‘ලෝක විනාසෙ’

2017-07-27 09:28:00       22
feature-top
මහත්තය ‘ලෝකෙ විනාසෙ’ වෙයි ද?’

මා ගමන් කරමින් සිටි ත්‍රිරෝද රියේ රියැදුරු රියේ හඬ පරයා උස් හඬින් කෑගැසුවේ ය.

මම අන්දුංකුන්දුං වීමි.

‘ඈ මහත්තය?’

‘මොකක්ද ඇහ‍ුවෙ?’

අද හෙට ‘ලෝක විනාසෙ’ වෙයි ද?

‘මොකක්ද ඔය ‘ලෝක විනාසෙ’?’

‘ඇයි මහත්තය දන්නැද්ද ‘ලෝක විනාසෙ’ වෙනවලුනෙ. මේ දවස්වල ගෙයින් එළියට බහින එකත් නරකයිලු’

‘කවුද කියන්නෙ?’

‘අර අනාවැකි කියන කෙනානෙ කියන්නෙ. මිනිහ කලින් කිව්වනෙ මහින්ද මහත්තය පැරදෙනව කියල. ඉතිං පැරදුණානෙ. එයා ම තමයි දැං කියන්නෙ ‘ලෝක විනාසෙ’ වෙනව කියල.’

මම ගොළු වීමි.

‘හරි වැඩේනෙ මහත්තය, ගෙදර උන්දැයි දරුවොයි මායි පොසොන් එකට අනුරාධපුරේ යන්නයි උන්නෙ. දැන් අපේ ගෙදර උන්දැ කියනව ‘ලෝක විනාසෙ’ වෙන හින්ද යන්ඩ බෑ කියල. ඒකෙන් - මේකෙන් ඒ ගමනත් නැති වෙන්ඩයි යන්නෙ. හැබෑට ‘ලෝක විනාසෙ’ වෙයි ද මහත්තය?’

‘ලෝක විනසෙ වෙනව නං ගෙදර නැවතුණා කියල කොහොමද බේරෙන්නෙ?’

‘අම්මප ඒකත් ඇත්ත! එහෙනං ගියා කියලා කරදරයක් වෙන එකක් නැද්ද? ඒත් ඉතිං මේ ‍අපේ උන්දැ බයයිනෙ. ‘මගෙ අම්මෝ මට නං බෑ’ කියල කෑගහනව.’

මගේ ගමනාන්තයෙන් බැසීමට පෙර මම මීටරය දෙස බැලීමි. එහි අනූහයක් සටහන් වී තිබිණ. මම සීයක් දිගු කර ඔහු ගේ මුහුණ දෙස බැලීමි.

‘බොහොම ස්තුතියි’ කියා ඔහු එය සාක්කුවේ ලා ගත්තේ ය.

‘ලෝක විනාසෙ’ ගැන මං හිතෙන දේ කියන්ඩ ද?’ මම ඇසීමි.

‘කියන්ඩකො’ ඔහු උවමනාවෙන් මදෙස බැලුවේ ය.

‘ඇතිවෙන දේවල් කාලෙකට පස්සෙ නැතිවෙන එක හැටියක්නෙ. ලෝකෙ කියන්නෙත් ඇති වෙච්ච දෙයක්නෙ. ඒකත් ඉතින් කවදහරි නැති වෙන්ඩ එපායැ. හැබැයි ඒ වෙනකල් අපි ඉන්න එකක් නෑ. ඊට ඉස්සර අපි නැති වෙයි. ඒ හින්ද ඔයාල අනුරාධපුරේ යන්ඩ!’

‘ඒ වුණාට මහත්තය අපේ උන්දැ ‘ලෝක විනාසෙ’ වෙයි කියලා බෑ කියනවනෙ’

මට හිනා ගියේ ය.

ඔහුට ද හිනා ගියේ ය.

මා මේ කතාව ලියන්නේ පොසොන් පොහොය පමණක් නොව ඇසළ පො‍හොය ද පසු වූ දිනෙක ය. ජ්‍යොර්තීර්වේදීන් මොනවා කීවද ඔවුන් ගේ බරද දරා ගනිමින් ලෝකය තවමත් කැරකෙමින් තිබේ. ත්‍රිරෝද රථ රියැදුරු ඔහු ගේ ගෙදර ඇත්තන් සමඟ අනුරාධපුරයේ ගියා දැයි නොදනිමි. එහෙත් ලෝක විනාශය නොසිදු වූ බැවින් ඔහුගේ බිරිය නම් හිතේ බයක් නැතුව සිටිනවා විය යුතු ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »