පැන් පොද

2017-03-22 10:54:00       723
feature-top
නිතර වැහි ලැබ හරිත පෑයෙන් බැබළුණු හොරණ පෙදෙස වේළෙමින් තිබිණි.

‍නෙතු රවටමින් ආ ගන කළු වලාවෝ වියළි හුළ‍ඟේ නෙතු මානයෙන් ඈතට පාව ගියෝ ය.

මම වත්ත පහළට ගියෙමි.

හරිත පෑයෙන් දිස්වන්නේ පුරන් කුඹුරු යාය පමණි. එය නෙතට රසඳුනක් සේ ය.

වෙල් යායේ ගවයන් ලැගි වළවල් ද සිඳී ගොසිනි. උඩහඳයන්ට, වැලිගොව්වන්ට, කාවයියන්ට සිදු වූ දෙය හිතා ගැනීම පවා අපහසු ය.

මිනිස් කටහඬක් නෑසෙන ගාන ය. ඇසෙන්නේ කුරුලු කූජනය ම පමණි.

‘කොහොමද මෙහෙ ඉන්නෙ?’ නගරයෙන් එන ඥාතීහු මගෙන් අසති. එවිට මම සිනාවෙන් පමණක් පිළිතුරක් දෙමි.

මම ගම්මිරිස් පැළවලට වතුර දමන්නට වීමි. ඒවා ඉකුත් මාසයේ ගෙවතු වගා වැඩසටහනකදී මා ලද පැළ ය. සියයක් ලදිමි. දැන් වැඩෙමින් තිබේ.

බාල්දි කළගෙඩි රැගෙන වෙල් නියරක යමින් සිටි ගම්මු කිහිපදෙනෙක් මා දැක නැවතුණ හ.

‘ආයිබෝං මහත්තය, පැළවලට දාන්ඩත් වතුර තියනවද?’ ඔවුන් ඇසුවේ තරමක පුදුමයෙනි.

‘පහුගිය කාලෙ මහ වැහි වහිනකොට මං වහලෙ පීල්ලට බටයක් හයි කරල ලොකු ටැංකියකට වතුර පුරෝ ගත්ත. ඒව තමයි මේ!’ මම පැහැදිලි කළෙමි.

‘අපූරු වැඩක් නොවැ’ කෙනෙක් පුදුමය පළ කළ හ.

‘මහත්තයගෙ ළි‍ඳේ වතුර තියනව ද?’

‘ඔව්’

‘ඇත්තට? අපි මේ බොන්ඩ වතුර නැතුව විඳින වදයක් බලන්ඩකො! මුළු ගමේ ම වගේ ළිං හිඳිල! මහත්තයට වතුර හිඟයක් නැත්තෙ කලින් ආත්මවල ලෝබ නැතුව වතුර දීල තියන හින්ද ‍වෙන්ඩ ඇති’

‘මේ ආත්මෙත් එහෙම්ම ම තමයි. අර බලන්ඩකො අර වතුර මෝටර ගෙයි කොන්ක්‍රීට් වහලෙ දිහා. බලන්ඩකො එතන තියන වතුර භාජනේ ළඟ ඉන්න කට්ටිය දිහා. කට්ටිය වතුර බිබී නාගන්න දිහා.’

මම අත දිගු කොට ඉහළ පෙන්වීමි. පිරිස ඒ දෙස නෙතු යොමු කළ හ.

කොණ්ඩ කුරුල්ලෝත්, දෙමළිච්චෝත් දිය බීමෙන් නොනැවතී එහි බැස පියා විදහා නාගනිති. උන් ගිය විගස තවත් රංචුවක් ඉගිළ එති. ඒ අතර මයිනෝ, ගිරවු, කොබෙයියෝ වෙති. හිටිඅඩියේ ම එහි කඩා වැදුණු කෑදැත්තෝ කිහිප දෙනා සෙස්සන් පසෙකට කර දිය බී පසෙක ඇති අහර ද බුදින්නට වූහ.

‘අපූරුයිනෙ මහත්තයගෙ වැඩේ!’

‘හවස්ජාමේ ඔතෙන්ට මොනරුත් එනව’ මම කීමි.

මේ සතුට මගේ ජීවිතයට අත්කර දුන්නේ මපියා ය. පියාගේ මඟ පෙන්වීම යටතේ මා මේ කටයුත්ත පටන් ගත්තේ නගරයේ විසූ පුංචි සන්දියේ ම ය. මදුරු උවදුර ගහන වූ ඉකුත් කාලයේ මේ කටයුත්ත තාවකාලිකව අත්හැර දැමුවෙමි. එහෙත් දැන් භාජනය දිනපතා පිරිසිදු කර එහි ඇල්දිය පුරවමි.

‘පහුගිය කාලෙ වතුර නැතුව කුරුල්ලො හුඟක් විනාශ වුණා කියල අන්තර් ජාලෙත් තිබුණ. මිනිස්සුන්ට වගේ ම සත්තුන්ටත් වතුර නැතුව බෑ’ මම පැහැදිලි කළෙමි.

‘ඒක තමයි ඕව පින් අතේ වැඩ. අපි යන්නං මහත්තයො’

‘ඔයගොල්ලො වතුර ගේන්ඩ දුර යන්ඩ ඕනැ නෑ. අපේ ළි‍ඳෙන් අර ගන්ඩ!’ මම කීමි.

එ වදන් ඔවුන් සවන මත ලූ මධු ගීයක් මෙන් විය. මුහුණු පෙළ සතුටින් පිරී ගියේ එබැවිනි.

ම සිත ඊට වඩා ලොකු සතුටකින් පිරී ගියේ ය.

silumina.lk


More News »