පුද බිමක ලද සතුට

2017-05-05 11:08:00       680
feature-top
ඒ සෝමාවතී පුද බිමයි.

ඇවිදීමෙන් මහත් සේ වෙහෙසට පත්ව සිටි අසූ එක් හැවිරිදි මම තුරු සෙවණක් යට තිබූ ගල්බැම්මක හිඳ සිටියෙමි.

කෙමෙන් විඩාව මඟ හැරිණ.

මම හිස ඔසවා බැලුවෙමි.

පහන් පූජාව පිණිස ගොස් සිටි මගේ ගෙදර ඇත්තෝ පෙනෙන්නට නොවූ හ.

වයස අවුරුදු විසි පහක තරමේ තරුණියක් මදෙස බලා සිටියා ය. ඇය සිටියේ මා හිඳ සිටි ගල් බැම්මට මඳක් ඉදිරියෙන් තිබූ ගල් බැම්මක් මත ය.

මම ඈ දෙස හොඳින් බැලුවෙමි. කිසියම් පුරුදු ගතියක් එහි විය. එහෙත් වියපත් මට ඉන් එහාට මතකය යවා ගැනීම අපහසු විය.

මෙසේ ටික වෙලාවක් ගත විය.

ඇගේ සැමියා යැයි සිතිය හැකි තරුණයෙකුත් ඇ‍ගේ නැන්දණිය යැයි සිතිය හැකි කාන්තාවකුත් ඈ ළඟට ආහ. ඇය හුනස්සෙනන් නැඟී සිටියා ය. ඇය ඔවුන් සමඟ යන්නට හදනවා යැයි මට සිතිණ.

ඇය ඉදිරියට පියවරක් නොතබා යළි හැරී මා දෙස බලා අනතුරුව ඇගේ සැමියාගේ කනට කර ‍රහසක් කීවා ය.

වහා එදෙස හැරී බැලූ තරුණයා මා ඉදිරියට ආයේ ය.

‘සර්, සර් බිංගිරියෙ ඉස්කෝලෙ ඉගැන්නුවද?’

මම තරමක් පුදුම වීමි.

ඔහු මදෙස වුවමනාවෙන් බලා සිටියේ ය.

‘ඔව්. ඇයි පුතා? ඔයා ඒ දවස්වල ඉගෙන ගත්තෙ කොයි පන්තියෙ ද?’

‘සර්, මම නෙමේ. අර මගෙ නෝනා සර්ගෙන් හයේ පන්තියෙදි ඉගෙනගෙන තියනවලු.’

මම වහා ඈ දෙස බැලුවෙමි. ඇය ද අප දෙස බලා සිටියා ය.

මම ඇයට සිනාසුණෙමි. ඇය වහ වහා මා ඉදිරියට ආවා ය.

‘සර්, ඒ දවස්වල සර්ගෙ පන්තියෙ හිටියෙ මර බයේ. සර් පන්තියට එනකොට අපි ගැහෙනවා. සර් ඒ තරමට වසයි. සර්ගෙන් අපි ඉගෙන ගත්තෙ ජීවන කුසලතා. අදත් සර්ව දකින කොට මට බය හිතුණා. සර්ව දැක්ක ගමන් ඇඳිනගත්තට සර් ළඟට එන්ඩ බය හිතුණා. ඒක අර පරණ බය. ඒ නිසයි මම මහත්තය එනකල් බලා හිටියෙ.’

ඇය මට දණ නමා වැන්දාය. ඒ දුටු ඇගේ සැමියා ද එපරිද්දෙන් ම මට වැන්දේ ය.

මම ඔවුනට ආසිරි පැතුවෙමි.

‘සර්ට බුදු සරණයි! අපි යන්නං’ දෙදෙනා මගෙන් සමුගත්හ.

මගේ ගෝලයන් ලක්දිව පුරා ම විසිරී සිටිති’යි යන සතුට මගේ හද සන්තානයේ ඉතිරී ගියේ ය.

බිංගිරියේ කොස්වත්තේ විශ්‍රාම ලත් ආචාර්ය, සාම විනිසුරු ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »