උපන් දින තෑග්ග

2017-09-18 11:22:00       24
feature-top
කලකට පසු මගේ පාසල් මිතුරාත්, මාත් නගරයේ දී හමු‍වුණේ අහම්බෙනි.

එකෙණෙහි ම අපි පාසල් සමයට ගොස් පරණ රසවත් සිද්ධීන් මතක් කරමින් සිනාසීමු.

‘මචං, මට පොඩි බඩුවක් ගන්ඩ යන්ඩ තියනව. උඹත් වරෙන්කො’ ඔහු යෝජනා කළේ ය. මම ද ‘හා’ කීමි.

ඔහු මා කැඳවාගෙන ගියේ ෆෝන් ආකේඩ් එකකට ය.

ෆෝන් වර්ග කිහිපයක් පිරික්සා බැලූ හෙතෙ‍මේ අවසානයේ රුපියල් විසි දහසකට කිට්ටුව මිල වූ ටච් ‍ෆෝනයක් මිල දී ගත්තේ ය.

‘ෆෝන් එකකට ඇයි ඔච්චර ලොකු ගාණක් යට කළේ?’ වෙළෙඳසලෙන් එළියට එන ගමන් මම විමසීමි.

‘මේක මට නෙමේ මචං. මගෙ දූට තෑග්ගක්!’

‘දරුවකුට උපන් දින තෑග්ගක් දෙන එක ‍ෙහාඳයි. දෙන්ඩ ඔයිට වඩා සුදුසු දෙයක් නැද්ද? අනිත් එක තාම ඉස්කෝලෙ යන ළමයෙකුට?’

‘කෙල්ල ආසයිනෙ බං. මාස ගාණක් තිස්සේ නාහෙං අඬනව ටච් ෆෝන් එකක් ඕනැ කියල. යාළුවො හැමෝට ම තියනවලු. මේක දැක්ක ම කෙල්ල හුඟක් සන්තෝස වෙයි මචං’

‘හැබැයි පුතෝ ඉස්කෝලෙ යන ළමයින්ට ඕව එච්චර ගුණ නෑ. ඇහැ ගහගෙන ඉන්ඩ වෙයි’

‘පිස්සු ද මචං? අපේ ළමයි ‍එහෙම නෑ’

අපි සමුගෙන වෙන්වීමු.

මාස කිහිපයක් ගත විය.

වෙනත් වුවමනාවකට මම ඔහු ගේ ගම පැත්තට ගියෙමි. හදිසියේ ම මට ඔහු මතක් විය. මම ඔහු ගේ ‍ගේ සොයාගෙන ගියෙමි.

ඔහු ගේ මුහුණේ කලින් දා තිබූ හිනාව අතුරුදහන් ව තිබිණි. ගෙදර අය ද පිටතට නාහ. ගෙතුළින් හැඬුම් හඬක් ද ඇසිණ.

ඔහු මා කැඳවාගෙන පාර අයිනට ආවේ ය.

‘ප්‍රශ්නයක් ද?’

‘උඹ එදා කිව්ව හරි! අර ‍ෆෝන් එක හින්ද මාර අවුලක්නෙ වුණේ’

ඒ සමඟම හැඬුම් හඬ බලවත් වූ අතර ඊට බැණුම් හඬක් ද එක් විය. මිතුරා කෝපයෙන් ගේ දෙස බැලුවේ ය.

මා එතැන සිටීමෙන් ඔහු අපහසුවට පත් වන බව අවබෝධ කර ගත් මම ආපසු යෑමට අවසර ඉල්ලීමි.

‘මේ‍ වෙලාවෙ උඹ මාව දාල යන්ඩ එපා බං! මගෙ ඔළුව ගිනි අරං තියෙන්නෙ.’ කියමින් ඔහු මගේ යතුරු පැදියේ පිටුපසින් හිඳ ගත්තේ ය.

කතා නැතිව ම බයිසිකලය පදවාගෙන ගිය මම වෙල් යායක් ළඟ එය නතර කළෙමි.

‘මොකක්ද ප්‍රශ්නෙ?’ පිටුපස නොබලා ම ඇසීමි.

ඔහු ගෙදර ප්‍රශ්නය දිග හැරියේ ය.

ඒ ඇසූ ම සිත ගිනි ගත්තේ ය.

ප්‍රශ්නයට මුල අර ‍ෆෝන් එකම ය. ප්‍රශ්නයේ එක කෙළවරක ගැට ගැසී ඇත්තේ ඔහු ගේ දියණිය ය. අනිත් පැත්තේ ටියුෂන් ගුරුවරයා ය.

“... දිගින් දිගට ම මැසේජ් එන්ඩ පටන් අරන් තියනව. දවල් රෑ නැතුව එනවලු. කවුද එවන්නෙ කියල අහපුහම යාළුවො කියනවලු. මහ රෑත් මේක ඔබනවලු. පාන්දරත් ඒකෙ ම එල්ලිලලු.... ඉන් පස්සෙ තමයි මාත් එළවන්ඩ ගත්තෙ. එතකොට තමයි ටියුෂන් මාස්ටර්ව අහුවුණේ. පවුලෙනුත් වෙන්වෙලා ඉන්න වයසක හාදයෙක්. මොකක්ද මේ කරන විකාරෙ කියල අහපුහ ම ‘ළමයි සෙනෙහස තියන තැනට ළං වෙනව. මං‍ මොකද කරන්නෙ?’ කියල මිනිහ අහනව. මං බොහොම අමාරුවෙන් මාව පාලනය කරගෙන ආවෙ... මං මගෙ දුව මැදි කරල අනාගත මාලිගාවක් හද හදයි හිටියෙ. ඒ මාලිගාව බිමට ම සමතලා වුණා මචං’ ඔහු පොඩි දරුවකු සේ හඬන්නට තියා ගත්තේ ය.

මම නිහඬව සිටියෙමි. ඔහු හඬා අවසන් විය.

ඉනික්බිති ඔහු කිට්ටු ඥාතීන් දුන් උපදෙස් කිහිපයක් ගැන ද කීවේ ය. ඉන් බිහිසුණු එකක් වූයේ ගුරුවරයාගෙන් පළිගැනීම ය. අනිත් තීරණාත්මක උපදේශයක් වූයේ නීතිය හමුවට යෑම ය.

පළමු යෝජනාව නිරර්ථක ය. තවතවත් කරදර ඇති කරන්නකි. දෙවැන්න එවැන්නක් නොවූව ද ඉන් සිදුවන්නේ දරුවා සමාජයට හෙළිදරව් වීම ය. එමඟින් අනාගත බාධක මවා ගැනීම ය. හොඳ ම දේ හිත හදා ගැනීම ය. ආගමික වත් පිළිවෙත් මාර්ගයෙන් සිත් තැන්පත් කර ගැනීම ය.

මා කී දේ මිතුරා හිතට ගත් බව පෙනිණ. ගෙයි ගින්දර ගෙයි ම නිවා ගැනීම හොඳ යැයි ඔහු හිතුවා විය හැකි ය.

More News »