සැඟවුණු රුව

2017-09-04 10:52:00       28
feature-top
මම කුඩා නගරයක ජන සමූහයා අතරින් යමින් සිටියෙමි.

මල්ලක් ද කර තබාගෙන හදිසියේ මතු වූ රුවක් මට අල්ලා නොගත හැකි වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණේය.

මට මතක් වූයේ එඩ්වින් අයියා ය. (සැබෑ නම නොවේ) ඔහු මෙපරිද්දෙන්ම සුදු සරමක් ද, සුදු අත් දිග කමිසයක් ද අඳින්නට පුරුදුව සිටියේය.

මොහොතකින් රුව නැතිවී ගියේය. එය අතුරුදන් වූයේ එඩ්වින් අයියා පිළිබඳ මසිත පතුලේ සදාකාලිකවම වළලා දමා තිබූ මතකය අකැමැත්තෙන් වුව ගොඩ දමමිනි.

දැන් මම ඒ කතාව කියමි.

ඒ ඌවේ රෝහලකි. එඩ්වින් අයියා එහි සනීපාරක්ෂක කම්කරුවකු ලෙස වැඩ කරමින් සිටියේය.

රටේ සමාජ දේශපාලන වාතාවරණය විකෘති විය. භීම කාලයක් පැමිණියේය.

දිවයිනම වසා ගත් ඒ භීම අඳුරින් ඌව ද වැසී ගියේය.

එතෙක් එහි ජනයාට සිදු ව තිබුණේ කුස ගින්දර නිවා ගන්නට හේන් හා ගැටෙන්නටය. දැන් කුස ගින්න කෙසේ වෙතත් පණ කෙන්ද රැක ගන්නට හේන්වලම සැඟව ගන්නට ඔවුනට සිදු විය.

දහවල සන්සුන්ව තිබුණේ සිදු වන්නේ කුමක්දැයි තේරුම් නොගත හැකි එක්තරා ගුප්ත ආකාරයකිනි. අඳුර වැටීමත් සමඟ බල්ලෝ බුරා වැටෙන්නට පටන් ගත්හ.

වාහන එන - යන හඬත්, වෙඩි හඬත් ඇසිණ.

උදෑසන එළිය වැටුණේ හන්දි ගාණේ, පාරවල් අයිනේ වැටී තිබුණු තරුණ මළ සිරුරු පෙන්වමිනි.

දහවලේ පොලිස් රිය ආවේය. ඒ පසුපසින් ට්‍රැක්ටරය ආවේය.

සිරුරු ට්‍රැක්ටර් ට්‍රේලරයට පැටවිණ. එය රෝහල් මෝචරිය පැත්තට ඇදුණේ මළසිරුරු කන්දක් ද උහුලාගෙන මහා දුක්බර හඬක් නඟමිනි.

දොස්තරවරයකු හෝ බලධාරියකු පෙනෙන්නට නොවූ රෝහලේ දැකිය හැකි වූ සජීව රූප දෙක වූයේ එඩ්වින් අයියාත්, ඔහුගේ සහායකයාත් පමණය.

මෝචරියේ මිනී කැපුම්වලට සහභාගිවී තිබූ එඩ්වින් අයියාට මළසිරුරු දැකීම එතරම් ප්‍රශ්නයක් නොවුවද මේ ළපටි, යොවුන් මළසිරුරු දුටු ඔහුගේ පපුව ‘හෝස්’ගා දා ගියේය.

‘මල්ලියෙ, බල බලා ඉඳල හරියන්නෙ නෑ බොල! මේව පිළිවෙළක් කරමු.’ එඩ්වින් අයියා මෝචරිය දොරකඩ ඒ මේ අත ඇදවී වැටී තිබුණු සිරුරු දෙසත්, බියපත් සහායකයාගේ මුහුණ දෙසත් බලමින් බර හඬින් කීවේය.

සගයා දෑස ලොකු කරගෙන බලා සිටියේ මෙතැනින් පලා යෑම යෙහෙකැයි අඟවන්නාක් මෙනි.

‘හිත හදා ගනිං මලේ! ගමේ ගිහිං මැරුං කනවට වැඩිය නාකද මෙතන වැඩක් කරගෙන පණ රැකගන්න එක?’

එඩ්වින් අයියා මළ සිරුරක හිස පැත්තෙන් ඉස්සුවේය. සගයා පා පැත්තෙන් ඉස්සුවේය. ඒවා බිත්තිය අයිනේ පිළිවෙළට ගොඩ ගැසෙන්නට වූයේය.

පසුදා ද ට්‍රැක්ටරය ආවේය.

ඊට පසු දා ද ඊටත් පසුදා ද ආවේය.

මළ සිරුරුවලින් මෝචරිය පිරී ගියේය. පැරැණි මළ සිරුරුවලින් ආ දුගඳ ඉසිලිය නොහැකි විය.

‘ඈ බං ඇඩ්ඩිං අයියෙ, දැං මේවට මොකද කරන්නෙ? කොහොමද බං මෙතන ඉන්නෙ?’ සගයා ප්‍රශ්න කළේය.

එඩ්වින් අයියා තීරණයක් ගත්තේය. රෝහල් බිමේ පැත්තක තිබූ පරණ යකඩ රෝද දෙකක් ගරාදියකින් එකට යා කළ හෙතෙමේ ඒ මත ලෑලි කිහිපයක් සවිකර මළ සිරුරු අදින්නට කරත්තයක් හදා ගත්තේය. ඉටිකොළවල ඔතන ලද මළ සිරුරු “කරත්තයේ අල්ලන තරමට පටවමු” යි ඔහු සගයාට යෝජනා කළේය. දෙදෙනා බලවත් දුර්ගන්ධය ද කාගෙන හැකි තරමක් සිරුරු පටවා කරත්තය තල්ලු කර පාරට ගත්හ.

සගයා ලණුවක් හොයා ගෙනැවිත් එහි ඉදිරියේ ගැට ගසා ඒ ලණු පටින් කරත්තය ඉදිරියට ඇද්දේය.

එඩ්වින් අයියා පසුපසින් හැකි වෙර යොදා කරත්තය තල්ලු කළේය.

මළ කරත්තය ගොර - ගොර බර හඬින් පාර දිගේ ඇදුණේය.

මිනී ගඳින් පැත්ත පළාතම වැසී ගියේය. ගම්මු ගෙවල්වලට වැදී දොරවල් වසා ගත්හ.

එඩ්වින් අයියාත්, සගයාත් පාළු පාර දිගේ මළ සිරුරු කරත්තය කනත්තට තල්ලු කරගෙන එද්දී ඒ පිටුපසින් ඉව කරමින් ආවේ රැයේ බිරූ බලු පිරිවර පමණි.

දැන් ඉතින් මගේ හිතේ බර යම් පමණ ඉවත් විය. එහෙත් කලක් තිස්සේ බලෙන් යටපත් කොටගෙන සිටි මගේ වේදනාව යළි මතකයෙන් වැසී යෑමට තවත් කලක් ගත වනු ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »