දම් සබාව

2017-06-05 11:27:00       679
feature-top
ඔහු මා මිතුරන් අතර සිටින අතිසංවේදීම මිතුරා යැයි කිව හැකි ය. දුරබැහැරක වෙසෙන ඔහු හිතේ සැඟවුණු දුකක් හෙළිකර බර සැහැල්ලු කර ගන්නේ මා සොයාගෙන ආ මොහොතකය.

ඔහු ඊයේ පෙරේදා මා සොයා ආවේ කලකට පසු ය.

‘අපි ළඟදි ආරණ්‍ය සේනාසනේකට දානයක් දුන්න. කලින් දවසෙ එහෙ ගිහින් රෑ නැවතිල ඉඳල පාන්දර නැගිටල දානෙ ඉව්ව. උදේම ඒව හාමුදුරුවන්ට පිරිනමල ආයෙමත් දවාලට දානෙ ඉව්ව. දවාලෙ දානෙත් පිරිනමල පරිසරයත් විඳල තමයි අපි ආපහු ආවෙ...’ ඔහු කියන්නට ගත්තේ ය.

‘ෂඃ අපූරුයිනෙ. පින් අතේ වැඩක්නෙ’ මම ඔහුගේ හිත සතුටු කිරීමට උත්සාහ ගතිමි.

‘අපූරු, ලස්සන, හිත නිවෙන තැන’

ඔහු ගේ මුහුණු ටික වේලාවක් පිපී තිබිණ. ඊළඟට එය මුකුලිත විය.

‘ඇයි මොකද?’

‘අන්තිමේ බලනකොට එතනත් දුක!’

ඔහු සුපුරුදු පරිදි කල්පනාවට වැටුණේය. ඔහුගේ හැටි දන්නා මම ඔහුගේ කල්පනා නොබිඳ පුවත්පත් පිටුවක් අතට ගතිමි.

අනතුරුව ඔහු සිය දුක ඇතිවීමට හේතුව පැහැදිලි කළේය.

ඔහු කියූ හැටියට ඔහුගේ හිතේ සතුට පලා ගොස් තිබුණේ දානය පිරිනැමූ පසු ආරණ්‍යගත භික්ෂුන් කිසිදු වදනකින් හෝ ක්‍රියාවකින් ප්‍රතිචාරයක් නොදක්වා නිහඬවම ආපසු වන අරණට ඇදීමය.

‘අපි පෙරුම්පුරල - පෙරුම්පුරල ඔය දානෙ ඉල්ල ගත්තෙ. ඒ වෙනුවෙන් කාලයයි, ධනයයි වැය කළා. රැයක් එහෙ නැවතිලා මහන්සිත් වුණා. එහෙම කළේ ලොකු පැහැදීමකින්. එහෙව් එකේ අඩුම තරමෙ ‘සුවපත් වේවා!’ කියලවත් කිව්වෙ නෑ. ඒකයි මං කිව්වෙ “අන්තිමේ බලනකොට එතනත් දුක” කියල’

ආරණ්‍යගත භික්ෂුන් ගිහියන් හා සම්බන්ධතා නොපවත්වන බවත් එසේ කරන්නේ ගිහි ජීවිතය හා ඇලීම් බැඳීම් ඇතිකර නොගැනීමට බවක් මා අසා ඇත. මම ඒ බව මිතුරාට කීවෙමි.

‘මූණු බලන්ඩවත් ඕනැ නෑ. බිම බලාගෙන ‘පින්සිද්ධ වේවා!’ කියල කියන්ඩ තිබුණනෙ. ඒත් ඇතිනෙ. බුද්ධ පුත්‍රයන්ට ඇයි ඒ ටිකවත් තියන්ඩ බැරි? බුදු හාමුදුරුවො ඔහොම නිහඬව ඉඳල තියනව ද?’ ඔහු ඇසුවේ ය.

අප ළඟ තුන්වැන්නෙක් ද විය. ඒ අපේ පොඩි සීයා ය. ඔහු බුලත්විටක් ද හපමින් අපට කන්දීගෙන සිටියේය.

නිහඬතාව බිඳ දැම්මේ උන්දෑය.

‘ඔය ළමයින්ට මං හොඳ කතාවක් කියන්නං’ ඔහු පුටුව ද ඇදගෙන අපට මඳක් ළං වූයේය.

අපි ඔහුගේ කතාව ඉවසුවෙමු. ඒ වූකලි ඔහු කුඩා සන්දියේ ගමේ පන්සලේ වැඩ වාසය කළ හාමුදුරුවන් ගැන කතාවකි.

‘තාත්තයි, මායි දානෙ අරගෙන පන්සලට ගියාම උන්නාන්සෙ නිතරම කියන්නෙ, “උන්නැහේ, අපි හාමුදුරුවරු හැටියට ලෝකෙට දයාව, කරුණාව දක්වන්ඩ ඕනැ. අපිට දානෙ දෙන උදවිය එක්ක අපි කරුණාවෙන් කතා කරන්ඩ ඕනැ. අපිව ජීවත් කරවන්නෙ ඒ උදවිය නිසා අපි ඒ උදවියගෙ හිත තළන්ඩ හොඳ නෑ. අපි ඒ හිත් සනසන්ඩ ඕනැ කියලයි.’ කියමින් පොඩි සීයා මාරුවෙන් මාරුවට අපේ මුහුණු දෙස බැලුවේ ‘තේරුණා නේද මං මේ කියන දේ’ යි අසමිනි. එසේ ඇසීම ඔහුගේ පුරුද්දකි. ඒ බව දත් මා නිහඬව සිටිය ද ඒ බව නොදත් මා මිතුරා ‘තේරුණා’ යැයි කීවේ ය.

‘ආං හරි’ කියමින් යළිත් හරිබරි ගැසුණ පොඩි සීයා මෙසේ ද කීවේ ය.

‘...ඔය ළමයට කියන්ඩ ළමයො අපේ ඔය හාමුදුරුවො ගමේ හැම ගෙයක් ගානෙම වඩිනවනෙ. මට මතකයි දවසක් වැහි කාලෙක උන්නාන්සෙ අපේ ගෙදරට වැඩියෙ මඩවළවල්වලින් පැන පැන. මං ළි‍ඳෙන් වතුර එකකුත් ඇදල උන්නාන්සෙගෙ දෙපා හේදුව. උන්නාන්සෙ ඈත තියා වඩිනකොටම අපේ අම්ම ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට සුදු රෙද්දක් එළලත් ඉවරයි. ගෙට ඇවිත් ඒකෙ වාඩි වෙච්ච හැටියෙ උන්නාන්සෙ ගෙදර හැමොම ඉස්සරහට කැ‍‍ඳෝනව. ඊට පස්සෙ හොඳට හිනාවෙලා අපි දිහා බලල උන්නාන්සෙ කියන්නෙ මොකක්ද දන්නව ද?

“මං මේ ආවෙ මේ ඇත්තන්ගෙ දුක සැප බලල යන්ඩ! ඒක මගෙ යුතුකමනේ” කියල. එහෙම කියල ගිලන්පසක් වළඳල, දැහැත් වට්ටියක් ළඟට අරන් බුලත් විටකුත් හපහප ධර්ම කාරණ ටිකකුත් කියල දීල ගුරුහරුකමුත් කියල තමයි උන්නාන්සේ ආපහු පන්සලට වඩින්නෙ.’

‘හැබෑට!’ මිතුරා විස්මය පළ කළේය.

‘ඒ විතරක් නෙමේ ළමයො මේකත් අහන්ඩ‍කො’ කියමින් පොඩි සීයා මා මිතුරාගේ අවධානය තවදුරටත් යොමුකර ගත්තේ දැඩි වුවමනාවකිනි.

‘ඔය කුඹුරු වැඩ කරන කාලෙට දායක දායිකාවො වැඩිපුර ඉන්නෙ කුඹුරුවලනෙ. ඔයාට කියන්ඩ, ඔය හාමුදුරුවො නියරවල් දිගේ කුඹුරුවලටත් වැඩල ගම්මුන් එක්ක කතාබහ කරනවනේ! “බයවෙන්ඩ එපා උන්නැහේ මෙදා පාර දෙයියන්ගෙ පිහිටෙන් කලට වැහි ලැබිල ගොයම හරියනව.” කියල කියන්නෙ වෙල් යායම. පිරෙන්ඩ හිනාවෙවී. අන්න එහෙම හාමුදුරුවරුත් හිටපු රටක් මේක! මං කියන දේ තේරුණා නේද ඔය ළමයට?”

‘ඒක ඇහුවම මගෙ හිතට ලොකු සහනයක් ආව’යි ම’මිතුරා කීවේය.

පොඩි සීයා ඉහේ මලක් පිපුණා සේ හිනාවක් පෑවේය.

(දිවුලපිටියේ පදිංචි එස්. සේනානායක මහතා විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.)


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »