නිර්වින්දනය

2017-10-16 11:05:00       38
feature-top
කඩවත නගරයෙන් අතුරු පාරකට හැරී මළ ගෙදරක ගිය මා ආපසු කඩවත නගරයට එන විට අඳුර වැටීමට ආසන්නව තිබිණ.
ගැටලුව ඇති වූයේ මෙවිට ය. කඩවත හරහා සතර දිග් භාගයට ම දුවන්නේ බස් ය. දිනපතා දුම්රියෙන් වැඩට යෑමට - ඒමට පුරුදු වි ඇති මට බස් ගමන තරම් අපුල දනවන්නක් තවත් නැත.
‘කඩවත කොහෙන්ද කෝච්චි?’ ඔයා එක්ස්ප්‍රස් බස් එකක නැගල නිට්ටඹුවට යන්ඩ! ඊට පස්සෙ ගමන ලේසියිනේ’ ම’මිතුරා උපදෙසක් දුන්නේ ය.
වෙලාවේ හැටියට හොඳ ම විකල්පය එය බැවින් මම බස් පොළට ගියෙමි.
එවිට ම වාගේ වේගයෙන් ආ බසයක් එතැන නැවැත්වී ය. එහි කැබිතිගොල්ලෑව කියා ලියා තිබිණ. මගීන් පිරී සිටිය ද තව කිහිප දෙනෙකුට නැග ගත හැකි බැවින් මම ද අමාරුවෙන් ඊට රිංගීමි.
කොන්දොස්තර ටිකට් පතක් දුන්නේ ය. මම එය කටින් හපාගෙන ම සෙනඟ අතරින් ඇතුළට ඇදුණෙමි. ඒ සමඟ ම මට පිටුපසින් ආ පීඩනයෙන් මා තවත් ඉදිරියට තල්ලු වී ගියේය.
ඈත ගමක විවාහ මංගල්ලෙකට ලවුස්පීකර් බැන්දාක් මෙන් මුළු බසය ම සංගීත සද්දයකින් ගිගුම් දෙමින් තිබිණ. කොහොමවත් අහගෙන ඉන්නට බැරි බාල ගී අදෝනාවක් මගේ දෙකන අගුලු වැටී ගියේ ය. මිනිසුන් මේ ශබ්දය දරාගෙන ඉවසා සිටීම පවා පුදුමයක් විය. මම බසයේ හිඳ සිටි මිනිසුන් හා ගැහැනුන් දෙස හැරී බැලුවෙමි. දුෂ්කර ජීවිතයකට හුරු වී ඇතැයි සිතිය හැකි ඔවුන් සිටියේ නිර්වින්දනය වූවා සේ ය.
ඒ අතර ඇතැම් අය ජංගම දුරකථනවලින් සෙල්ලම් කරමින් සිටියහ. තවත් අය මේ දෙකන් පසාරු වී යමින් තිබෙන ශබ්දය මැද්දේ ඉයර් ෆෝන් කනේ ගසාගෙන තවත් මොනවාදෝ අසමින් සිටියහ. තවත් යමකු සිටියේ දුරකථන සංවාදවල යෙදෙමිනි. ‘ඇහෙන්නෙ නෑ. හයියෙන් කියනවකෝ’ යි එබඳු කෙනෙක් කෑගසනු ඇසිණ. ඒත් ඔහුට ඇසුණේ නැත.
‘ඈ යෑ? මොකක්ද? මොකක්ද කීවෙ? ඇහෙන්නෙ නෑ’ යි යළිදු ඔහු මොරගෑවේ ය.
මොවුන් යමින් සිටියේ පැයක දෙකක ගමනක් නොවේ. මෙහෙව් පීඩාවක් ඔවුන් විඳ දරා ගන්නේ කෙසේ ද යන්න මට නම් හිතා නොගත හැකි විය.
මේ අතර මට පිටුපසින් සිටි මගියා කෙරෙන් නැගුණු පීඩනය දරා ගත නොහැකි ව මම යාන්තම් ඉඩක් හදාගෙන චුට්ටක් ඉස්සරහට ඇදුණෙමි. එවිට මා තවත් දෙපැත්තකින් හිරවිය. එක් පසෙක වූයේ මට පිටුපා හිර වී සිටි මහත තරුණයෙකි. අනිත් පසින් වූයේ අසුනක කොනකි. මගේ හිරවීම දරාගත නොහැකිව එහි හිඳ සිටි වැඩිහිටියා උරහිස්ස හකුළා ගෙන හිස පැත්තකට ඇල කර ගත්තේ ය. මට ඔහු කෙරෙහි ගෞරවයක් ඇති විය. මේ කළු කෙසඟ වියපත් සිරුර සිය ජීවිත කාලය පුරා මෙබඳු දුක් වේදනා හිරිහැර කොපමණ විඳ දරා ඇද්ද?
මෙවිටම මට පිටුපා සිටි තරුණයාගේ ඉණ පෙදෙස මගේ ඉණ පෙදෙසට කිටිකිටියේ හිර විය. මම අමාරුවෙන් හැරී ඒ මොකදැයි බැලුවෙමි. ඔහු තමාගේ පැත්තේ ඇති අසුනට බර වී ජංගම, දුරකථනයෙන් මොකක් දෝ කරයි. ඔහු එසේ සුව පහසුව හදා ගත් විට ඔහු ගේ ඉණ පෙදෙස ඔහු ගේ සීමාවෙන් මෙපිටට පැන මා හිර කරයි.
මම දැඟලුවෙමි. එහෙත් පලක් නොවී ය. මගේ දැඟලීමෙන් සිදු වූයේ මට හිර වී සිටි අර වැඩිහිටියා තවතවත් ස්වයං හැකිළීමකට ලක්වීම ය. එහෙයින් මම ඔහු ගැන උපන් අනුකම්පාවෙන් මගේ පීඩාව විඳ දරා ගෙන ඔහු බඳු ම තවත් විඳ දරා ගන්නකු බවට පත්වීමි.
හිටගෙන සිටින මගීන් මෙතරම් හිර වන්නේ ඇයිදැයි මම ඊළඟට සොයා බැලුවෙමි. අසුන් අතර සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමිතිගත ඉඩ මෙහි නැති බව මට පසක් වූයේ එවට ය. ඒ ඉඩෙහි ද අසුනක් සවිකර තිබේ. හැබැයි ඒ අසුන් ද පළලින් අඩු ය. එක පැත්තක මගීන් තිදෙනකු හිඳ සිටියේ එකෙකුට හිරවෙමිනි. අනිත් පැත්තේ මගීන් දෙදෙනා ද එසේම ය.
මේ අතර මට ඉදිරියෙන් හිටගෙන සිටි අතපය දිග යෞවනයාගේ දැඟලිල්ලේ ඉවරයක් නොවී ය. විටෙක ඔහු ‘පූස්’ ගා හුස්ම පිඹ උඩ බලයි. තව විටෙක හිස බිමට හරවා ගනී. ඊළඟ මොහොතේ අත් මාරු කරයි. වම් පසෙන් දකුණටත් දකුණු පසින් වමටත් බර මාරු කරයි. ඒ හැම විටෙක ම මට හිංසාවෙයි. රිදෙයි. බැරිම තැන මම ඔහු ගේ මුහුණ දෙස හැරී බැලුවෙමි. ඔහු තරහින් මෙන් මදෙස බලා ‘අංකල් කුරුණෑගලට යන්ඩ කොච්චර වෙලාවක් යයි දැ’යි ඇසුවේය. මම නොදන්නා බව අඟවමින් හිස සෙලවීමි. එකෙණෙහිම මර හඬ තළමින් තිබූ සින්දුව ඉවර නොවී තවත් සින්දුවකට පැන්නේ ය. යෞවනයා ඊට වශී වූවාක් මෙන් අසුන් කොනකට තට්ටු කරන්නට වූයේ ය.
හෝන් ගසාගෙන, හඬ තළාගෙන ඒ මේ අතර නටමින් වේගයෙන් ගිය බස් රිය හිටි හැටියේ තද වාහන තදබදයකට ලක් විය. අඳුරේ දිලිසෙමින් තිබූ ලයිට් වැල් කියා පෑවේ කානිවල් ගතියකි. පෙදෙස යක්කල ය. බසයේ හඬ තැළුම් සංගීතය පරයා කානිවල් සංගීතය නැගී ආවේ ය. හරියට මගීන් සිරමැදරියක ළා බාල ගී අස්සවා බරපතළ දඬුවමක් දෙන සේය.
මා ඉදිරිපිට සිටි යෞවනයාගේ දැඟලිල්ල දෙගුණ තෙගුණ විය. ඔහු මා තෙරපාගෙන කවුළුවලින් එබෙමින් කානිවල් සිරි විඳින්නට පටන් ගත්තේ අර ස්වයං හැකිළීමට ලක්ව සිටි වැඩිහිටි මගියා තව තවත් පහතට නමාගෙන ය.
සෙසු මගීන් මෙන් ම මම ද ඉවසා සිටියෙමි. ඉවසිල්ල මොන මෝඩ කමක්දැයි හිතෙන තරමට ම ඉවසුවෙමි. පුදුමයකි. කෙමෙන් මා ද නිර්වින්දනය විය. එවිට හිතට යම් ඉස්පාසුවක් ලැබිණ. අහා! මගීන් නිර්වින්දනය වීමේ රහස ‍මම සොයා ගතිමි.
මා නිර්වින්දනයෙන් මිදුණේ මට ඉදිරියෙන් ආ තල්ලුවෙනි. නිට්ටඹුවෙන් බසින මගී බලවේගය මා ඉදිරියට එන බව දුටු මම වහා ආපසු හැරී ඒ බලවේගයට ම හසු වී බිමට බැස ගතිමි.
මා මගී අයිතිවාසිකම් ගැන සිතාබැලිය හැකි තත්වයට පත්වූයේ බසයෙන් බැස ටික දුරක් ගිය විට ය. ඊළඟට මට අවශ්‍ය වූයේ ඒ ගැන හිතීමට නොව ඉක්මනින් ගෙදර යෑමට ය. මම ත්‍ර‍ිරෝද රියක නැගී කිලෝ මීටර් කිහිපයක් දුර ගොස් එතැන නවතා තිබූ මගේ යතුරු පැදියේ නැගී එහි වේගය වැඩි කළෙමි. දැන් මට වුවමනා වී ඇත්තේ දරුවන් නින්දට වැටීමට පෙර දැක ගැනීමට ය.
මම ඒ කල්පනාවෙන් යතුරු පැදියේ වේගය තවත් වැඩි කළෙමි.
අර කැබිතිගොල්ලෑව ලංගම බසයේ නැඟී යන මිනිසුන් තවමත් ඒ පීඩාවෙන් දැවි දැවී යනවා විය යුතු ය.
නිට්ටඹුවේ මහේෂ් සිරිවර්ධන මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසු­ෙරනි.


More News »