නෙළුම් කොළ


2017-08-25 10:47:00       21
feature-top
යාබද නිවෙසෙහි බලි යාගයකට දින නියම වී තිබිණ. මම එහි ගියෙමි. ඒ මගේ බාල සෝයුරා ගේ නිවෙසයි.

‘අනේ අයියෙ නෙළුම්කොළ දහයක් හොයා දෙන්නකෝ’ මල්ලිගේ පියඹ, පිටබැද්දර නෝනා කීවා ය.

‘හොඳයි මං බලන්නං’ මම කීමි.

‘බලල විතරක් බෑ. අනික්වා ඔක්කොම ලෑස්තියි’ ඇය කටයුත්තේ වගකීම ගැන අවධාරණය කළා ය.

මට මිතුරු ධර්මේ මතක් වී ඔහුට ඇමතුමක් ගතිමි.

‘දංලන්දෙවත්තෙ පොකුණෙ තියනව. ඒක හුඟක් ගැඹුරුයි. ඌරුබොක්කෙ වැවෙත් සමහරවිට ඇති. නැත්තං ඉතිං කටුවන තමයි’ ඔහු කීය.

‘ගිහිං බලමු ද?’

‘යං’ අපි ගියෙමු.

දංලන්දේ තේ කම්හල අසල බෙහෙවින් ගැඹුරු වගුරක් මැද එක ම එක නෙළුම් ශාකයක් විය. ඊට තිබුණේ ද කොළ හතරක් පමණි.

‘මේක හරි ගැඹුරුයි. මේක පුරාම නෙළුම් තිබුණ. දවසට දෙතුන්ගොල්ල ඇවිදින් කඩාගෙන ගියා. මේ මෑතක ඉඳල මේ නෙළුම් කොළ නැතුව ම බැරි දෙයක් වෙලා! කඩාගන්න! හැබැයි ඉතිං පරිස්සමෙං!’ තේ කම්හලේ නිලධාරි තැන කරුණාව පළ කළේ ය. රිටක් අගට කොක්කක් බැඳ, එහි පටලවා ඇද නෙළුම් කොළ හතර නෙළාගත් අපි නිලධාරියාට තුති කොට අනිත් කොළ හය සොයන්නට පිටත් වීමු.

‘අතන වැවෙත් බලන්නැ’යි ටී මේකර් මහත්තයා කියා තිබුණෙන් අපි මුලින් ම ඌරුබොක්කේ වැව සොයා ගියෙමු. තරුණ සොහොයුරෝ දෙදෙනෙක් එහි ඕලු මල් නෙළමින් සිටියහ. වැවේ ඈතක නෙළුම් කොළ කිහිපයක් දිස් විය.

‘මල්ලි අර නෙළුම් කොළ ටික කඩල දෙන්නකො. රුපියල් දාහක් දෙන්නං’ ටියුබයක නැගී ඕලු මල් නෙළමින් සිටි එක් සෝයුරෙකුට මම කීමි.

‘අනේ සර්, තරහ වෙන්න එපා! මේ මුළු පස්ගොඩ වසමට ම තියෙන්නෙ මෙච්චරයි. දංලන්දෙ තිබිච්ච කාළ ටිකත් වීල් එකේනෙ. දාහක් තියා ලක්ෂයක් දුන්නත් ඕක නං දෙන්න බෑ!’ ඔහු තිරකොට කීවේ ය. අපේ යාගයට වඩා ඔහු කී දේ අපට ගුණදායක බව පෙනී ගියේ ය. අපි ආපසු හැරුණෙමු.

නෙළුම්මලක අගය වටහාගෙන සිටින මල් මල්ලියේ, උඹට ගැටබරු දෙයියංගෙම පිහිටයි!

කිරිළිපනේ පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »