සිටියා ය. නැගිට ඇඳුම් බෑගය අතට ගත් ඇය දුම්රිය නැවැත්වූ සැණ ඉන් බැස ගත්තා ය.
ගෙදර ඇත්තෝ ඒ වන විටත් ඇය එන පෙර මඟ බලා සිටියහ. බෑග් දෙක තැබූ හැටියේ ම ඇය දිව ගියේ මුහුණකට සෝදා ගනු පිණිස ය. ඉන් ප්‍රාණවත් වූ ඇය ගෙදර අයට රසකැවිලි හා වෙනත් දේ දෙනු පිණිස ඉක්මන් ගමනින් පැමිණ ඇඳුම් බෑගය විවර කළා ය.
ඇගේ පමණක් නොව සෙස්සන්ගේ ද ඇස් උඩ ගියේ එවිට ය. එතුළ වූයේ පිරිමි ඇඳුම් වගයකි.
වහා බෑගය වසා දැමූ ඇය එය හරව හරවා නිරීක්ෂණය කළාය. එය තමාගේ ම බෑගය බව ඇයට සහතික විය.
‘මොකද දෙයියනේ මේ වුණේ? පිරිමියෙකු ගෙ ඇඳුම් කොහොමද මේකට ආවෙ?’ ඇය මහත් කුතුහලයෙන් යළි යළිත් ඇඳුම් පිරික්සා බැලුවා ය.
සිදු වී ඇත්තේ වැරැද්දක් බව ඇයට අවසානයේ පසක් විය. එසේ වූයේ ඇයි දැයි ඇය දහ අතේ කල්පනා කළා ය. අසුනේ හිඳ ගත් පසු තමන්ට නින්ද ගිය හැටිත්, අවදි වූ වහා ම රාක්කයේ තිබූ ඇඳුම් බෑගය ගෙන දුම්රියෙන් බැස ගත් හැටිත් ඇයට සිහිපත් විය.
ඇය බලවත් සේ ශෝක වූයේ අර නෑ සොහොයුරියට ගෙනා රන් අරුංගල් ජෝඩුව නැති වීම ගැන ය. තමා එය මිල දී ගත්තේ ජීවිතයේ වටිනා අවස්ථාවක වටිනා දෙයක් දිය යුතු නිසා ය.
ඒ සති අන්තය ගෙවී ගියේ මූසල අයුරිනි. ඇගේ හිත හිරිවැටුණාක් මෙන් විය. තමාගේ ඇඳුම් ද වත්සුණු ආදිය ද ගෙදර අයට ගෙනා දේ ද අකැමැත්තෙන් හෝ අමතක කර දැමිය හැකි වුව ද අර රන් අරුංගල් ජෝඩුව නම් ඇයට කිසිසේත් අමතක කර දැමිය නොහැකි විය.
දිනක් පුංචි නැඟණිය කලබලයෙන් ඇය සොයා දිව ආවා ය.
‘ඇයි නංගි?’
‘අක්කෙ, ඔයා කැමති අර නළුව වගේ මහත්තයෙක් ඇවිල්ල ඔයාගෙ නම කියල මේ ගේ හරි ද කියල අහනව’
ඇය වහා ගේ දොරකඩට ආවා ය.
නැඟණිය කීවා හරියට හරි ය. ඔහු නම් තමා කැමති අර නළුවාගේ ම කපාපු පළුවකි.
ඇය ඔහු දෙස බලා සිටියේ විමතිය මුසු කුතුහලයෙනි.
‘මගෙ බෑග් එක දෙන්න!’ ඔහු කීවේ විධානය කරන්නාක් මෙනි. එසේ කියමින් ම ඔහු සියතෙහි වූ බෑගය ඇයට දිගු කළේ ය.
ඔහු විධානය කළේ රාජ්‍ය නිලධාරියකු සේ ය. ඇයට ඒ විධාන පුරුදු ය . එහෙත් මෙය සොඳුරු විධානයකි. ඇගේ දෙතොලට හිනාවක් නැගිණ. ඇය ඒ හිනාවෙන් යුතුව ම බෑගය සියතට ගත්තා ය.
බෑග් හුවමාරුව සිදු විය. ඇයට ඇගේ බෑගය ද ඔහුට ඔහුගේ බෑගය ද ලැබිණ.
‘මං කාගෙවත් බෑග් ගත්තෙ නෑ. මං ගත්තෙ ඉතුරුවෙලා තිබිච්ච මගෙ බෑග් එක’ ඇය නෝක්කාඩුවක් කීවාය.
‘හරි, මායි වැරැද්ද කරල තියෙන්නෙ. නින්ද ගිහිල්ල හිටිය මාත් අරං බැහැල තියෙන්නෙ වැරදි බෑග් එකක්’ ඔහු කීවේ ය.
දෙදෙනාට ම හිනා ගියේ ය.
හිනාවෙන් ම දෙදෙන සමුගත් හ.
ඇයට රන් අරංගල් ජෝඩුව ද සෙසු සියලු දේ ද ආපසු ලැබිණ. ඔහුට ඔහුගේ ඇඳුම් සියල්ල ලැබිණ.
මේ අහඹු හමුවීම සිදු වෙන තුරු ම ඔවුන් දෙදෙනා සිටියේ අවිවාහකව ය. අහඹු හමුවීම් මේසා සොඳුරු ද? අද මේ දෙදෙන දරුමල්ලන් සමඟ සතුටින් වෙසෙන ආදරණීය අඹු සැමි යුවළකි.
මේ අත්දැකීමට මුහුණ දී සිටින්නේ මගේ යෙහෙළියකි. මා මේ සිද්ධිය සිහිපත් කරන හැම වාරයේ ම ඇගේ මුහුණ පිපෙයි.
‘මට ඒ ගමන නං ජීවිතේ කිසිමදාක අමතක වෙන්නෙ නෑ’ ඇය කියයි.
එක ම වර්ගයේ එක ම හැඩයේ ඇඳුම් බෑග් දෙකකට දෙදෙනකු ගේ ජීවිතය ලස්සන කළ හැකි ය.
පොෙලාන්නරුවේ, පැරකුම් උයනේ, පියසීලි හෙංගෙදර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසු­ෙරනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »