සතුටේ රහස


2017-09-19 12:10:00       33
feature-top
මහාචාර්යවරයා ගල්කොරිය ළඟ නැවතී එදෙස බලා සිටියේ ය.

කම්කරුවෝ එහි තැන තැන ගල්කඩමින් සිටිය හ.

ගල් කැබැලි මත පරිස්සමට අඩි තබා ඔවුන් වෙත ගිය මහාචාර්යවරයා පළමුවෙන් ම හමු වූ කම්කරුවා ළඟ නැවතුණේ ය.

කම්කරුවා ඉස්සූ මිටිය ආපසු ගල මත තබා කෙසෙල් දල්ලක් සේ සනීපයට හැදුණු වියපත් මහාචාර්යවරයා දෙස බැලුවේ ය.

‘ඇයි මහත්තය?’

‘මට උන්නැහෙගෙන් පොඩි කාරණයක් දැනගන්ඩ තියනව’

‘මොකක් ද?’

‘මුන්නැහේ ගල්කඩන්නෙ සතුටින් ද?’

කම්කරුවාගේ මුහුණ තවත් ඇකිළී ගියේ ය. ඔහු ගත් කටට ම පිළිතුරු බැන්දේ ය.

‘අත් දෙක හිරිවැටෙනකං උදේ ඉඳං හැන්දා වෙනකං කළු ගල් කඩනව. ඒ වුණාට ලැබෙන පනං අටෙං ජීවත් වෙන්ඩ අමාරුයි. ඉතිං කොහොම ද සතුටින් ඉන්නෙ?’

අනතුරුව මහාචාර්ය තෙමේ ගල් කොරියේ මැද කොටසේ වැඩ කරමින් සිටි තවකකු කරා ගොස් ඒ ප්‍රශ්නය ම ඇසුවේ ය.

‘මොන සතුටක් ද මහත්තයො? යන්තං නොමැරි ජීවත්වෙනව’ යි ඔහු පිළිතුරු දුන්නේ ය.

ඉනික්බිති මහාචාර්යවරයා කොරියේ කෙළවර මහ කළුගලක් හා ඔට්ටුවෙමින් සිටි තවත් මිනිසකු සොයා ගියේ ය.

ඔහු තමා ළඟ නැවතුණු අමුත්තා දෙස විමසිල්ලෙන් බැලුවේ ය. මහාචාර්යවරයා ඒ මුහුණෙහි සෙසු මුහුණුවලට වඩා ප්‍රබෝධයක් දුටුවේ ය.

‘මේ උන්නැහේනං ගල්කඩන්නෙ සතුටින් වගේ’ මහාචාර්යවරයාට කියැවිණ.

කම්කරුවාගේ මුහුණෙහි හිනාවක් ඇතිරී ගියේ ය.

“මං මේ කඩන ගල්වලින් වෙහෙර විහාර, පෙතිපිළිම, මහා මන්දිර හැදෙනවා. මංමාවත් හැදෙනව. පුංචි ගෙදරක උණත් අත්තිවාර ම හැදෙනව. ඒක මට ලොකු දෙයක්. ඒ හින්ද මං වැඩකරන්නෙ ලොකු සතුටකින්.” කී ඔහු මිටිය බිම තබා කරගැට පිරුණු සිය දෑත අමුත්තට පෑවේ ය.

මහාචාර්යවරයා සිය සියුමැලි ඇගිලි තුඩින් කම්කරුවාගේ රළු කරගැට අතගා බලා අනතුරුව නැමී ඒ දෑත සිප ගත්තේ ය.

More News »