අමිල තිළිණය

2017-02-28 12:02:00       728
feature-top
පන්ති කාමරය තුළ පුංචි ගාලගෝට්ටියකි. ඒ පන්ති භාර ගුරුතුමියගේ උපන්දින තෑගි වෙනුවෙනි.

‘මම ටීචර්ට දෙන්ඩ කුඩයක් ගත්තා’

‘ඔයාම ගිහිල්ල ද ගත්තෙ?’

‘නෑ. අම්ම ගෙනත් දුන්නෙ’

‘මාත් ටීචර්ට සාරියක් ගේනව’

පන්ති කාමරයේ සිටි එක දරුවෙක් මේ ගාලගෝට්ටියට හවුල් නොවී නිහඬව බලා සිටියේය.

පන්තිය නිමා විය.

අර දරුවා ගෙදර ගිය හැටියේම අම්මා ඉදිරියේ නාහෙන් අඬන්නට වූයේය.

‘අම්මෙ, අපේ ටීචර්ගෙ උපන් දිනේ හෙටනෙ. ළමයි හැමෝම තෑගි ගේනව. අනේ අම්මෙ අදවත් මට තෑග්ගක් අරන් දෙන්ඩකො!’

අම්මා කල්පනා කළාය. දරුවාගේ හිත නොරිදවිය යුතු යැයි සිතුව ද ඇගේ හිතේ වේදනාව එළියට පැන්නේ ය.

‘අපට කොහෙන්ද පුතේ සල්ලි? ඔයාව ඉස්කෝලෙ යවන්නෙත් බොහොම අමාරුවෙන්’

දරුවා කල්පනා කරමින් මිදුලට බැස්සේය.

ටිකකින් ඔහු සිටියේ යාබද මුහුදු වෙරළේය.

වෙරළේ ගල්පරයක් උඩ වාඩි වූ දරුවා මුහුද දෙස බලා ගත්වන ම සිටියේය. එහෙත් ඔහුගේ හිත තිබුණේ පන්ති කාමරයේ ය. පන්ති කාමරය මඟුල් ගෙයක් වැනි ය. ගුරුතුමිය සුරංගනාවියක වැනි ය.

හිටි අඩියේම වෙරළට ගසාගෙන ආ යමක් දැක දරුවා ඒ කරා දුවන්නට වූයේ ය. ඔහු රැල්ලට අසුවී වැල්ලෙහි පෙරළෙමින් තිබූ යමක් අහුලා ගත්තේ ය.

අනතුරුව, එය මිට මොළවා ගත් හේ මිටෙන් හළ කුරුල්ලකු සේ ගෙදර දිව්වේ ය.

පසුදා දරුවෝ ගුරුතුමියට උපන් දින තෑගි පිරිනැමූහ. ගුරුතුමිය දරුවන්ගේ මුහුණ සිපගත්තා ය.

සියල්ලන් තෑගි පිරිනමා ආපසු අසුන් වෙත යනතුරු බලා සිටි අහිංසකයා නැඟි සිට ගුරුතුමිය දෙස නිහඬව බලා සිටියේය. ගුරුතුමිය ඔහුට සිනාවක් පෑවා ය. දරුවා පය ගාටමින් ගුරුතුමිය වෙත ගොස් කලිසම් සාක්කුවේ වූ යමක් ගෙන එය දෝතින් ගුරුතුමියට පිරි නැමුවේ ය. එය භාරගත් ගුරුතුමිය සෙසු දරුවන් සේම ඔහු ද සිම්බා ය.

කලක් ගත විය.

ඒ වන විට ගුරුතුමිය සෙසු දරුවන් පිරිනැමූ තිළිණ පරිභෝජනය කොට අවසන්ව තිබිණ.

එසේ වුවද ඇය හුදෙකලා වූ හැම මොහොතකම වාගේ අර දරුවා පිරිනැමු තිළිණය සිය අත්බෑගයෙන් ගෙන ඒ මේ අතර හරව හරවා නැරැඹීමට පුරුදුව සිටියා ය.

ඒ නිසාමදෝ ඇය සිය දිනපොතේ මෙසේ සටහන් කර තිබිණ.

“මට කුඩා කාලයේ සිට නොයෙක් තෑගි බෝග ලැබී ඇත. ඒවා කොතෙක් දැයි දැන් මට මතක ද නැත. එහෙත් මා ඉගැන්වූ පන්තියක කුඩා දරුවකු මගේ උපන් දිනය වෙනුවෙන් පිරිනැමූ තෑග්ග මට කිසිදා අමතක නොවේ.

අනිත් හැම දරුවා ම මගේ උපන් දින තෑගි අරගෙන තිබුණේ වැඩිහිටියකු ගේ උපකාරයෙනි. ඒත් මේ දරුවාට නම් එබඳු උපකාරයක් ලැබුණු බව මට නොපෙනේ.

ඒ අහිංසකයා මට පිරිනැමුවේ විසිතුරු සිප්පි කටුවකි. එය දකින හැම වාරයක් පාසාම එහි මොකක් දෝ අමුතු මෝස්තරයක් තිබෙනු මට පෙනේ.

මේ සිප්පි කටුව මට වටිනා පාඩමක් ද කියා දෙයි. ඒ වූකලි ලස්සන හැම දෙයක් තුළම දුක්බර කතාවක් ඇති බවය.

තුංකම, තෙරුන්නාන්සේගම, නිරෝෂා ජීවන්ති මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

සටහන :-

උක්ත කතාව කෙතරම් රසවත් වීද යත්, ලිපිය කඩා එය කියැවූ මොහොතේ මා අසල සිටි හිතමිතුරු නාරද කරුණාතිලක මහතාට ද කීවෙමි. ඉන් සතුටට පත් වූ ඔහු වසර ගණනාවකට පෙර තමන් ඩයිජස්ට් වර්ගයේ සඟරාවක තිබී කියැවූ තවත් කතාවක් මට කීවේ ය.

ඒ විදෙස් මෙසේ ය.

එක්තරා ගුරුතුමියකට වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබේ. පන්තියේ සිටින දුප්පත් දරුවකු හැර සෙසු දරුවෝ ඇයට වටිනා තිළිණය බැගින් පිරිනමති.

දරුවා ඇයට පිරිනමන්නේ වටකුරු කුඩා ගලකි.

ඒ ගල පිරිනමන ගමන් දරුවා ඇයට මෙසේ කියයි.

‘ටීචර්, අපි හරිම දුප්පත්. ඉන්න ගෙයක් දොරක්වත් නෑ. අපි ඉන්නෙ පාර අයිනෙ පුංචි මඩුවක. මට සල්ලි දීල තෑග්ගක් අරන් දෙන්න විදියකුත් නෑ. මේක තමයි මට ටීචර්ට දෙන්ඩ පුළුවන් තෑග්ග. මම ඔය ගල පුළුවන් තරම් මැදල - මැදල ඔප දමලයි තියෙන්නෙ.

ගුරුතුමිය ඒ තිළිණය බාරගත්තේ කඳුළිනි. ඇය ඒ දරුවා දුටු අන්තිම දිනය ද එය විය.

ගුරුවරිය සිය මතක සටහනක මෙසේ ලියා තිබේ.

‘මගේ ජීවිතයේ මට ලැබුණු වටිනාම තෑග්ග එයයි.’

Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »