බක්කරේ යාළුවා

2017-07-13 11:10:00       20
feature-top
සෙනසුරාදා උදය කාලයේ මෝටර් සයිකලයේ නැගී රෝන්දයක් ගැසීම මගේ පුරුද්දකි. එහි වාසි ද ත‍ිබේ. කරදරකාරී සතියක් ගෙවා දමා ලද සැහැල්ලුව විඳීම එකකි. නගරයේ පරණ මිතුරන් මුණගැසී කතා බහ කිරීමෙන් ලැබෙන සතුට තව එකකි.

එදින මා යතුරු පැදිය උප මඟකට හරවන විට ම ඔහුගේත්, මගේත් නෙතු එකට ගැටිණ. ඔහු ගේ සිනා සුද දැක මම නැවතුණෙමි.

‘හුඟක් කාලෙකිං. වරෙං! වරෙං!’ ඔහු මා සිය තේ කඩයට කැඳවා වාඩි ගන්වා තේ එකක් ද හදා දුන්නේ ය.

‘ඉතිං කොහොමද ජීවිතේ?’ ඔහු වැඩ කරන ගමන් මා සමඟ කතා කළේ ය.

‘පුරුදු ඩ්‍රැයිවර් රස්සාව කරගෙන දරු පවුල නඩත්තු කරනව’ මම කීමි.

‘පඩිය ඇද්ද බං ජීවත් වෙන්ඩ?’

‘යාන්තං ‍ෂේප් වෙනව’

‘සෙනසුරාද ඉරිද උඹ මෙහෙ එනව නං මං උඹට බේකරි වැඩ ටිකක් උගන්නන්නං. එතකොට උඹට ගෙදරදි පේස්ට්‍රි ටිකක් හදල සයිඩ් බිස්නස් එකක් කරගන්ඩ පුළුවන් වෙයිනෙ. මොකද කැමති ද?’

‘කැමතියි’

අපේ පරණ යාළුකම අලුත් වුණේ එසේ ය.

ඊළඟ සති අන්තයේ දී පුහුණුව ඇරැඹිණි. ඔහු මට හොඳින් බලාගන්නා ලෙස කියා බේකරි කෑම වර්ග හදන්නට පටන් ගත්තේ ය. වැඩි කල් නොගොසින් ම මම වැඩේ අල්ලා ගතිමි.

බේකරි වැඩ පුරුදු වූයේ කිසියම් පාඨමාලාවක් හදාරා දැයි මම ඔහු ගෙන් ඇසුවෙමි. ඔහු මහ හඬින් සිනාසී දිග කතාවක් කෙටියෙන් කියා දැමුවේ ය.

‘... දවසක් මොකක්දෝ වැරැද්දකට අපේ තාත්ත මට ගැහුව. මං ගෙදරින් පැනල ආව. කොළඹ බස් ස්ටෑන්ඩ් එකකට වෙලා ඉන්දැද්දි කෙනෙක් මගෙ විස්තර අහල මාව එක්කගෙන ගිහිං තේ කඩේකට බාර දුන්න. මට පඩියක් ගෙව්වෙ නෑ. හැබැයි තුන්වේල කන්ඩ දුන්න.

.... බුදිය ගන්ඩ හරියකට තැනක් තිබුණෙ නෑ. වැහි කාලෙ මහ දුකක් වින්ද. ඔය ක‍ාලෙ මට හම්බ වුණා කොළඹට ම නාකි වුණු මාම කෙනෙක්. එයා තමයි මට පික්චර් හෝල් එකක නින්දක් ගහන හැටි කියල දුන්නෙ. ෂෝ දෙකට ම එක සැරේ ටිකට් අරං ගිහිං මුල්ලෙ තියන සීට් එකක් අල්ලගෙන හොඳට බුදිය ගන්නව. ෂෝ දෙක ම ඉවුර වුණා ම හෝල් එකේ අංකල් ඇවිත් කූද්දනව.

.... ඔය කාලෙ මට තව අංකල් කෙනෙක් සෙට් වුණා. උන්දැ තමයි ‘කොල්ලො අනුන්ට ම කරල හරියන්නෙ නෑ. කවද හරි තමන්ගෙ කියල වැඩක් කරන්ඩ ඉගෙන ගනිං’ කියල මාව එක්කගෙන වරකාපොළ පැත්තට ගිහිං එහෙ බේකරි මුදලාලි කෙනෙකුට බාර දුන්නෙ. බේකරි වැඩ නං ඉගැන්නුවෙ නෑ. උදේ හිටං රෑ වෙනකං වතුර ඇද්ද එකමයි වැඩේ! හැබැයි මං වැඩ කරන හැටි හොරෙං හොරෙං බලා ගත්ත.

... දවසක් බේකරියෙ වැඩ කරන්ඩ බාස්ල හිටියෙ නෑ. අසනීප වෙලා ගමේ ගිහිං! මුදලාලි මගෙං ඇහුව ‘කොල්ලො උඹට බැරිද බේකරි වැඩ?’ කියල. මං කිව්ව පිටි මනින්ඩ දන්නෑ අනික් වැඩ නං පුළුවං කියල. ‘කොහොමද පුළුවං වුණේ?’ කියල ඇහුව. බලාගෙන ඉඳල ම පුළුවං වුණා කියල මං කිව්ව, ‘එහෙනං ‍කොරමු’ කියල මුදලාලි පිටි කිරල දුන්න. අපි දෙන්න පාං, බනිස්, කිඹුල්ලු, පේස්ට්‍රි සේරම හැදුව. මුදලාලිටත් හරි සන්තෝෂයි. ‘උඹ හොඳ කපටිය! කියල මගෙ පඩියත් වැඩි කෙරුව. ඔහොම ‍ඔහොම දුක්විඳල තමයි බං මං අද මේ තත්වෙට ඇවිල්ල ඉන්නෙ.’

ඔහු සිනාසුණේ ය.

මම ඔහුගේ සිනා සුදට වශී වී බලා සිටියෙමි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »