කෝඩු මාතා

2017-09-11 01:34:00       30
feature-top
වැඩ ඇරී දුම්රියෙන් යමින් සිටියෙමි. ම’මිතුරා අසුනක හිඳ සිටියේය. මම ඔහු ඉදිරියේ හිටගෙන, උඩ රාක්කය අල්ලාගෙන, ඔහු වෙතට නැමී ගෙන, දුම්රියේ හඬින් යටපත්වෙමින් තිබුණු ඔහු ගේ කතාව අසාගෙන සිටියෙමි.

අතර මැද දුම්රිය ස්ථානවලින් නැගුණු මගීන්ගෙන් මැදිරිය පිරී යනු මට දැනුණේ පිටුපසින් ලද තෙරපුමෙනි. තෙරපුම තරමක් අමාරු වන විට මම උරහිසට උඩින් පිටුපස බැලීමි. මගේ පිටටත් සෙසු මගීන්ටත් හිර වී සිටි කාන්තාවක් මගේ පිටට තට්ටු කර සිය අත්බෑගය රාක්කයේ තබන්නැයි ඉල්ලුවා ය. ඒ වනවිටත් රාක්කය පිරී තිබුණෙන් මම තරමක අමාරුවෙන් ඉඩ සලසාගෙන ඇගේ අත්බෑගය එතැන රැඳවීමි. ඇය තවත් බෑගයක් දුන්නා ය . වෑයමක් දරා මම එය ද රිංගුවෙමි.

මිතුරා නැවතත් කතාව පටන් ගත්තෙන් මම යළිත් ඔහු වෙත නැඹුරු වීමි.

යළි යළිත් තෙරපුම තද විය. මම පිටුපස බැලීමි.

‘දාඩිය දානව. ඔය ජනේලෙ අරින්ඩ බැරිද? ඉන්ඩ අමාරුයි!’ ඇය කියනු මට ඇසිණ.

මම කවුළුව දෙස බැලීමි. එහි යට පියන උස්සා තිබේ. වැසී ඇති උඩු පියනට උඩින් ඇති අඟලක පමණ තීරුව නම් ඇරිය හැකි ය. මම තවත් මගියකු ගේ සහයෝගයෙන් එහි දෙපස අගලු දෙක හැරීමට උත්සාහ කළෙමි. එහෙත් එය විවර නොවී ය.

මිතුරා යළිත් කතාවේ ඉතුරු හරිය පටන් ගත්තේ ය. මම නැවතත් මිතුරා වෙත නැමුණෙමි.

ටිකකින් අර කත සුසුම් හෙළන්නට වූවා ය. ඇගේ සුසුම් සැර මගේ පිටට වැදිණ.

ඇය මගේ පිටට බර වූයේ ඉන් පසු ය. ඒ වන විටත් කොන්ද නමාගෙන සිටි මට ඇගේ අමතර බර හිරිහැරයක් විය. මම හැකි තරම් ඉදිරියට නැමී ඇයට ඉඩ සැලසුවෙමි.

මගේ පිටට තරයේ තද වී ඇත්තේ ඇගේ උදරය බව මට වැටහුණේ පසුව ය.

ගනේමුල්ල දුම්රිය ස්ථානය කිට්ටු විය. සියසුනෙහි මට ඉඳ ගැනීමට සලස්වා මිතුරා නැගී සිටියේ ය. පීඩනයෙන් මිදීමට මම වහා අසුන් ගතිමි.

බැස යාමට මිතුරා සමුගත් හැටියේ ම මම අර කත දෙස බැලීමි. සාරියක් හැඳ සිටි ඇගේ තරුණ මුහුණ දාහයෙන් පෙඟී තිබිණ. ඊළඟට මටත් නොදැනී ම මගේ දෑස දිව ගියේ ඇගෙ උදරයට ය. ඒ දුටු වහා ම මගේ ඇඟ සීතල විය. ඇය නැවුම් ගැබිනියකි.

මම වහා නැගිට ඇයට අසුන පිරිනැමීමි. ඇය වහා එහි හිඳ සාරි පොටින් මුහුණ පිස දා ගත්තා ය. මෙවිට ම එතැන ම සිටි තවත් මගියෙක් නැගිට්ටේ ය. මම එතැන හිඳ ගතිමි.

මා ඈ දෙසත් ඈ මා දෙසත් බැලුවේ එකවර ය.

‘මගෙ ඇඟ පණ නැතුව ගියා. කලන්තෙ අල්ලන්ඩ වගේ ආව.’ ඇය කීවේ නෑ සිය හිත මිතුරකුට කියන්නාක් ‍බඳු විශ්වාසයකිනි.

‘ඇයි කලින් කිව්වෙ නැත්තෙ? මෙතන හිටියෙ මගෙ යාළුවනෙ. කලින් කිව්ව නං මං යාළුවගෙ සීට් එක ඉල්ලල දෙනවනෙ. අපරාදෙ!’ මම දුක්වීමි.

ඇය ලජ්ජාවෙන් සිනාසී උඩ බලා මගියකු අමතා රාක්කයේ වූ සිය ගමන්මලු දෙක ඉල්ලා ගත්තා ය. අනතුරුව ඉන් එකක් විවර කළ ඇය දිය බෝතලයක් ගෙන ‘ගුඩුස්’ හඬින් දිය බීවා ය.

අසුන ලැබීමෙනුත් බිව් දියෙන් නව පණක් ඒමෙනුත් ඇය මහත් සහනයක් ලද බව මට වැටහිණ. එය මට ද අස්වැසිල්ලක් විය. ඇගේ තත්වය තේරුම් ගෙන ඇයට පිහිටවීමට ලැබීම ද ම සිතට සතුටක් විය.

දුම්රිය ගම්පහ නතර කළ විට ඇය ම දෙස බැලුවා ය.

‘මම බහින්නං’ ඇය සමුගත්තා ය.

ඇගේ රුවත් මගේ බිරිය ගේ තරුණ කාලේ රුවත් සමාන බව මට සිතිණ. පළමු දරුවා ඇගේ කුසේ වැඩෙද්දී අප කෙතරම් හොඳින් ඇය රැක ගත්තා ද? සෙනෙහස දයාව පෑවා ද? වැඩට යන මෙවැනි මවුවරුනට ඒ රැකවරණය සැලසීම සමාජ යුතුකමක් නොවන්නේ ද?

More News »