විපතක මහත!

2017-04-03 11:38:00       679
feature-top
ආඬියාගල, පැල්බැඳියාවේ රාජරත්න ගල්නෑවේ හෙළබොදුගම සුජාතා කරකාර බැඳගෙන නව දිවියක් ඇරැඹුවේ දිරිමත් සිතිනි. ටික කලක දී ඔවුහු දරුවන් දෙදෙනකුගේ මාපියන් බවට පත් වූහ.

රාජා මහන්සි වී වැඩ කළේ ය. ඔහු පෙදරේරුවෙක් විය. පෙදරේරු වැඩ නැති දවස්වලට ඔහු සිය අත්ට්‍රැක්ටරයෙන් කුලියට කුඹුරු හෑවේ ය.

දිනක් පැල්බැඳියාව වෙල්යායේ සී සාමින් සිටිය දී ඔහුට පොළ‍ඟෙක් දෂ්ට කළේ ය. ඔහු ආඬියාගල රෝහලට ගෙන යන ලදි. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර පිණිස අනුරාධපුරයට යැවිණි.

සුවපත් වූ රාජා ගෙදර’විත් යළි සුපුරුදු රස්සාව පටන් ගත්තේ ය. එහෙත් මාස කිහිපයක් ගත වන විට ඔහු රෝගී විය. ප්‍රතිකාර ලැබුව ද නිට්ටාවට සුවය නොලැබිණ. විටින් විට අසනීප වූ හෙයින් ඔහුට රැකියාව කර ගැනීමට ද බැරි විය. මේ නිසා ගෙදර බැරි අමාරුකම් ද වැඩි විය.

රාජාගේ බිරිය හෙවත් සුජාතාගේ එකම සොහොයුරිය වූ අවිවාහක ප්‍රේමා රෝහල් රැකියාව ද කරමින් ලෙඩ ඇඳට වැටී හුන් පියා ද බලාකියාගෙන හෙළබොදුගම මහගෙදර වාසය කළා ය. ජීවත්වීමට බැරිම තැන සුජාතා රෝගී සැමියා ද දරු දෙදෙනා ද කැටුව ප්‍රේමා සොහොයුරියගේ පිළිසරණ පතා හෙළබොදුගම ගෙදරට ආවා ය. ප්‍රේමා ඔවුන් පිළිගත්තේ ආදරයෙනි.

ප්‍රේමා සිය මස්සිනා වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ කල දැනගැනීමට ලැබුණේ ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව ය. දිගින් දිගටම ප්‍රතිකාර කළ ද රාජා අවසානයේ මෙලොව හැර ගියේ ය.

මස්සිනා නැති පවුලේ වගකීම ද ප්‍රේමා බාර ගත්තා ය. දරුවෝ පාසල් ගියහ. ප්‍රේමා රැකියාවට යද්දී සුජාතා ඔත්පළ පියා බලා කියා ගත්තා ය.

කාලය ගෙවී ගියේ සුජාතා ද රෝගී කරමිනි. ඇයට ද වකුගඩු රෝගය හැදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි විය.

සුජාතාගේ ලේ ද විටින් විට පිරිසුදු කළ යුතු විය. ප්‍රේමා ඇය කැඳවාගෙන රෝහලට ගියා ය. එහෙත් රාජකාරි වැඩ මඟ හැරිය නොහැකි හෙයින් සුජාතා රෝහල් කැඳවාගෙන යෑමේ වගකීම පාසල් යමින් සිටි කුඩා පුතුට පැවරිණ.

‘ඇයි මේ ඉස්කෝලෙ යන ළමයෙක් ලෙඩාව එක්කගෙන එන්නෙ? ඔය ළමය ඉස්කෝලෙ යන්ඩ! වෙන කවුරුහරි එක්ක ලෙඩාව එවන්ඩ!’ රෝහල් බලධාරීහු කීහ.

දරුවා කරුණු පැහැදිලි කළේ කඳුළිනි.

‘අම්මව එක්කගෙන එන්ඩ කෙනෙක් නෑ. තාත්තත් වකුගඩු ලෙඩෙන් මැරුණනේ. ලොකු අම්ම වැඩට යන්ඩ එපෑ. අක්කටත් විභාගෙ ළඟ හින්ද ඉස්කෝලෙ යන්ඩ වෙලා! සීයත් ලෙඩ ඇ‍ඳේනෙ. මං තමයි ඉතුරු වෙලා ඉන්නෙ. අම්මව එක්ක එන්ඩ වෙන කවුරුවත් නෑ.’

කෙසේ වුව ද වැඩි කලක් යෑමට පෙර සුජාතා ද මිය ගියා ය.

දෛවය මේ සා දරුණු ඇයි? මාපියන් නැති දරුවන් දෙදෙනාගේ ද ඔත්පළ වී ඇඳට වැටී සිටින පියාගේ ද එකම ආරක්ෂකයාව සිටි ප්‍රේමා ද අසනීප වූවා ය. වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ ඇයට පිළිකාවක් වැලඳී ඇති බව ය. දැන් ප්‍රේමාගේ ජීවිතය ද අවදානම් ය.

මේ සියලු ප්‍රශ්න දරා උහුලා ගෙන දරුවෝ පාසල් යති. දියණිය උසස් පෙළ වාණිජ අංශයේ ය. පුතු ඊට පහළ පන්තියක ය. දෙදෙනා ම ඉගෙනුමට දක්ෂ ය.

‘දැන් තාත්තගෙයි මගෙයි මරණෙ කොයි වෙලාවෙද කියන්ඩ බෑ. අනේ දෙයියනේ මේ දරුවො දෙන්නට යන කල මොකක් ද? ඇයි අපිට ම මෙහෙම වෙන්නෙ?’ ප්‍රේමා කඳුළු සලන්නී ය. ‍‍

දුක් කරදර ලෙඩ රෝග කාටත් පොදු ය. එහෙත් මේ සා දුක් කරදර කන්දරාවක් වැල නොකැඩී එක දිගට එන පවුලක් එය දරා ගන්නේ කෙසේ ද?

ඉතින් සත් ජනයිනි, මේ දරුවන් දෙදෙනාගේ පිහිටට අප හැර කිසිවෙක් නැත. ඔවුන් රැක ගනු පිණිස අප යමක් කළ යුතු ය. ලංකා බැංකුවේ ගල්නෑව ශාඛාවේ අංක 78826949 දරන ගිණුම අරඹා තිබේ. මේ කතාවේ ඇත්ත - නැත්ත සොයා බැලීමට පැමිණෙන්නේ නම් ගල්නෑවට පැමිණ හෙළබොදුගම පන්සල පාරේ විත් 071-3368689 අංකයට ඇමතුමක් දී අදාළ අය සම්බන්ධ කර ගත හැකි ය.

කැකිරාවේ, ඉසුර ඒකනායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »