පුදුම සාදය

2017-05-08 10:36:00       679
feature-top
මා බිරිය දේශීය වෛද්‍යවරියකි. ඒ අතරම ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥවරියකි. තමා හමුවට පැමිණෙන අයට වෙදකම් කිරීමත්, ජ්‍යෝතිෂ කටයුතු කරදීමත් ඇගේ සිරිතකි.

ඈ කිසි දිනෙක ජ්‍යෝතිෂ කටයුතු කරනු පිණිස බැහැර නොයයි.

එසේ නමුත් අපේ මුනුබුරා ඇගේ මේ පිළිවෙත දැන දැනම බිඳ දැමුවේ ය.

“ආච්චි අම්මෙ, මගෙ යාළුවෙක් ගෙයක් ගන්ඩ යනවා. ඒක ගන්න කලින් වාස්තු දෝෂ තියෙනවද කියල ඔයා ලවා බලව ගන්න ඕනැලු. එයා මගෙ හොඳම යාළුවෙක්. ඒ හින්ද ඔයා එයාගෙ වැ‍ෙඩ් කර දෙන්නම ඕනෑ” යි මුනුබුරා ප්‍රසිද්ධියේම කියා සිටියේ ය.

“අනේ පුතේ ඔයා දන්නවනෙ මං පිට ගිහිං වැඩ කරන්නෙ නෑ කියල. ඉතිං එහෙම දැන දැනත් ඇයි එහෙම කියන්නෙ?”

“ඒක ඇත්ත. ඒ වුණාට ඔයා මේ වැඩේට නං බෑ කියන්ඩ එපා! ගිහිං කර දෙන්ඩම ඕනෑ.”‍

“හොඳයි එහෙනං ඔයා ඔච්චර බල කරල කියන හින්දම මං යන්නං. කවුද ඔය යාළුව? කො‍හාටද මං යන්ඩ ඕනෑ?”

“ඒක එයා වෙලාවට කියයි. ඔයා ගිහිං වැඩේ කරල දෙන්ඩකො.”

කතාව එතැනින් නතර කර මුනුබුරා මගහැර ගියේය.

දින කිහිපයක් ගෙවී ගියේ ය. දිනක් මුනුබුරා ලොකු උනන්දුවකින් ආච්චි අම්මා ළඟට ආවාය.‍

“ආච්චි අම්මෙ, මගෙ යාළුව අර වැඩේට ඔයාව එක්කගෙන යන්ඩ හෙට හවස පහට එනව” මුනුබුරා කියා සිටියේ ය.

පසුදා හවස පහ වනවිට බිරියත්, මමත් ගමන යෑමට සූදානම්ව සිටියෙමු.

වෙලාව ළං වන විට මුනුබුරා කොහි ගියා දැයි සොයා ගත නොහැකි විය. එහෙත් හරියටම සවස පහට ඔහුගේ යහළුවා ආවේය.

ඔහු ආවේ මෝටර් සයිකලයකිනි. ඒ සමඟම ත්‍රි‍රෝද රියක් ද පැමිණ අප නිවෙස ඉදිරියේ නැවැත්වීය.

“එහෙනං අපි යමු ද? මං මෝටර් සයිකලෙන් ඉස්සෙල්ල යන්නං. ඔය ගොල්ලො මගෙ පස්සෙන් එන්ඩ!” එසේ කී අප මුනුබුරාගේ මිතුරා සිය බයිසිකලයට නැගුණේ ය.

අපි ත්‍රිරෝද රියට නැගුණෙමු.

මෝටර් සයිකලය හෙමිහිට ඉදිරියට ඇදුණේ ය. අපි ඔහු පිටුපසින් යන්නට වීමු.

ගමනට පැයක් පමණ ගත විය.

මෝටර් සයිකලය පාළු පෙදෙසක ගෙයක් ඉදිරිපස නතර විය. අපිදු නතර වීමු. මුනුබුරාගේ මිතුරා සිය සයිකලයෙන් බැස්සේ ය. අපි දු බැස්සෙමු.

“මෙන්න මේ ගෙයි තමයි වාස්තු බලන්ඩ තියෙන්නෙ” කී තරුණයා ගේ දෙසට පිය මැන්නේ ය.

අපිදු කුහුලින් යුතුව ඒ පාළු ගෙයි පිල්කඩට ගොඩවීමු.

“මේක නං හොඳ ගෙයක් වෙන්ඩ බෑ! අර බලන්ඩ අර පරාලෙ තියෙන විදිහ!” බිරිය රහසින් මට කීවා ය.

මම ද ගෙයි වහල දෙස බැලීමි. දොස් - පරොස් බහුල ය.

“පිල් කඩේ මෙහෙම නං ගේ ඇතුළ කොහොම ඇද්ද?’යි මට කී බිරිය ‍තරුණයා වෙත හැරී

“පුතේ ගේ ඇතුළ බලන්ඩ ‍එහෙනං දොර අරින්ඩකෝ’ යි කීවා ය.

තරුණයා යතුර ‍ගන්නට සාක්කුවට අත දැම්මේ ය.‍ යළි තව සාක්කුවකට අත දැම්මේ ය‍.

“මළ ජූලියයි ආච්චියෙ, යතුර ගේන්ඩ අමතක වෙලා!” තරුණයා උඩ බිම බැලුවේ ය.

මා බිරියට කේන්ති ගියේ ය.

“ඒක හරි වැඩක්නේ. ඔය ළමය දැනගන්ඩ එපායැ යතුර ගේන්ඩ! ගෙදර කේන්දර ගොඩගැහිල! මිනිස්සු ඇවිත් හැරි හැරී යනව. මං මෙතන රස්තියාදු වෙනව. අනෙ මගෙ කාලෙ!”

“අනේ ආච්චියෙ තරහ ගන්නෙ නැතුව චුට්ටක් ඉවසන්ඩ! මං බයික් එකේ ඉක්මනට ගිහිං යතුර අරං එන්නං” තරුණයා එසේ කියමින් බයිසිකලයට නගින්නට හැදුවත් මා බිරිය තරයේ ම එය වැළැක්වූවා ය.

“නෑ එපා පුතේ, දැං අපි යං! ලබන ඉරිද ආපහු එමු!” යි කියමින් මා බිරිය මා ද ඇදගෙන ත්‍රිරෝද රියට නැගුණා ය.

“ඔව් පුතේ අපි එහෙම කරමු” මම ද බිරියගේ පැත්ත ගතිමි.

“නෑ සීයෙ වැඩි වෙලාවක් යන්නෙ නෑ. සීයල ‍‍ඔහොම්ම ඉන්ඩ! මං ටග් ගාල යතුර අරං එන්නං” තරුණයා අන්තිම මොහොතේ ද අප වළක්වන්නට හැදුවේ ය.

එහෙත් මා බිරිය සිය අදහස වෙනස් නොකළා ය.

ත්‍රිරෝද රිය පණ ගැන්වී ආපසු හැරුණේ ය. තරුණයා පෙනෙන්නට නොවී ය. හැකි වේගයෙන් ආපසු ඇදී එන්නට වීමු.

අවාසනාවක මහත!

ත්‍රිරෝද ‍රියේ ඇන්ජිම ලෙඩ දෙන්නට පටන් ගත් අතර රෝදයක ද හුළං ගියේ ය.

රියැදුරු රෝදය මාරු කළේ ය.‍ ඇන්ජිම අතපත ගාද්දී කළුවර ද වැටිණ.

ඔයින් මෙයින් අප ගෙදරට ළඟා වන විට මුළු ගේම තිබුණේ අඳුරේ ය.

“අනේ, අනේ, මෙහෙමත් ළමයි! ලයිට් දාන්ඩත් අපි කියල දෙන්ඩ එපෑ” බිරිය කීවේ නුරුස්නා හැඟුමිනි.

“කරන්ට් ගිහින් වගේ” මට කියැවිණි. අප කනස්සල්ලෙන් යුතුව ගෙමිදුලට අඩිය තියන විට ම ලයිට් ආවේ ය.

සිදු වූයේ මහා පුදුමයකි!

ගෙදර සාලයේ මනහර ඇඳුමින් සැරසී හිනැහෙමින් සිටියේ අප නෑ - හිතවතුන් පිරිසකි. සාලයේ හිඳ සිටි අප පවුලේ වාද්‍ය හා ගායන විශාරද ඥාති පුත්‍රයෙක් සර්පිනාව වයමින් ගීයක් ගයන්නට වූයේ ය.

“සොඳුරු ලොවට මල් වැහැලා...”

සෙසු ශිල්පීහු තාලය අල්ලන්නට වූහ.‍

“තව්තිසාවෙ දොර ඇරිලා...”

නෑ මිතුරෝ ද ගායකයා හා එක්ව ගීය ගයන්නට වන්හ.

“.... හැඟුම් පහන් තාරකා

පෙමට පායලා...”

සාලය මඟුල් ගෙයක සිරි ගත්තේ ය. බැලුම් සිය ගණනක් එල්ලා තිබිණ.

“ඇයි මේ?” කියමින් අපි සාලයට ඇතුළු වීමු.

ජයග්‍රාහී උස් හඬින් ඊට පිළිතුරු දුන්නේ අපේ මුනුබුරා ය.

“ඇයි දන්නැද්ද අද තමයි අපේ සීය මාතලේ ගිහිං ආච්චි අම්ම කැන්දගෙන ආපු දවස! මේ ‍ඒකෙ හතළිස් පස් වෙනි සංවත්සරය! ඒ වෙනුවෙන් සංවිධානය කරපු අපේ සර්ප්‍රයිස් පාටිය!”

බිරියත්, මමත් සතුටින් මත් වීමු. අපට නව ජවයක් ලැබිණ.

“එහෙනං ඒක තමයි මෙයාලා අපට අර ලණුව දුන්නෙ” බිරිය කීවා ය.

“කමක් නෑ ඒව අමතක කරමු. දැන් ඉතින් සතුටු වෙමු” මම කීමි.

පොටෝ පිට පොටෝ ගැසුණේ ය. සිනා දෝරෙ ගලා ගියේ ය.

අපි කේක් කැපුවෙමු. කේක් කැවීමු. අප වෙනුවෙන් පිළියෙල වුණ සමරු ඡායාරූපාවලියක් විවෘත කළෙමු. තෑගි ලැබුවෙමු.

රෑ වෙත් ම තරුණයෝ තව තවත් ආහ. කේටරින් සේවයක් ක්‍රියාත්මක විය. තව තවත් සංගීත භාණ්ඩ පැමිණියේ ය.

අපි කා බී සතුටින් ගීත ගැයුවෙමු. හැත්තෑ දෙ හැවිරිදි මා ඒ රාත්‍රියේ ගීත තිහකට වඩා ගැයුවේ කෙසේ දැයි තවම මට හිතා ගත නොහැකි ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »