අවුරුදු ඇඳුම්

2017-04-08 09:15:00       678
feature-top
අවුරුද්ද අත ළඟට ම පැමිණ තිබූ දිනෙක උදය වරුවකි. ගාලු දුම්රියක් කොළඹ බලා ඇදෙමින් තිබිණි.

මැදිරියක හිර වී සිටි මගීන් අතර හොඳට ම යොවුන් දරුවෙක් සිටියේ ය. හිටි අඩියේ ම මැදිරියට කඩා වැදුණු පරීක්ෂකවරු පිරිසක් මගීන් ගේ ටිකට් පත් පිරික්සන්නට වූහ.

‘කෝ ඔය ළමයගෙ ටිකට් එක?’ වියපත් පරීක්ෂකවරයෙක් යොවුන් දරුවාට ඇඟිල්ල දිගු කළේ ය.

යෞවනයා ගේ මුහුණට බයාදු ගතියක් එක් විය.

‘කෝ, කෝ, ටිකට් එක ඉක්මනට?’

යෞවනයා සාක්කුව පිරික්සා ටිකට් පත රැගෙන වැඩිහිටියාට දුන්නේ ය.

ඒ දුටු හැටියේ ම පරීක්ෂකවරයාගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය. මේ මොකක්ද? මේක තුන්වෙනි පන්තියෙ ටිකට් එකක්නෙ! මේකෙන් කොහොමද දෙවනි පන්තියෙ ගමන් කරන්නෙ? මේක දෙවනි පන්තියෙ පෙට්ටියක් කියල දන්නෙ නැද්ද?’

යෞවනයා ගැස්සී ගියේ ය. ඔහු ගේ දෑස මහත් වූයේ ය.

‘ලේසි නෑ! දඩේ දෙදාස් පන්සීයයි. ලෑස්ති වෙනව දඩේ ගෙවන්න!’ පරීක්ෂකවරයා ගේ වචන යකඩ ගුළි මෙන් බර විය.

‘තාත්තේ!’ යෞවනයාට කෑ ගැසිණ.

ඒ බියපත් හඬ මැදිරිය සිසාරා ඇදී ගියේ ය.

කෑ ගෑම ඇසුණු වැඩිහිටි ගැමියෙක් හිඳ සිටි පාපුවරුවෙන් නැගිට විමසිල්ලෙන් මැදිරිය තුළට ආයේ ය.

‘පුතේ ඇයි?’

පරීක්ෂකවරයා ගැමි පියාට පුතා කර ඇති වරද පෙන්වා ඔහු වෙනුවෙන් රුපියල් 2500ක දඩයක් ගෙවීමට සූදානම් වන්නැයි කීවේ ය.

‘ඒකත් එහෙමද මහත්තයො? හරි වැඩේ නොවැ? එහෙනං බලන්නකො මේ මගෙ ටිකැට් එකත් මොකක්ද කියල’ වැඩිහිටි ගැමියා තම ටිකට් පත ද පරීක්ෂකවරායට දිගු කළේ ය.

එය අතට ගත් හැටියේ ම පරීක්ෂකවරයා‍ ගේ මුහුණ වඩාත් බැරෑරුම් පෙනුමක් ගත්තේ ය.

‘හහ්! වැරදිකාරයො දෙන්නයි. දැන් දඩේ රුපියල් පන්දාහයි! දැන් ඉතිං පැනල යන්න හදන්නෙ නැතුව දඩේ ගෙවන්න රුපියල් පන්දාහ ලෑස්ති කරගන්න එකයි ඇත්තෙ’ පරීක්ෂකවරයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කරගත් සතුටින් නියෝගය නිකුත් කළේ ය.

පියා කට ඇරගෙන පුතා වෙත හැරුණේ ය.

‘මේ මක්කැයි බං පුතේ උණේ?’

පියා ගේ ස්වරූපය දුටු පුතා වඩ වඩාත් බියට පත් වූයේ ය.

ඒ දුටු පරීක්ෂකවරයා සිය ආධිපත්‍යය වඩාත් තර කළේ ය.

‘දෙන්න කොහෙවත් යන්න හදන්නෙ නැතුව ඔහොම් ම ඉන්න ඕනැ හරි ද? කොළඹ කොටුවේදි අපිත් එක්ක බැහැල ගිහිං නියමිත දඩේ ගෙවල නිදහස් වෙන්න පුළුවං!’

පියා සුසුමක් හෙළුවේ ය.

‘ඈ පුතේ, දැං කොහොමැයි බං කොළඹ ගිහිං අවුරුද්දට ඇඳුම් ගන්නෙ? රුපියල් අට දාහ නොවැ සමිතියෙං හම්බ වුණේ? දැං ඒකෙං පන්දාහක් දඩේට යනවනෙ! එත‍කොට තුන්දාහ නොවැ ඉතුරු වෙන්නෙ? හරි වැඩේනෙ බං වුණේ! අපි ඔය දෙවෙනි පන්ති තුන්වෙනි පන්ති කතාවක් දන්නවයැ. මොකේ අපි හැමදා ම කෝච්චියෙ එන උංයැ?’

‘එහෙනං තාත්තෙ අපි ඔය ඉතුරු වෙච්ච තුන්දාහෙං අම්මට විතරක් ඇඳුම් ටිකක් ගම්මු. මට නං ඕන් නෑ.’

‘එහෙනං එහෙම කරමු පුතේ. මටත් ඕනැ ඇති ඇඳුමක් නෑ බං. ඔය තියන විදිහ හොඳා. අපොයි දෙයියනේ මේ මොන වින්නැහියක් ද උණේ?’

සිද්ධිය අත්විඳිමින් සිටි මගී ජනයා අතර හුන් එක්තරා මහත්මයකු ගේ හිත හොඳට ම උණු විය. ඔහු නන්නාඳුනන මේ තාත්තාත්, පුතාත් වෙනුවෙන් ටිකට් පත් පරීක්ෂකවරයාට කරුණු කියන්නට ඉදිරිපත් පත් වූයේ ය.

‘මහත්තයො, මේ කට්ටිය අහිංසක මිනිස්සු. දන්නෙ නැතුවනෙ මේ දෙ‍ෙවනි පන්තියට නැගල තියෙන්නෙ. ඒක නීතියට අනුව වරදක් වුණාට ඒ ‍ගොල්ලො හිතල කරපු වරදක් නෙමෙයිනෙ. නොදන්නකමට වෙච්ච දෙයක්. ඒ තියා මේ දෙන්න මේ යන්නෙ දරු පවුලට අවුරුද්දට ඇඳුම් ගන්නනෙ. ඔය මුදල හොයාගෙන තියෙන්නෙත් ණයකටනෙ. මේ කොහෙද යන දඩයක් හින්ද ඒ අයගෙ අවුරුද්දක් නැත්තට ම නැති වෙලා යනවනෙ. ඒ හින්ද මේ අයට කරන්න පුළුවං සහනයක් සලසල දෙන්න! අපි කවුරුත් මනුස්සයොනෙ.’

එහෙත් පරීක්ෂකවරයා සිය තීන්දුවේ කිසිදු වෙනසක් සිදු නොකළේ ය.

කෙමෙන් දුම්රිය කොළඹ කොටුවට ළඟා වූයේ ය. පරීක්ෂකවරයා සෙසු සගයන් ද සමඟ පිය පුතු දෙදෙන බස්සවාගෙන සිය බලධාරීන් කරා රැගෙන ගියේ ය. පිය පුතු දෙදෙනා ගේ නිදහස වෙනුවෙන් කතා කළ මහත්මයාට ඒ දසුන උහුලා නොගත හැකි විය.

හේ සිය පොකැට්ටුව අතට ගෙන එහි ඇති මුදල ගණන් කර බැලුවේ ය. එහි වූයේ රුපියල් හය දහසකි. එය ද වුවමනා බඩුවක් මිලදී ගනු පිණිස අතමාරුවකට ලද්දකි. තමා ගේ කටයුත්ත පැත්තකට දමා හෝ මේ අහිංසකයන් දෙදෙනා බේරා ගත යුතු යැයි අදිටන් කර ගත් ඔහු පිරිස පසුපස කාර්යාලය කරා ඇදුණේ ය.

ඔහුට යෑමට සිදු වූයේ පියවර කිහිපයක් පමණි. පසුපසින් දුව ආ කෙනෙක් ඔහු නැවැත්තුවේ ය.

‘මහත්තයො, ඔහොම ටිකකට නවතින්න! මහත්තය යන්නෙ අර දෙන්න ගෙ දඩේ ගෙවන්න නේද? මටත් මේ අසාධාරණේ ඉවසන්න බෑ. මහත්තය මුළු දඩේ ම ගෙවන්න ඕනැ නෑ. මාත් බාගයක් දාන්නං. අපි දෙන්න බාගෙ - බාගෙ දාල ඒ දෙන්නව බේර ගම්මු!’

පළමු මහත්මයා දෙවන මහත්මයා දෙස තරමක පුදුමයකින් මොහොතක් බලා සිටියේ ය. දෙවන මහත්මයා මුස්ලිම් අයකු බව ඔහු ගේ වචන උච්චාරණයෙන් පළමු මහත්මයාට වැටහිණ. දෙදෙනා‍ගේ ම මුහුණු කිසියම් හාස්කමකින් මෙන් එළිය වෙමින් තිබිණ. මිනිස් දහම වර්ග බේද පරයා නැඟී සිටින විස්මය ඒ නිමේෂයේ දෙදෙනා ම වින්ද හ.

‘මහත්තයත් මං වගේ ම කෙනෙක්. මං මේ සල්ලි තියනකමකට නෙමෙයි දඩේ ගෙවන්ඩ හදන්නෙ. අතමාරුවකට හොයා ගත්ත සල්ලිවගයක් තමයි මං අතෙත් තියෙන්නෙ’ පළමු මහත්මයාගේ මුවින් පිට විය.

‘මහත්තයට කියන්න මාත් මේ ලක්ෂ 25ක් විතර ණයවෙලා පොලිය ගෙව ගෙවා ඉන්න මිනිහෙක්. ආර්ථිකේ හරි අමාරුයි. කමක් නෑ. මහත්තය දෙදාස් පන්සීයක් ඉතුරු කරගන්න. මං ඒ ගාන දාන්නං!’ දෙවන මහත්මයා ද මිමිණුවේ ය.

ඉනික්බිති මහත්වරු දෙදෙනා වහ - වහා කාර්යාලය තුළට ගියෝ ය. ඒ වන විට පරීක්ෂකවරු එහි ‍නොසිටිය හ. පිය පුතු දෙදෙනා පමණක් නිලධාරියකු ඉදිරියේ සිටිනු පෙනිණ.

පළමු මහත්මයා සිය ජාතික හැඳුනුම්පත සියතට ගෙන, දෙවන මහත්මයාගේ ජාතික හැඳුනුම්පත ද ඉල්ලාගෙන, ඒ දෙක ම දුම්රිය නිලධාරියා ඉදිරියේ තබා, දුම්රියේ දී තමන් අත්විඳි වේදනා බර කතාව කියා අහිංසක පිය පුතු දෙදෙනාට සහනයක් සලසන ලෙස ඉල්ලා සිටි‍යේ ය.

නිලධාරියා පුදුම වී ඔවුන් දෙස බැලුවේ ය.

‘අපි දෙන්න මේ ආවෙ බාගෙ - බාගෙ දාල මේ ගොල්ලන්ගෙ දඩේ ගෙවල යන්න. වෙච්ච දේ උහුලන්න බැරි හින්දයි අපි ආවෙ. මේ අහිංසකයන් ගෙ අවුරුද්ද නැති වෙනව දකින්න අපිට බෑ. කරුණාකරල සහනයක් දෙන්න මහත්තය!’

මොහොතක නිහැඬියාවක් පැතිරිණ.

නිලධාරියා සිව් දෙනා දෙස ම හොඳින් බැලුවේ ය.

ඔහු ගේ නිලධාරිත්වය යට කරගෙන මනුෂ්‍යත්වය නැගී සිටියේ ය.

‘ආ! මට කරන්ඩ පුළුවං උදව්ව තමයි මේ!’

එසේ කියමින් ම නිලධාරියා හැඳුනුම්පත් ආපසු දුන්නේ ය. පියා සිය පුතු ද කැටුව දුම්රිය ස්ථානයෙන් පිටතට ආවේ තමන් බේරා ගත් දෙවිවරුන් බඳු මහත්වරුන්ට දිගින් දිගට ම පින් දෙමිනි. තමන් ගෙන් සමුගෙන අවුරුදු ජන ගඟ අතරේ නොපෙනී යමින් සිටි පිය පුතු දෙදෙනා දෙස මහත්වරුන් දෙදෙනා බලා සිටියේ හද පිරි සතුටිනි.

‘දැන් ඉතින් ඒ අහිංසක පවුල අවුරුද්දෙ සතුටින් ඉඳීවි’ පළමු මහත්මයාට කියැවිණ. ‍‍

‘ඔව්. අපිටත් එක්ක ඒගොල්ලො අවුරුදු කයි’ දෙවන මහත්මයා සිනාසුණේ ය.

මේ ‍කතාවේ පළමු මහත්මයා ලලිත් සිරිමාන්න නමැති අයෙකි. කතාව අපට හෙළි කළේ ඔහුගේ හිතවතකු වන කොළඹ නගර සභාවේ ගාමිණී හෝල් ශාඛාවේ සරත් වීරක්කොඩි මහතා ය.

හර්ෂ ගුණවර්ධන මහතා විසින් ලියන ලද සටහනක් ඇසුරෙනි.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »