රෑ සටහන

2017-06-12 10:40:00       679
feature-top
උදෑසනකි.

ඌව - වෙල්ලස්ස සරු බිම මැදින් හැඩ ඔය ගලා ගියේ ය.

ඔයෙන් එහා පැත්තේ වූයේ වනපෙත ය. වන පෙත මැදින් ගම්මානවලට යා හැකි විය.

ඔයෙන් මෙහා පැත්තේ තරමක උස් බිමක ගමේ පාසල පිහිටා තිබුණේ ය.

මේ සමස්ත දර්ශන තලයේ ම එකදු මිනිස් රුවක් දැකිය නොහැකි විය. දසතින් නැගුණේ කුරුලු හඬ පමණි.

ටිකකින් පාසල් මිදුලෙන් මිනිස් රුවක් මතු විය. ඒ එහි මුල් ගුරුවරයා ය. තනිකඩයකු වූ ඔහු පාසලේ ම නැවතී සිටියේ ය.

පාසල් නිවාඩු කාලය බැවින් මුල් ගුරුවරයාට දැනුණේ පාළුවකි. ඔහු මිදුල මැද නැවතී පහතින් ගලා යන හැඩ ඔය දෙස බලා සිටි‍යේ ය.

හැඩ ඔය මත උදා හිරු කිරණ දිලිසෙමින් තිබිණ.

තරුණ ගොවි යුවළක් හැඩ ඔය හරහා මෙගොඩහට එමින් සිටිය හ. හැඩ ‍ඔයේ ජල මට්ටම පැවතියේ ඔවුන්ගේ දණහිසෙනුත් පහළට ය.

තරුණ ගොවියා උදලු දෙකක් කරේ ලා ගෙන දිය බඳුනක් දරා සිටියේ ය. ගෙවිලිය මල්ලක් රැගෙන එමින් සිටියා ය.

ගෙවිලිය ගැබ්බර ය. එහෙත් ඇය ඒ බව ගණන් නොගෙන පය ඉක්මන් කළා ය. ගොවියා ඇය ඉස්සර කරගෙන ඉවුරට ගොඩ වුණේ ය.

තිදෙන එකට හමු වූහ.

‘ආයිබෝං ලොකු මහත්තය!’

‘ආයිබෝං! ආයබෝ! දෙන්න උදැහැනැක්කෙ ම හේං කොටන්ඩ යනව වගේ’

‘දැං ඉතිං තුන් දෙනෙකුට කන්ඩ හොයන්ඩ එපෑ’ ගොවියා හිනාවුණේ ය. ගෙවිලිය ලජ්ජාවෙන් බිම බලා ගත්තා ය.

අනතුරුව ජෝඩුව කඳුකරයේ නොපෙනී ගිය හ.

*****

හැන්දෑවේ ජෝඩුව කන්දෙන් බැස ඉවුරට එද්දී හැඩ ඔය දෙගොඩ තළා යමින් තිබුණේ ය. ඈත කොහේ හෝ දීපංකරයකට මහ වැහි ඇද හැළුණු විට ඒ දිය කඳ ඇදගෙන විත් මේ පහත් බිම යටකර දැමීම හැඩ ඔයේ පුරුද්ද ය.

මෙදා ගංවතුර ලේසි පාසු එකක් නොවන වග ගොවියාට වැටහිණ. මේ ගංවතුරට ගේ දොර ද යට වී තිබිය හැකි ය. එහෙයින් වහා ගං දිය තරණය කර එහි යා යුතු ය. එහෙත් ගැබ්බර බිරිය රැගෙන පිහිනන්නේ කෙසේ ද?

මේ කිසිවක් නොදත් ලොකු ඉස්කෝලෙ මහත්තයා රෑ බත උයමින් සිටියේ ය. ඔහු මිදුලට දුව ආවේ කාගේ දෝ කෑගැහිල්ලකට ය.

පාසල් මිදුලේ ළා අඳුරින් මතු වූයේ උදේ දුටු ගොවි ජෝඩුවය.

‘අනේ ලොකු මහත්තයො, හැඩඔය දෙගොඩතළලනෙ. ගෙවල් - දොරවල් යටවෙලා ද දන්නෙත් නෑ. මෙයාව මෙතන දාල මට යන්ඩත් බෑ. මං පීනල ගිහිං එනකං මුන්දැට මේ ඉස්කෝලෙ නවාතැන් දෙන්ඩ පුළුවන් නේද?’

ලොකු ඉස්කෝලෙ මහත්තයා එක පාරට ම ගැස්සුණේ ය. ගැහැනියකට රාත්‍රියේ පාසලෙහි ගත කිරීමට ඉඩ දීම ම ප්‍රශ්නයකට මුලකි. ඒ තබා මේ ගැහැනිය රාත්‍රියේ දරුවා බිහි කළහොත් තනිකඩ තමා ඒ සුමේ කරන්නේ කෙසේ ද?

ගොවියාට නම් හිත - හිත ඉන්නට වෙලාවක් නොවී ය. කැහැපට ගහගත් ඔහු දියඹට පැන පිහිනා ගියේ ය.

ලොකු ඉස්කෝලෙ මහත්තයා ලාම්පුවක් පත්තු කර පැදුරක් එළා අමුත්තියට නවාතැන් දුන්නේ ය. අනතුරුව ඇඟ පත හෝදා ගන්නට පහසුකම් සැලසූ හෙතෙමේ පිසූ අහරින් අඩක් පිළිගන්වා නිදා ගැනීමට පහසුකම් සැලස්වී ය.

තෙහෙට්ටු වී සිටි ඇයට නින්ද ගියේ ය. එහෙත් ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ නම් දෑස පියවුණේ නැත. ඔහු විටින් විට ඇය දෙස බියෙන් මෙන් බැලුවේ දැන් දැන් දරුවා ලැබෙතැයි සැකයෙනි.

ඔහු ගේ බිය පහවූයේ පාන්දර ජාමයේ ගොවියා ආපසු ආ විට ය. එහෙත් ඒ වන විට ඔහු පාසල් ලොග් පොතෙහි සිය ඓතිහාසික සටහන ලියා අවසන් කර තිබිණ.

මේ සටහන කියවා ඇත්තේ කීයෙන් කී දෙනාදැයි නොදනිමි. එදා රාත්‍රියේ තනිකඩ ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ හිතේ පැවති භීතිය කෙතරම් වී දැයි කියා පෑමට ඒ සටහන කදිම සාක්කියකි. මන්ද එය අති සංවේදී භාව ප්‍රකාශනයක් බැවිනි.

ගම්පහ නන්ද ප්‍රියන්ත මහතා විසින් යොමු කරන ලද සටහනක් ඇසුරිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »