වෙසක්දාට පසුදා රෑ

2017-05-30 10:43:00       677
feature-top
පෞද්ගලික ආයතනයක රැකියාව කරන මට වෙසක් දාට පසු දා ද වැඩට යෑමට සිදු විය.

සවස දුම්රිය සුපුරුදු කාලසටහනට අනුව ධාවනය නොවූ බැවින් වැඩඇරුණ මට කොළඹින් පිටත් වීමට සිදු වූයේ බොහෝ පමා වීය. එහෙයින් මා ගම්පළාතේ නගරයට එන විට හොඳට ම කරුවල වැටී තිබිණ.

අපේ නගරය විදුලි බුබුළින් හා වෙසක් සැරසිලිවලින් හැඩ වී පැවතිණ. ජනී ජනයා ද පිරී සිටිය හ.

මම ගෙදර යෑමට බසයක් එනතුරු බස්පොළට වී බලා සිටියෙමි. මා බඳුම සැලකිය යුතු පිරිසක් එහි වූහ. අප බොහෝ වෙලාවක් බලා සිටිය ද බසයක් පැමිණියේ නැත.

ගෙදර යෑමට ත්‍රිරෝද රියක්වත් සොයා ගත යුතු යැයි සිතූ මම ඊළඟට ඒ වෙනුවෙන් වෙහෙසුණෙමි. එහෙත් ඒ වෑයම ද අසාර්ථක වූයේ හැම ත්‍රිරෝද රිය පොළක් ම පාළුවට ගොස් තිබුණු බැවිනි.

අන්තිමේ දී මම අසරණයකු සේ පාර දෙස බලා සිටින්නට වීමි.

පාර යානවාහනවලින් පිරීතිරී තිබිණ. කාර්, වෑන්, ලොරි බාග ආදි සියල්ල ම වෙසක් විනෝද සුවය සොයන්නන්ගෙන් පිරී පැවතිණ. ඒ මේ අත රිංග රිංගා ගිය හැම ත්‍රිරෝද රියකම දරු පවුල් සිටියහ. ත්‍රිරෝද රථකරුවන් දෛනික රාජකාරිය අමතක කොට දරුපවුල් සමඟ සැහැල්ලුව විඳින සේ ය. මෝටර් සයිකල්කාර තරුණයෝ උන්මත්තකයන් සේ නගරය දෙවනත් කළ හ.

මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ මෙවිට ය.

‘... තාත්තෙ රෑ වෙනවනෙ! ඔයා කොහෙද? අපි හැමෝ ම වෙසක් බලන්ඩ යන්ඩ ඔයා එනකං බලාගෙන ඉන්නෙ. ඔයා තාම නෑනෙ. ඉක්මනට එන්ඩකො.’ පොඩි දූ නාහෙන් අ‍ඬන්නට වූවා ය. මම ඇය සනසා දුරකථනය විසන්ධි කළෙමි.

මා සිතට ආවේගයක් ආවේ ය. තවත් රස්තියාදු නොවී පයින් ම ගෙදර යා යුතු යැයි මටසිතිණ. කිලෝ මීටර තුනක් පමණ යෑමට ති‍ෙබ්. මම දෙවරක් නොසිතා ම පාරට බැස්සෙමි.

මුළු පාරම වාහනවල සින්නක්කරයට යට වී තිබුණෙන් මට යෑමට සිදු වූයේ පාර කෙළවරේ වළගොඩැලි මතිනි. ඒත් ඒ ඉඩ ද බොහෝ විට මෝටර් සයිකල්වලින් ඇහිරී තිබිණ.

වාහනවල විනෝද වෙමින් සිටි ඇතැම් තරුණයෝ බෙර ගහමින් ද නළා පිඹිමින් ද නටමින් සිටියහ. එයින් රසයක් වින්දා නම් වින්දේ ඔවුන් පමණි. සෙස්සන්ට එය කන්කරච්චලයක් විය.

වැඩි දුරක් නොගොසින් ම මම වාහන අතර කොටු වීමි. විපරම් කර බැලූ විට දුටුවේ බීම දන්සලකි. මට හරස්ව තිබූ වෑන් රියේ පිරිසක් බීම බොමින් සිටියේ බිමට ද හළමින් කෑ කෝ ගසමිනි. දරුවෙකු මට බීම බන්දේසියක් දිගු කළේ හපන්කමකට මෙනි. මම ගොළුවතින් එතැනින් මාරු වීමි.

මා ඊළඟට හිර වූයේ ලොරි බාගයකට ය. ගමක පිරිසක් එහි වූහ. ඉවසිය නොහැකි වූයේ එහි සවිකරන ලද බෆල්වලින් නැගුණු ඝෝෂාකාරී ගැයුම ය. මා ඉන් මිදෙනු පිණිස පය වඩාත් ඉක්මන් කළ ද ලේසියෙන් ගැලවෙන්නට බැරි වූයේ ලොරි බාගය ද මට සමාන්තරව ම ගමන් කළ නිසා ය.

මා කඳු පාර නගින විට මගේ ඉහින් - කනින් දාහය බේරෙමින් තිබිණි. ඒ තබා වාහනයක සිටි තරුණ පිරිසකගේ උසුළු විසුළුවලට ද ලක්වීමට සිදු විය.

මා ඉදිරියෙන් යමින් තිබූ මෝටර් සයිකලය කානුවට වැටී හිරවිණ. තරුණයාට එය පාරට නොගත හැකි විය. මම ද ඔහු සමඟ එය පාරට ඇද්දෙමි. ඔහු මට තුති හිනාවක් හෝ නොපා නැවත එහි නැග්ගේ ය.

පාර මුදුනේ දැඩි තදබදයක් පැවතියේ පන්සලේ තොරණ ප්‍රදර්ශනය වෙමින් තිබූ නිසා ය. රබන් සුරල් හා මුසුව යකඩ කටින් පිටවූයේ ආධාර කළ වුනට සෙත් පැතීම් හා තව තවත් ආධාර ඉල්ලීම් ය.

ඒ තදබදය ඉවර වී ඉස්පාසුවක් ලැබීමට පෙර ම මා තවත් තදබදයකට හසු විය. වම් පැත්තේ බත් දන්සලක් පැවති අතර දකුණු පැත්තේ අයිස්ක්‍රීම් දන්සලක් විය. ඒ මදිවාට පාර දෙපැත්තේ ම අඩුක්කෙරු‍වාක් මෙන් වාහන දෙපෙළක් ද විය. පෝලිම් ගැසී සිටියේ ඒවායින් බැස ආවන් විය යුතුය.

හිටිඅඩියේ ම යමෙක් මා පෝලිමකට ඇද ගත්තේ ය. ‘පොඩ්ඩක් ඉඳිං බං! කොහෙද මේ දුවන්නෙ?’ ඒ මගේ පරණ යාළුවෙක් විය. ඔහුගෙන් බේරෙන්නට ද වෙලාවක් ගියේ ය.

ඒ වන විට මා ගමනේ අඩක් ගෙවා තිබිණි. දානයෙන් පදම් ව සිටි මම වැඩි දුරක් යන්නට පෙර ඊළඟ හන්දියේ දන්සලේ ද හිර වීමි.

එය ෆ්‍රයිඩ් රයිස් දන්සලක් වූ බැවින් පෝලිමේ තදබදය දරුණු වී තිබිණ. ‘තව කොච්චර වෙලා මෙතන හිටගෙන ඉන්ඩ වෙයිද දන්නෑ’ යි කියමින් මහත වැඩිහිටියෙක් මගේ මූණට ම ඈනුමක් ඇරියේ ය. මම අපුලින් අහකට පැන්නෙමි.

කෙසේ හෝ ඊළඟ කිලෝමීරය ද පසු කොට ගේ දොරකඩට යන විට මා සිටියේ විකෘතිව ය. කමිසය දාහය නිසා ඇඟට ඇලී තිබිණි. යට කර තිබූ කමිස කොනක් වලිගයක් මෙන් එළියට පැන තිබූ අතර කලිසම ද ලිස්සා වැටෙමින් පැවතිණි. මගදී කැඩුණු සෙරෙප්පුවක් එක අතක විය.

‘තාත්තෙ මේ මොකද?’

දරුවෝ මා දැක පුදුම වූහ.

‘එන්ඩ එකක් තිබුණෙ නෑ පුතේ. පයින්මයි ආවෙ. මං ඉක්මනට නාගෙන එන්නං ඔයාලව කොහොම හරි වෙසක් බලන්ඩ එක්කගෙන යන්නංකො’ යි කියාගෙන මම නාන කුටියට වැදුණෙමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »