දිවි සටන

2017-07-24 10:27:00       13
feature-top
නගරයේ දී බඩු ගොඩකුත් උස්සාගෙන මා අහම්බෙන් නැගී තිබුණේ හිතවතකු ගේ ත්‍රිරෝද රියකට ය.

‘ආ... කාලෙකින් යං යං!’ ඔහු හිනැහී රිය පණගන්වා පාරට ගත්තේ ය.

සැබවින් ම, අප මුණ ගැසී තිබුණේ දිගු කලකිනි. අප මුණ ගැසුණු කොයි කවදත් අපේ මාතෘකාව බවට පත් වන්නේ රාජු ය.

රාජු අප දෙදෙනා ගේ ම සමීපතමයෙක් විය. වසර කිහිපයකට පෙර ඔහු පිළිකාවකින් මිය ගියේ ය.

මිය යෑමට පෙර රාජු ගේ සිතේ තම පුතු ගැන ලොකු බරක් තිබූ බව හිතවතුන් වශයෙන් අපි දැන සිටියෙමු. ඉගෙනීම ද කඩාකප්පල් කර ගත් සිය නව යොවුන් පුතුගේ අනාගතය ගොඩනගන්නේ කෙසේ දැයි රාජු දහ අතේ කල්පනා කරමින් සිටියේ ය.

අවසානයේ ඔහු පුතු බලෙන් ම මැදපෙරදිග රැකියාවකට යැව්වේ ය. පියාගේ බලකිරිමට වසරක් දෙකක් රැකියාව කළ පුතු රැකියාව අමාරු බවත්, වැටුප මදි බවත් දිගින් දිගට ම පැමිණිලි කළේ ය. එහෙත් රාජු තරයේ කියා සිටියේ කට්ට කාගෙන රැකියාව කර කෙසේ හෝ ගොඩනැගෙන්නට උත්සාහ කළ යුතු බව ය.

රාජු මිය ගියේ ඔය අතර ය. පියා ගේ අවමඟුල වෙනුවෙන් ගෙදර ආ පුතු ආයේ නම් රට ගියේ නැත.

‘කොහොමද දැං රාජුගෙ පුතාට? මිනිහ ආයෙ යන්නැති පාටයි නේද?’

‘ඔය ඉන්නෙ පරණ යාළුවො සෙට් එකට වැටිල රස්තියාදු ගගහ.’

ඉක්බිති පැවතියේ නිහඬතාවකි. ඒ බිඳිමින් ඔහු කතා කළේ ය.

‘ඔයාට කියන්ඩ ඕනැ නෑනෙ රාජුයි මායි ජීවත් වෙච්ච හැටි! රාජු දකුණෙ එකා. මං මැද රට එකා. අපි රස්සාව කරද්දි එක බෝඩිමේ ඉඳලනෙ යාළු වුණේ. වැඩපොළ වැහුණ ම අපිට එක ම දවසෙ තමයි රස්සාව නැති වුණේ. එදා ඉඳන් අපි දරු පවුල් නඩත්තු කරන්ඩ මොන දහ දුකක් වින්දද කියල රාජුයි මායි විතරයි දන්නෙ. අපි කුලී මලී කෙරුව. වතු බිං කෙටුව. ළිං කක්කුස්සි වළවල් කැපුව. මගෙ අම්මේ නොකරපු වැඩක් නෑ. ජීවිතේ කියන්නෙ මොකක්ද මිනිස්සු කියන්නෙ කවුද කියල අපි අගේට ඉගෙන ගත්තෙ ඒ කාලෙ. වැඩ නැති දවස්වලට අපි වැඩ හොයාගෙන පාරවල් ගා‍ෙන ගියා. අතේ තිබිච්ච තුට්ටු දෙක වියදං නොකර එක විස්කිරිඤ්ඤෙ දෙකට කඩං කාල එක ප්ලේන්ටිය බිව්ව. දවසක් ඔහොම යනකොට අපිට පරණ පොල් ගොඩක් පළන්ඩ හම්බ වුණා. එදා අපි බඩගින්න නිවා ගත්තෙ ඒවයෙ තිබිච්ච පැළ මැද කාල.... එහෙම කරල තමයි අපි දරුවො ලොකු මහත් කෙරුවෙ... අද මගෙ දරුවො දෙන්න ම කසාදත් බැඳල වෙන්වෙලා. දැං මං මේ ත්‍රීවිලර් එක එළෝල හම්බවෙන එකෙන් දරුවන්ගෙ අම්මත් එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙනව. අද උණත් අපිට හිතුවොත් කරන්ඩ බැරි දෙයක් නෑ. ඒ තරමට අපි පදංවෙලා!’

ඔහු තම කතාව සනාථ කිරීමට තවත් සිද්ධියක් ද ගෙනහැර පෑවේ ය.

‘ඕං අහගන්ඩකො, මේ ගිය සුමානෙ නෝන කෙනෙක් මේ ත්‍රීවිලර් එකේ යන ගමන් මට කිව්ව, “පොඩි ඉඩං කෑල්ලක් තියනව. මේ ඩෙංගු හුටපටේ හින්ද ඒක එළිපෙහෙළි කර ගන්ඩ ඕනැ. මිනිහෙක් ඒ වැඩේට රුපියල් පන්දහක් ඉල්ලුව. ගාන වැඩි හින්ද හාරදහකට කරල දෙන්ඩ කියල ඉල්ලුව. බෑ කියල ගියා. අනේ ඔයාට කවුරු හරි හම්බ වුණොත් එවන්ඩකො’ කියල. යන ගමං ඉඩං කෑල්ලත් මට පෙන්නුව. ඒක නිකං මේ පොඩි පටියක්.’

මම හූමිටි තැබීමි.

‘.... මාත් ඉතිං වැඩකාරයෙක් හෙව්ව. හම්බ වුණේ නෑ. දවසක් ගෙදර ඉන්නකොට මට හිතුණ, වැඩකාරයො හොය හොය පස්සෙං යන්නෙ මොකටද අපි ඉස්සර කරපු දේවල්වල හැටියට ඕකත් වැඩක් ද කියල. එහෙම හිතල මං කොට කලිසමකුත් ගහගෙන උදැල්ලයි මන්නෙයි ත්‍රීවිලර් එ‍කේ දාගෙන අර ඉඩමට ගිහිං පටං ගත්ත කියන්ඩකො වැඩේ! අනේ අර නෝන බොහොම ආසාවෙං බලං ඉඳල මට තේත් හදල දුන්නා. මං එක දිගට වැඩ කෙරුව. පැය තුනක් යන්ඩ කලිං මං වැඩේ ඉවර කරල අර රුපියල් හාරදාහත් සාක්කුවෙ දාගෙන ගෙදර ගියා. වැඩෙං මටත් ලාබයි, වැඩේ හොඳිං කෙරිච්චි හින්ද ඒ නෝනටත් සන්තෝසයි.... හැබැයි ඉතිං මැදපෙරදිග නෙමේ මොන ලෝකෙ ගියත් කම්මැළියට නං නැගිටින්ඩ බෑ.’

මාදම්පේ අනුර රත්නවීර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »