අමුතු කතාව

2017-07-11 11:33:00       676
feature-top
වැඩ ඇරී කාර්යාලයෙන් පාරට බසින විට දුම්රියට වැඩි වේලාවක් නොවූයෙන් මීටර් ටැක්සියකින් කොටුවේ දුම්රිය පොළට යෑමට අපි තිදෙනා සිතුවෙමු.

මීටර් ටැක්සි කොතෙකුත් ආව ද අපේ සංඥා ගණන් නොගෙන යන්නට ගියේ ඒවායේ මගීන් සිටි බැවිනි.

හොඳට ම පරණ රතු පැහැ ත්‍රිරෝද රියක් අප ළඟ නතර කළේ මෙවිට ය.

‘කෝ මීටරේ?’ මම නැමී එහි මීටරය ඇද්දැයි බැලීමි.

‘මීටර් නෑ. ප්‍රශ්නයක් නෑ. මීටර් ගාන දෙන්ඩ මාත්තය’ රියැදුරා බර හඬින් කීවේ ය.

අවස්ථාවේ හැටියට අපි එහි නැගුණෙමු.

රිය ගොර හඬින් කෑ ගසා ඉදිරියට ඇදුණේ මහ බරක් පැටවූ කලෙක මෙනි. ඒත් පරණකමට ඇද්දීම ද හොර විය.

තරුණ විය ඉක්මවා සිටි රියැදුරු රියේ හඬ අබිබවා කතා කරන්නට පටන් ගත්තේ ය.

‘මාත්තය, මං මේක දුවන්නෙ කුලියට. දවසට තුන්සිය පනහයි. තෙල් ගහගෙන එළෝනව. මේකෙන් කීයක් හරි හොයාගෙන තමයි මං මගෙ පවුල නඩත්තු කරන්නෙ. මාත්තේලට යන්ඩ ඕනැ තැන කියන්ඩ. මං පරිස්සමට ගිහිං දාන්නං.’

‘අපිව කොටු‍ෙව ස්ටේෂන් එකේ පිටිපස්ස පැත්තට දාන්ඩ!’

‘හරි යං’ කියමින් ඔහු ගියරයක් මාරු කළේ ය. ඇන්ජිම හිර වී යළි බුරුල් විය. අපිදු ඉදිරියට ඇදී පස්සට විසි වී ගියෙමු.

මීටර් දහයක් පහළොවක් ගිය තැන ඔහු හදිසියේ ම රිය නතර කළේ ය.

‘මාත්තය, මං ටග්ගාල ඔයිල් කුප්පියක් අරං එන්නං’ කියමින් වාහන අතරින් පාර පැන පුංචි කඩයකට රිංගූ ඔහු ගිය හදිස්සියෙන් ම ආපසු පැමිණ රියට ඔයිල් දැම්මේ ය. නැවත රියැදුරු අසුනට පැන ගත් හෙතෙමේ යළි රිය කෑගස්සවා පණ ගන්වා ගස්ස ගස්සා ඉදිරියට ඇද්දුවේ ය.

‘... මාත්තේලට කියන්ඩ මාත්තය, මං මේ ආවෙ ඉස්පිරිතාලෙ ඉඳං, මගෙ පවුලයි, දරු පැටියයි ඉස්පිරිතාලෙ. නෝන වාට්ටුවෙ...

..... මාත්තය, අපිට ඔය දරුපැටිය හම්බ වුණේ අවුරුදු එකොළහකට පස්සෙ. දරුව ලැබිල අදට දවස් හතරයි. පුදුමෙ කියන්නෙ මාත්තය මගෙ පුතා ඉපදිච්ච හැටියෙ දාඩිය දාල රතු වෙන්ඩ ගත්ත. මුළු ඇඟ ම දාඩියෙන් වතුර වගේ ‍ෙපඟුණ. පුතා ‍ෙග පතුල්වලින් බින්දුව බින්දුව වැටෙන්ඩ ගත්ත. මේක දැකපු මගෙ පවුලට කලන්තෙ දැම්ම. සිහිය ආවට එයාගෙ මානසික මට්ටම අවුල් වුණා. දැන් දෙන්නට ම වෙදකං කරනව...

... හැබැයි මාත්තය මට රත්තරං දොස්තර මාත්තයෙක් හම්බ වුණා. එයා මට කිව්ව “මේකට කරන්ඩ තියෙන්නෙ එක ම දෙයයි. ඔයා අහවල් තැන (නම කියයි) තියන ෆාමසියට යන්ඩ. එතන තියනව අහවල් නම (නම කියයි) තියන විශේෂ පිටිකිරි වර්ගයක්. හැබැයි මිල වැඩියි. ඒකක් අරං බොන්ඩ දෙන්ඩ” කියල. මං එතෙන්ට ගියා. මාත්තය දන්නවද ගාන? දොළොස් දහයි. කොහොම හරි මං එකක් ගත්ත. පවුලට කිරි හදල දුන්න. දැන් පවුලට ටික ටික කිරි එරෙනව. දොස්තර මාත්තය කියපු හැටියට පවුල දැං එයාට එරෙන කිරිවලින් දරුවගෙ ඇඟ තෙත් කරනව. දෙයියන්ගෙ පිහිටෙං මගෙ පුතා සනීපවෙයි...’

ඔහු ගේ දිගු කතාව අවසන් වන විට අපි ගමනාන්තයට ද ළඟා වී සිටියෙමු. මම රුපියල් සීයේ ගාස්තුව ඔහුට ගෙවීමි.

‘මාත්තය, මගෙ පුතාව සනීප කරගන්ඩ මට තව සල්ලි යයි. මාත්තයට පුළුවං නං මට තව කීයක් හරි දෙන්ඩ’ ඔහු ආයාචනා කළේ ය. මම අතේ තිබූ සුළු මුදලක් ඔහුට දී කෝච්චියට දිව්වෙමි.

පසු දින කාර්යාලයේ දී මේ කතාව අපේ සාකච්ඡාවට බඳුන් විය. මා සමඟ ත්‍රිරෝද රියෙහි ගමන් කළ දෙදෙනා ම කීවේ ඔහු වංචාකාරයකු බවත්, ඔහු ගේ ගැටයට මා අසු වූ බවත් ය. කාර්යාලයේ බොහෝ දෙනකු ගේ මතය වූයේ ද එය ය.

මම නිහඬව සිටියෙමි. එතෙක් වේලා මොකුත් නොකියා සිටි තරුණ පහේ මිතුරෙක් මා ළඟට ආවේ ය.

‘අයියෙ, මං නං හිතන්නෙ නෑ ඌ වංචාකාරයෙක් කියල. වංචාකාරයෙක් කොහොමද ඔය වගේ සූක්ෂ්ම කතාවක් කියන්නෙ? අද්දැකීමක් තියන මිනිහෙකුට තමයි එහෙම කියන්ඩ පුළුවං.” ඔහු මගේ කනට කර කීවේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »